IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීත්වය පහළට?

  • USAID නැවැත්වීම නිසා සංවිධාන රැසක කටයුතුවලට බලපෑම් 
  • ලියාපදිංචි නීති, මුදල් විශුද්ධිකරණ නීති නිසා අරමුදල් ගලා ඒම අඩුවෙලා 
  • වසරේ මේ දක්වා අලු‍තින් සංවිධාන 73 ක් ලියාපදිංචියට ඉල්ලයි 
  • 2024 වසර තුළ ඉල්ලු‍ම් පත්‍ර 114 ක් අතරින් සංවිධාන 24කට ලියාපදිංචිය 
  • පසුගිය වසරේ වැඩිම අරමුදල් ගලා ඒම වර්ල්ඩ් විෂන් ලංකා වෙතින් රු.බිලියන 7.7ක් 
  • අද වනවිට ලියාපදිංචි සක්‍රිය සංවිධාන 633 ක්. ලියාපදිංචි අක්‍රිය සංවිධාන 1265ක් 

භානුක අමරසිංහ 

මෙරට තුළ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීත්වය ආසන්න වසරක කාලසීමාවේදී යම් තරමකින් පහළ බැස ඇතැයි ඒ හා සම්බන්ධ පිරිස් පවසා සිටින බව ලංකාදීප FT වෙත වාර්තා වෙයි. 

විශේෂයෙන්ම රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචිය සම්බන්ධයෙන් වන නිර්ණායක දැඩි කිරීම, එවැනි සංවිධාන පිළිබඳ රජයේ පාලනය වැඩි කිරීම මෙන්ම එවැනි සංවිධාන හරහා මෙරටට ලැබෙන මුදල්      සම්බන්ධයෙන් මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය ඇතුළු ආයතන මගින් සිදු කරණ අධීක්ෂණ කටයුතු ද මේ සඳහා හේතුවක් වී තිබෙන බව එම සංවිධාන හා සම්බන්ධ පිරිස් සඳහන් කර සිටියි.  

එසේම මේ වසරේ ජනවාරි මාසයේදී තේරීපත් වූ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගනු ලැබූ තීරණයකට අනුව ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිත ආයතනය (USAID)  වසා දැමීමත් සමගින්ම එම ආයතනය හරහා මෙරට තුළ ක්‍රියාත්මක කෙරුණු ව්‍යාපෘති රැසක් නැවැතී ඇතැයිද වාර්තා පවසයි.  

මේ සම්බන්ධයෙන් ලංකාදීප FT  සිදුකළ විමසුමකට පිළිතුරු දුන් රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂවරිය වන  එල්.කේ. මුහන්දිරම්ගේ මහත්මිය, විවිධ හේතු නිසා මෙරට රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරීත්වය පහළ වැටී තිබෙන නමුත්, අලු‍තින් ලියාපදිංචිය සඳහා  පැමිණෙන සංවිධාන ප්‍රමාණයේ අඩුවීමක් දැකගත නොහැකි බව ප්‍රකාශ කළාය. 

“ USAID  සංවිධානයේ වැඩ නැවැත්වීමත් සමගින්ම මෙරට ක්‍රියාත්මක කෙරුණු ව්‍යාපෘතිවලට යම් බලපෑමක් එල්ල වුණා. ඒ වගේම එම සංවිධානයේ ආධාර මුදල් මගින් ක්‍රියාත්මක වුණු මෙරට ආයතන කිහිපයක්ම වසා දැමීම නිසා රැකියා අහිමිවීම් බොහෝමයක් පිළිබඳවත් අපිට වාර්තා වුණා.“  යනුවෙන් ඇය පවසයි. 
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඇය, “ඒ වගේම අපි පසුගිය වසරේ සිට ක්‍රියාත්මක කරන මේ රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචිය පිළිබඳ නීති සම්බන්ධයෙන් යම් වරදවා වටහා ගැනීමක් තිබෙනවා. 

රජයටවත්, අපගේ ලේකම් කාර්යාලයටවත් රාජ්‍ය නොවන සංවිධාන සඳහා දැඩි සීමා කිරිම් පනවන්න වුවමනාවක් නැහැ. අපට අවශ්‍ය යම් ක්‍රමවේදයකට අනුව මෙම සංවිධාන පවත්වාගෙන යන්නයි“ යනුවෙන්ද ඇය පැවසුවාය. 
නිසි ලියාපදිංචියක් නොමැතිව ක්‍රියාත්මක සියලු‍ම රාජ්‍ය නොවන සංවිධානද මෙම ලේකම් කාර්යාලයේ ලියාපදිංචි ලබා ගත යුතුව තිබේ. 
“අලු‍තින් ලියාපදිංචිය සඳහා ඉදිරිපත් වන රාජ්‍ය නොවන සංවිධානවල අඩුවීමක් අපි දකින්නෙත් නැහැ. මේ වසරේ අගෝස්තු 31 වැනිදා දක්වා අලු‍තින් සංවිධාන 73ක් ඉල්ලු‍ම් කරලා තියෙනවා. මේ වනවිට ඒවා පිළිබඳව

ඇගයීම් සිදු කරමින් සිටින්නේ. 2024 වසර තුළදී පමණක් ඉල්ලු‍ම් පත්‍ර 114 ක් ලැබුණා. ඉන් 24ක් ලියාපදිංචි කෙරුණා.“ යනුවෙන්ද අධ්‍යක්ෂවරිය සඳහන් කළාය. 

එම ලේකම් කාර්යාලයේ දත්ත වාර්තා අනුව 2025 සැප්තැම්බර් 18 වැනිදා වනවිට මෙරට ලියාපදිංචි සක්‍රිය රාජ්‍ය නොවන සංවිධාන සංඛ්‍යාව 633 කි. එසේම මෙරට ලියාංපදිංචි එහෙත් සක්‍රිය නොවන රාජ්‍ය නොවන සංවිධාන 1265 කි.  

මේ අතර එම ලේකම් කාර්යාලය සඳහන් කරන ආකාරයට 2024 වසරේදී රාජ්‍ය නොවන සංවිධාන 92ක් හරහා සිදුකළ කටයුතු වෙනුවෙන් මෙරට වෙත අරමුදල් හිමිව තිබේ. ඒ අතරින් ප්‍රධානතම රාජ්‍ය නොවන සංවිධාන

10ක් හරහා ලැබුණු අරමුදල්වල වටිනාකම රුපියල් බිලියන 17කට ආසන්නය. 
එහිදී වැඩිම අරමුදල් ප්‍රමාණයක් රැගෙනවිත් ඇති සංවිධානය වන්නේ වර්ල් විෂන් ලංකා ආයතනයයි. එය රුපියල් 7,774,931,726 කි. එසේම සේව් ද චිල්ඩ්‍රන් ආයතනය රුපියල් 2,716,249,576 ක්ද, , MAG (The Mine Advisory Group)  මගින් රුපියල් 2,101,086,121 ක මුදලක්ද, ඒෂියා ෆවුන්ඩේෂන් වෙතින් රුපියල් 1,709,426,652ක මුදලක්ද ලබාදී තිබේ.

 



අදහස් (0)

ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීත්වය පහළට?

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site