IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මිලදී ගැනීම ප්‍රමාදයි: දෛනික වර්ධනය සීමාවකට

කොටස් වෙළෙඳපොළ ඊයේ (නොවැ. 20) ගනුදෙනු හමාරවන විට වර්ධනයක් සනිටුහන් කළේය. අද දිනයේ දී ද සැලකිය යුතු පිබිදීමක් අපේක්ෂා කෙරේ. ඉකුත් සතියේ සිට දින පහක් පසුබැසීමක තිබුණ වෙළෙඳපොළ මෙදින ගනුදෙනුවල දී ද තව දුරටත් අධෛර්යවත් කරන සූදානමක් මිල දී ගැනීමේ පාර්ශවවලින් නිර්මාණයවෙමින් තිබුණි. 
කොටස් ඉල්ලුම හා සැපයුම අතර පවතින දෝලනය තවදුරටත් ධනාත්මක පැත්තකට යොමුවන අවකාශයක් ඇත. තෝරාගත් සමාගම්වල කොටස් මිල දී ගැනීම වාසිදායක වනු ඇති අතර පසුගිය සති පනස් දෙක තුළ සමාගම් වල කොටස් මිල තීරණය වූ ආකාරය ගැන අධ්‍යයනයකට පසු මිල දී ගැනීමට තීරණය කිරීම සුදුසු තත්වයකි. නිකුත් කර ඇති මුල්‍ය වාර්තා අනුව සමාගම් සැලකිය යුතු ප්‍රමාණයක ලාබ ඉහළ ගොස් තිබේ. ප්‍රමාණවත් පිරිවැටුමක් ද පවතී. ඉදිරි කාර්තුව තවත් ශක්තිමත් විය හැකි බව සඳහන්ය. ඩී.එෆ්.සී.සී බැංකුව රු. බිලියන තුනක ණයකරයක් ප්‍රකාශයට පත් කර ඇත. ලංකෙම් සිලෝන් සමාගම වරණීය කොටස් නිකුතුවක් නිවේදනය කර තිබේ. ජේ එෆ් පැකේජිං කොටන් නිකුතුව සඳහා ඉල්ලුම හය ගුණයකින් ඉහළ ගොස් තිබුණ අතර ආයෝජන ශක්තිය ප්‍රමාණවත් බව එම දත්ත අනාවරණය කරයි. 
මේ අතර තවමත් විදේශ ආයෝජන අංශ විකිණීම්වලට නැඹුරුය. දිනයේ ගනුදෙනුවල දී විදේශ මිල දී ගැනීම් රු. මිලියන 135.8 ක් වන අතර විකිණීම් රු. මිලියන 176.7 කි. මෙම සතියේ ගත වූ දින හතරක ගනුදෙනු කාලය තුළ පමණක් විදේශ විකිණීම් හෙයින් රු. මිලියන 297 ක ශුද්ධ වටිනාකමක් රටින් බැහැර වී තිබේ. 
මෙදින ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 23,104.96 ක් තෙක් ඉහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 75.10 ක පිබිදීමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6,382.18 ක් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 20.60 ක ඉහළ යාමකි. දෛනික පිරිවැටුම රු. බිලියන 3.48 කි. ගනුදෙනු 35,417 ක් වාර්තා වී තිබේ. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 151.2 ක් විය. සමාගම් 163 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 85 කි. මිල දී ගැනීමේ උනන්දුව සියයට 61.7 කි.
නිරීක්ෂක

 



අදහස් (0)

මිලදී ගැනීම ප්‍රමාදයි: දෛනික වර්ධනය සීමාවකට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site