IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


රජයේ ආදායම සියයට 13.5 දක්වා ඉහළ ගිහින්

  • ශ්‍රී ලංකාව සැලකිය යුතු අන්දමින් රජයේ ආදායම වැඩි කරගෙන
  • ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් වීමට ආසන්නයේ

විමුක්ති එස්. රුද්‍රිගු

රජයේ ආදායම, දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 13.5 දක්වා ඉහළ ගොස් තිබෙන බවත් 2022 වසරේදී රජයේ ආදායම, දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 8.2 ක ප්‍රතිශතයක් වූ බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලී කොසැක් මහත්මිය පසුගිය දා පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළාය.

ශ්‍රී ලංකාව සැලකිය යුතු අන්දමින් රජයේ ආදායම වැඩි කරගෙන ඇතත් ආර්ථිකය තිබූ තත්වයට පත් කිරීම සඳහා තවමත් කළ යුතු වැඩ කොටසක් ඉතිරි වී තිබෙන බවද ඇය පැවසුවාය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පස්වැනි සමාලෝචනය සඳහා එම අරමුදලේ නියෝජිත කණ්ඩායමක් මෙරටට පැමිණ තිබෙන බවත් ඔවුන් සිය සංචාරය අවසානයේදී පස්වැනි සමාලෝචනය සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් නිකුත් කරනු ඇති බවත් කොසැක් මහත්මිය සඳහන් කළාය.

ශ්‍රී ලංකාව ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙන් ලබාගෙන ඇති ප්‍රගතිය ප්‍රශංසනීය බවත් උද්ධමනය පහළ ගොස් රජය ආදායම ඉහළ යමින් පවතින බවත් ඇය ප්‍රකාශ කළාය. එසේම නිල විදෙස් සංචිත ඉහළ යමින් පවතින බවද ඇය පැවැසුවාය.

මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් වීමට ආසන්න බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති අරමුදල් වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී ලබා ඇති ප්‍රගතිය ශක්තිමත් බවත් කොසැක් මහත්මිය ප්‍රකාශ කළාය. 

එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදුන් ආධාර වැඩසටහනේ නිර්දේශ ඉටු කිරීමට රජය කැපවී සිටින බවද ඇය සඳහන් කළාය.

පසුගිය වසරේදී ශ්‍රී ලංකාව සියයට 5 ක ආර්ථික වර්ධන වේගයක් ළඟා කරගෙන ඇති බවත් එය සැලකිය යුතු වර්ධනයක් බවත් එම වාර්තාවේ දැක්වේ. මේ වනවිට ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දී ඇති ණය මුදලෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.74 ක මුදලක් නිදහස් කර තිබෙන බවද ඇය පැවැසුවාය.

 



අදහස් (0)

රජයේ ආදායම සියයට 13.5 දක්වා ඉහළ ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site