IMG-LOGO

2025 ජුනි මස 16 වන සඳුදා


යළිත් පණ දියයුතු පැණි හකුරු කර්මාන්තය

සමගි පෙරමුණු රජය යටතේ ‘පැණි හකුරු’ කර්මාන්තය බැබළුණා 


‘උඹේ කටෙත් පස් මගේ කටෙත් පස්’ යැයි කියා මාගලක වැනු සීනි කා දැමුවේ අන්දරේය. අන්දරේගේ කාලයේ රටින් සීනි ගෙන ආවාදැයි ඉතිහාසයේ සඳහන් නොවන මුත් අද කාලයේ අන්දරේලා සීනි කවන්නේ ජනතාව වන අපටය. 

සීනි ආනයනය රටට මහත් බරකි. මේ වනවිට පස් දෙනකුගෙන් යුත් පවුලකට සතියකට සීනි කිලෝ දෙකක්වත් අවශ්‍ය බවට ගණන් බලා ඇත. මේ සීනි ගෙන එන්නේ පිටරටිනි. ලංකාවේද සීනි නිෂ්පාදනය කළත් එය රටට වුවමනා සීනි ප්‍රමාණයෙන් සියයට දහයකටද අඩුය. 2021 වසරේ මුල් මාස හතර තුළ පමණක් පිටරටින් සීනි ගෙන ඒමට අප රට ඩොලර් මිලියන 167ක් වැය කර ඇතැයි මහ බැංකු වාර්තාවල සඳහන් විය. එදා සීනි කිලෝවක මිල වූයේ රුපියල් 120-130 අතරය. අද 2025 වසරේදී සීනි කිලෝවක මිල රුපියල් 235ද ඉක්මවා ඇත. 2023 වසරේදී සීනි ආනයනයට ගිය වියදම රුපියල් මිලියන එක් ලක්ෂ හතලිස් දෙදහස් තුන්සිය එකකි. 

සීනි වෙනුවට විකල්පයක් අප රටේ ඇතත් එම විකල්පය පාවිච්චි කරනු වෙනුවට පිටරැටියනට ඩොලර් ලක්ෂ ගණනක් පුදා රටින් සීනි ගෙනැවිත් පාරිභෝජනය කරන ජාතියක් බවට අපි පත්වී සිටිමු. 

ජාතික ධනය පිටරටුනට පුදමින් අද රටින් ගෙනෙන සීනි ජාතික ආර්ථිකයම කා දැමුවත් එක්දහස් නවසිය හැත්තෑ ගණන්වල මෙරට සීනි වෙනුවට තිබුණේ හකුරුය. ගෙදර වත්තේ පොල් ගසක් මැද හදාගත්  පොල් පැණි සහ පැණි හකුරුය. සමගි පෙරමුණු රජය සමයේ ආනයනය සීමා කර රටේ ප්‍රචලිත කළ හකුරු කර්මාන්තය වඳවී ගියේ 1977 බලයට පත්වූ ජේ. ආර්ගේ එජාප ආණ්ඩුව යළිත් රටින් සීනි ගෙනෙන්නට පටන් ගත් නිසාය. 

1970-77 සමගි පෙරමුණු ආණ්ඩුව ලෝක ප්‍රකට වූයේ රටේ ආර්ථිකය යම් ස්ථාවරත්වයකට ගෙන ආවේත් එනිසාම එක් අතකින් ජනතාවට එපාවූයේත් ගෙවුම් ශේෂ හිඟය අඩු කිරීම සඳහා ආනයන සීමා කළ නිසාය. එම රජය දේශීය කර්මාන්ත ඇති කළේය. කැලණි ටයර්, ඇඹිලිපිටිය හා වාලච්චේන කඩදාසි, ඔරුවල වානේ ආදී එයට පෙර ඔවුන් විසින්ම අරඹා තිබූ දේශීය කර්මාන්ත දිරිමත් කළේය. මෙරට වගා කළ හැකි ආහාර පිටරටින් ගෙන ඒම නවත්වා වගාවට ජනතාව දිරිමත් කළේය. එහෙත් බලාපෙරොත්තු ලෙස ඒ කටයුතු ඉටු නොවීමෙන් ජනතාවට සිදුවූයේ දුෂ්කරතා විඳින්නය. 

