නොවැම්බර් මාසය අවසන් වනවිට යුනිට් ට්‍රස්ට් හෙවත් ඒකක භාර යටතේ පවතින වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 597ක් (596,691,371,138.85ක්) ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙය පෙර වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව සියයට 16.5ක වර්ධනයක් බව ශ්‍රී ලංකා ඒකක භාර සංගමය (UTASL) සඳහන් කරයි.
මෙහිදී මූලිකවම ලැයිස්තුගත සමාගම්හි කොටස් හා සම්බන්ධ අරමුදල් වෙත ගලා ආ රුපියල් බිලියන 3.4 ක් වටිනා නව අරමුදල් සමගින් මෙම වත්කම් තවදුරටත් ඉහළ ගොස් තිබෙන බව එම සංගමය පවසයි.
ඒ අනුව නොවැම්බර් මාසයේදී පමණක් නව යුනිට් ට්‍රස්ට් ආයෝජකයන් 2,945 දෙනකු එකතු වී ඇති අතර, වසර තුළ මේ දක්වා එක් වූ සංඛ්‍යාව 27,720ක් ලෙස සටහන්ව තිබේ. නොවැම්බර් මාසය අවසන් වනවිට යුනිට් ට්‍රස්ට් හා සම්බන්ද ආයෝජකයන් සංඛ්‍යාව 141,252ක් වන අතර, එය පෙර වසර හා සැසඳීමේදී සියයට 25ක වර්ධනයකි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එම සංගමයේ උප සභාපති ෆර්ස්ට් කැපිටල් ඇසෙස්ට් මැනේජ්මන්ට් ලිමිටඩ්හි ප්‍රධාන විධායක නිලධාරී කෙවින් කරුණාමූර්ති මහතා, “ගතවන වසර තුළදී යුනිට් ට්‍රස්ට් සඳහා පවතින ඉල්ලුමේ ඉහළ යාම පිළිබඳව අපි ඉතාමත් ධෛර්යමත් වෙනවා. එහෙත් ජනතාව අතර මූල්‍ය සාක්ෂරතාව ශක්තිමත් කිරීම සහ රට පුරා ජනතාව යුනිට් ට්‍රස්ට් හා සම්බන්ධ කරගැනීමට තවත් බොහෝ දේ කළ යුතුව තිබෙනවා.“ යනුවෙන් පැවසීය.

යුනිට් ට්‍රස්ට් සතු වත්කම් රු. බිලියන 597ක් දක්වා ඉහළට