IMG-LOGO

2026 අගෝස්තු මස 26 වන බදාදා


රුහුණු මහා කතරගම දේවාලයට කිරිවෙහෙරට 25 වැනි වරටත් ස්වදේශී කොහොඹ ආලෝක පූජා

 මෙම අවස්ථාවට සහභාගී වූ ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනි අමරි විජයවර්ධන, නියෝජ්‍ය සභාපතිනි/ කළමනාකාර අධ්‍යක්ෂිකා චූලෝධරා සමරසිංහ, කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද හිමි, රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ තිළිණ මධුශංක, ස්වදේශී කර්මාන්තායතනයේ ප්‍රාදේශීය බෙදාහැරීමේ නියෝජිත වන තුෂාර, ස්වදේශී කර්මාන්තායතනයේ සාමාන්‍යාධිකාරී - ආයතනික කටයුතු සහ අලෙවි, චමින්ද ජයසිංහ ඇතුළු ස්වදේශී සමාගමේ නිලධාරීන්


  • ප්‍රදේශයේ පාසල් දරුවන්ගේ අධ්‍යාපනය ආලෝකවත් කරයි

ශාකසාර සත්කාර නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළෙඳපොළ ප්‍රමුඛයා වන කඳාන, ස්වදේශී කර්මාන්තායතනය විසින් කතරගම කිරිවෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 2026 ඇසළ පෙරහර මංගල්‍යය හා සමගාමීව ආලෝකවත් කිරීම සිදු කෙරුණි. ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය යන තේමාව පෙරදැරිව මෙම ආලෝක පූජාව සංවිධානය කරනු ලබයි.

2026 ජූලි 15 වැනි දින සිට ජූලි 29 වැනි දින දක්වා පැවැත්වූ මෙම ආලෝක පූජාව වෙනුවෙන් ස්වදේශී සමාගම අඛණ්ඩව 25 වැනි වරටත් අනුග්‍රහය දක්වයි.

ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනි, අමරි විජයවර්ධන මහත්මිය මෙම ආලෝක පූජා සත්කාර වැඩසටහන සම්බන්ධයෙන් මෙසේ අදහස් දැක්වූවාය. “ශ්‍රී ලාංකේය සමාගමක් ලෙස ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හා සාම්ප්‍රදායික උරුමය ආරක්ෂා කරමින් මෙවැනි වාර්ෂික ආලෝක පූජා සත්කාරයන්ට සහයෝගය දැක්වීම අප සතු යුතුකමක්. ස්වදේශී කර්මාන්තායතනය මෙලෙස ආගමික සිද්ධස්ථාන ආලෝකවත් කරනු ලබන්නේ සියලු‍ම බැතිමතුන්ගේ ප්‍රයෝජනය සඳහා මෙන්ම, රටේ උරුමය සුරැකීමේ වැදගත්කම පිළිබඳව මතු පරපුර දැනුවත් කිරීම සදහායි.” 

මෙම ආලෝක පූජාවට සමගාමීව ලාංකේය සංස්කෘතිය සහ අභිමානවත් ඉතිහාසය විදහා දක්වන අලංකාර සංස්කෘතික පෙරහරක් ද පැවැත්විණි.

ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරයේ 25 වසරක අභිමානය සලකුණු කරමින් කතරගම කිරිවෙහෙර මහා සංඝරත්නය උදෙසා සංඝගත දක්ෂිණාවක් පිරිනැමීම සහ කතරගම ප්‍රදේශයේ පාසල් දරුවන් උදෙසා අධ්‍යාපනික ටැබ් යන්ත්‍ර පිරිනැමීම ඇතුළු වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණි. අඛණ්ඩව වසර 25 ක් පුරා සිදුකරන ලද මෙම ආලෝක පූජා සත්කාරය අගය කරමින්, කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් විසින් ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනි අමරි විජයවර්ධන මහත්මිය වෙත විශේෂ ඇගයීම් සම්මානයක් ද පිරිනමන ලදී.

මහාවංශයට අනුව බුදුරජාණන් වහන්සේ සිය තෙවැනි ලංකා ගමනයේදී කතරගම කිහිරි උයනට වැඩම කර ධර්මය දේශනා කිරීම සිහිපත් කරනු පිණිස මහනාග රජතුමා විසින් කිරිවෙහෙර චෛත්‍ය නිර්මාණය කර ඇත.

රුහුණු මහා කතරගම දේවාලය යනු ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සහ අභිවෘද්ධිය වෙනුවෙන් වූ බාරයක් ඉෂ්ට කිරීම පිණිස දුටුගැමුණු රජතුමන් විසින් කරවන ලද අති පූජනීය ස්ථානයකි. කතරගම දෙවිඳුන් යනු ලංකාවේ පමණක් නොව ලොව පුරා විවිධ ජාතීන්ට සහ ආගම්වලට අයත් ජනතාවගේ දැඩි ගෞරවයට පාත්‍ර වූ දෙවි කෙනෙකි.



අදහස් (0)

රුහුණු මහා කතරගම දේවාලයට කිරිවෙහෙරට 25 වැනි වරටත් ස්වදේශී කොහොඹ ආලෝක පූජා

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site