මෙම ප්‍රතිපත්තිය නිසා යහපතක් සිදුවූ එක් කර්මාන්තයක් වූයේ මෙරට පැණි හා හකුරු කර්මාන්තය දියුණු වීමය. සීනි ආනයනය අත්හිටුවීම නිසා පැණි හා හකුරු සඳහා දැඩි ඉල්ලුමක් ඇතිවිය. මේ නිසා පොල් ගස් තුන හතරක් ඇති ගෙවත්තක පවා පැණි හා හකුරු නිෂ්පාදනය කිරීම වෙනුවෙන් ගසක් මැද ගැනීමට ජනතාවට සිදුවිය. එකල නිවෙස්වල පැණි උණු කරද්දී නිවසේ කුඩාවූන්ට අත්ල පුරා පැණි කෑමට ලැබිණි. ජනතාවට දුෂ්කරතා ඇති වුවත් බොහෝ ආහාරපාන සඳහා පැණි භාවිතා කිරීමට ජනතාව හුරුවූහ. අද රසකැවිලි සඳහා ආනයනික සීනි විශාල වශයෙන් යොදා ගත්තත් එදා රසකැවිලි සකස් කළේ පැණි සහ හකුරු යොදා ගැනීමෙනි. අධික සීනි පරිභෝජනය නිසා දියවැඩියාව වැළඳුණද දේශීයව උණු කර ගන්නා පැණි සහ හකුරු නිසා දියවැඩියා අවදානම අඩුවේ. සමගි පෙරමුණු රජය ඇරඹූ ක්‍රමය දිගටම පවත්වාගෙන ආවේ නම් මෙතරම් අතිවිශාල මුදලක් සීනි ආනයනය වෙනුවෙන් පිටරටට යැවෙන්නේ නැත. 

පොල් ත්‍රිකෝණයට අයත් වන කුරුණෑගල, හලාවත, ගම්පහ දිස්ත්‍රික්කවල එකල මහා පරිමාණයෙන් පැණි හා හකුරු නිෂ්පාදනය සිදු විය. විශේෂයෙන්ම එකල දඹදෙනි මිටියාවතේ ගම්බිම්වල පැණි හා හකුරු නිෂ්පාදනය වෙනුවෙන් පොල් ගසක් දෙකක් මැදගැනීම බහුලව සිදුවිය. බණ්ඩාරනායක මැතිනියට පිං දෙමින් එදා මල් තළන්නන් පොල්ගස් නැග්ගේ හකුරු හා පැණි වෙනුවෙන් මල් තළන්නට පමණක්ම නොවේ. මුට්ටියක් දෙකක් තෙලිජ්ජවලටද හරවා ගන්නටය. 

එදා දඹදෙණි මිටියාවතේ පොල්මල් මැද්දේ දේව වංශිකයන් විසිනි. දෙවුන්දර වැනි ප්‍රදේශයක දේව වංශිකයන් විශාල වශයෙන් ජීවත් වුවත් දඹදෙණිය වැනි ප්‍රදේශයක  ගමක දේව වංශිකයන් සිටින්නේ පවුලක් හෝ දෙකකි. දඹදෙණියේ රජකම් කරමින් ලක්දිව එක්සේසත් කළ දෙවැනි පරාක්‍රමබාහු මහ රජතුමාගේ අගමැතිවරයා වූයේ දෙවුන්දරින් පැමිණි දේවවංශිකයකු වූ දේව ප්‍රතිරාජ සෙනෙවිතුමාය. ඔහු රජතුමාගේ අගමැතිද මහසෙනෙවියාද විය. එකල මහාමාත්‍ය පදවිය පවා දරන්නට හැකි වූ දේවවංශිකයන් සමාජයේ හීන යැයි සම්මත කුලයකට ගාල් කළේ උඩරට පාලන යුගයේ නායක්කර් රජවරුන් විසිනි. දේව වංශිකයන් එවැනි හීන කුලයක් නොවේ. 

