IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මුල් මාස 8ට දෙලක්ෂයකට වැඩි පිරිසක් විදෙස් රැකියාවලට ගිහින්

මෙම වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා ගතවූ මාස 8ක කාලයේදී ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 212,302 දෙනකු රැකියා සඳහා විදේශ ගතවී තිබෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
කාන්තා ශ්‍රමිකයන්ට සාපේක්ෂව පිරිමි ශ්‍රමිකයන් විදේශ ගතවීම මෙම කාල සීමාවේදී කැපී පෙනෙන ලෙස වර්ධනය වී ඇති අතර, මෙම කාලයේදී රැකියා සඳහා විදේශ ගතවූ පිරිමි ශ්‍රමිකයන් සංඛ්‍යාව 130,252 කි. මෙම මාස 8 ක කාලයේදී කාන්තාවන් 82,050 දෙනකු රැකියා සඳහා විදේශ ගතවී තිබේ.
ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වැඩි වශයෙන් රැකියා සඳහා යොමුවී ඇත්තේ කුවේට් රාජ්‍යයට වන අතර, එම ගණන 53,159 කි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ශ්‍රමිකයන් 41,180 දෙනකුද, කටාර් රාජ්‍යයට ශ්‍රමිකයන් 30,263 දෙනකුද මෙම කාලයේදී විදෙස් රැකියාවලට ගොස් තිබේ.
සාම්ප්‍රදායික මැදපෙරදිග රටවලින් බැහැරට යමින් නැගෙනහිර ආසියානු රටවලට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යොමුවීමේ වැඩි ප්‍රවණතාවක් මේ වන විට ඇතිවී තිබේ. ඒ අනුව ජපානයට ශ්‍රමිකයන් 8,015 කුද, දකුණු කොරියාවට 4,324 කු ද රැකියා සඳහා විදේශ ගතවී තිබේ.
මේ අතර, විදේශ රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයන් 2025 වසරේ මුල් මාස 8 තුළ ඩොලර් බිලියන 5.11 ක ප්‍රේෂණ මෙරටට එවා ඇත. 2024 වසරේ මුල් මාස අටේදී විදෙස්ගත ශ්‍රමිකයන් මෙරටට එවූ ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 4.28 කි. ඊට සාපේක්ෂව 2025 වසරේදී ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් සියයට 19.30 න් ඉහළ ගොස් තිබේ. එසේම 2025 වසරේ අගෝස්තු මාසයේදී පමණක් ඩොලර් මිලියන 680.80 ක ප්‍රේෂණ ප්‍රමාණයක් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට එවා ඇත. 



අදහස් (0)

මුල් මාස 8ට දෙලක්ෂයකට වැඩි පිරිසක් විදෙස් රැකියාවලට ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site