IMG-LOGO

2026 අප්‍රේල් මස 20 වන සඳුදා


මාර්තුවේ තේ අලෙවියේ වටිනාකම් පහළට

තේ කිලෝවක අලෙවි වටිනාකම රුපියල් 1,144.23 ක්


2025 මාර්ත හා සැසඳීමේදී තේ කිලෝවක මිල රුපියල් 39.53 ක අඩුවීමක්


මේ වසරේ මාර්ත මාසයේදී මෙරට ජාතික තේ අලෙවියේ වටිනාකම රුපියල් සහ එක්සත් ජනපද ඩොලර් වටිනාකම් අනුව පහත වැටී ඇතැයි තේ තැරැව්කාර ආයතනයක් වන Forbes and Walker පවසයි.

ඒ අනුව මාර්තු මාසයේ තේ කිලෝවක් සඳහා වන රුපියල් වටිනාකම රුපියල් 1,144.23ක් (ඩොලර් 3.63ක්) ලෙස සටහන්ව ඇති අතර, මෙය පසුගිය පෙබරවාරි මාසයේ වාර්තා කළ රුපියල් 1,152.11 (ඩොලර් 3.72) හා සැසඳීමේදී රුපියල් 7.88 ක (ඩොලර් 0.09ක) පහත වැටීමකි. එසේම 2025 වසරේ මාර්තු මාසයේ වාර්තා කළ රුපියල් 1,183.76 (ඩොලර් 3.99) හා සැසඳීමේදී රුපියල් 39.53 ක (ඩොලර් 0.36ක) පහත වැටීමක් බව එම ආයතනය සඳහන් කරයි.

මෙහිදී රුපියල් වටිනාකම් අනුව පෙබරවාරි මාසයට සාපේක්ෂව මාර්තු මාසයේදී මැදි වගාබිම් තේ හැර අනෙකුත් සියලු‍ම වගාබිම්වල තේ මිල ගණන් පහත වැටී තිබේ. ඒ අනුව උස් වගාබිම් තේ කිලෝවක් රුපියල් 1,150.71 ක සිට 1,159.02ක් දක්වා රුපියල් 8.31 කින්ද, පහත් වගාබිම් තේ කිලෝවක් රුපියල් 1,181.30ක සිට 1,195.25ක් දක්වා රුපියල් 13.95කින්ද පහත වැටී තිබේ. 

එහෙත් මැදි වගාබිම් තේ කිලෝවක් රුපියල් 981.37 ක සිට 987.09 ක් දක්වා රුපියල් 5.72 කින් ඉහළ ගොස් තිබේ.

මේ අතර රුපියල් වටිනාකම් අනුව 2025 වසරේ මාර්තු මාසයට සාපේක්ෂව 2026 මාර්තු මාසයේදී උස් වගාබිම් හැර අනෙකුත් වගාබිම්වල තේ වටිනාකම් පහත වැටී තිබේ. ඒ අනුව මැදි වගාබිම් තේ කිලෝවක් රුපියල් 1,056.30 ක් දක්වා රුපියල් 69.21කින්ද, පහත් වගාබිම් තේ කිලෝවක් රුපියල් 1,236.32ක් දක්වා රුපියල් 55.02කින්ද පහත වැටී තිබේ. එහෙත් උස් වගාබිම් තේ කිලෝවක් රුපියල් 1,144.99ක් දක්වා රුපියල් 5.72 කින් ඉහළ නැග ඇත.



අදහස් (0)

මාර්තුවේ තේ අලෙවියේ වටිනාකම් පහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site