මේ පිරිසේ අතමිට සරුවූයේ සමගි පෙරමුණු රජය යටතේ සීනි ආනයනය සීමා කළ නිසාය. ගමක පවුලක් හෝ දෙකක්ව සිටි දේව වංශිකයන්ට සෑම නිවසකින්ම ගසක හැර බැඳ පොල්මල් තළන්නට ඇරියුම් ලැබිණි. ඔවුහු පොල්මල් තළා තෙලිදිය ගෙන උණුකර හකුරු සහ පැණි සෑදුහ.

දේව වංශික නිවසකම දිනපතාම පැණි තාච්චියක් උණු කෙරුණේය. ගම පුරා ගස් මදින පිරිමියා ගෙන එන අමතර තෙලිදිය තාච්චියට දමා උණුකර පැණි නිපදවූයේ එම නිවසේ කාන්තාවය. පැණි උණුකරන විට නිසි පදම ලැබෙනතුරු තාච්චිය හොඳින් බලා ගැනීම කළ යුතුය. එසේ නොවුවහොත් හදන හකුරේ රසය වෙනස් වෙයි. ඒ නිසා අහස කඩා වැටුණත් පැණි තාච්චිය රැක බලා ගැනීමට කාන්තාවෝ පුරුදුව සිටියහ. පොල් මලෙන් වෑහෙන රසපිරුණු තෙලිදිය උණුකර පැණි සහ හකුරු නිපදවා ඒවා ගංගොඩේ මිනිසුන්ට විකිණීමෙන් ඔවුහු ආදායම් ලැබූහ. එම නිෂ්පාදන නගරයෙන් පොළට ගෙන ගොස් වැඩි ආදායමක්ද ලබා ගත්හ. 

එසේ වුවත් රටේ බහුතර ජනතාවක් සිටියේ සීනි හිඟය දේශපාලන ප්‍රශ්නයක් බවට පත් කර ගනිමිනි. එනිසාම 1977 බිහිවූ ජේ.ආර් ගේ නව රජය මහා පරිමාණයෙන් සීනි ආනයනයට අවසර දුන්නේය. 1977 ජූලි බලයට පත්වූ රජය එම මාසය අවසන් වෙද්දීම මෙරට සිල්ලර කඩ සිනි මිටිවලින් පිරවූයේය. අලුතෙන් ආ සීනි රජවෙද්දී ගමේ පැණි හකුරු දියවෙන්නට පටන් ගත්තේය. හකුරට වඩා ලාබයට සීනි මිලදී ගත හැකි විය. එම කර්මාන්තය නැවතුණේය. ගස්මැදීම අභාවයට ගියේය. පළපුරුදු ගස් මදින්නන් මියගිය පසු අලුත් පරම්පරාව වෙනත් රැකියා කරා ඇදී ගියේය. අද හකුරු නිපදවන්නේ පිටරටින් ගෙන එන සීනි උණු කිරීමෙනි. ඒ නිසා සීනි කෑවත් හකුරු කෑවත් දියවැඩියාවට අතවනන්නේය. 

ආර්ථිකය ඉතා දුෂ්කරව ගෙවෙමින් පවතින මේ මොහොතේ පොල් පැණි හා පැණි හකුරු සඳහා රජය මැදිහත්වීමට කාලය එළඹ තිබේ.

 



අදහස් (0)

යළිත් පණ දියයුතු පැණි හකුරු කර්මාන්තය

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site