IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


බස් රථ සේවාවට ඩිජිටල් ගෙවීම් පහසුකම හඳුන්වා දෙමින් DFCC බැංකුවෙන් ජාතික ප්‍රවාහන සේවාවට නව අරුතක්

DFCC  බැංකුව, ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන ජාලය වෙත සිය ඩිජිටල් ගෙවීම් පහසුකම් හඳුන්වා දීමට පියවර ගෙන ඇති අතර මේ යටතේ DFCC  බැංකුවේ POS (Point of Sale) යන්ත්‍ර හරහා QR කේත, ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් මගින් බස් රථ ගාස්තු ගෙවීමේ පහසුකම සලසා දී තිබේ.
 ප්‍රවාහන අමාත්‍යාංශය විසින් ආරම්භ කර ඇති, ප්‍රවාහන ගාස්තු අයකර ගැනීමේ ක්‍රමවේදය නවීකරණය කිරීමේ සහ ප්‍රවාහන ක්ෂේත්‍රය මුදල් භාවිතයෙන් තොර මෙහෙයුම් ආකෘතියක් වෙත යොමු කිරීමේ ජාතික වැඩපිළිවෙළට මෙම මුලපිරීම සුවිශේෂී දායකත්වයක් සපයයි. 
මෙම ව්‍යාපෘතියේ කොටසක් ලෙස, ප්‍රවාහන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති මෙහෙයුම් මාර්ගෝපදේශවලට අනුකූලව බස් රථ හිමියන්ට සහ රාජකාරිවල නිරත මහත්වරුන් වෙත POS යන්ත්‍ර ලබා දීමට DFCC බැංකුව කටයුතු කරයි. මෙම සෑම POS යන්ත්‍රයක්ම අමාත්‍යාංශයේ තාක්ෂණික සහ නියාමන ප්‍රමිතීන්ට අදාළ වන නව මෘදුකාංග පද්ධතියකින් සමන්විත වන අතර, එමගින් ආරක්ෂිතව සහ ඉක්මනින් ගාස්තු අයකර ගැනීමටත්, බස් රථ තුළ කාර්යයන්හි කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත් හැකියාව ලැබේ. තවද, සහතික ලත් ප්‍රවේශපත්‍ර මෘදුකාංග සේවා සපයන්නන් සහ දෘඩාංග හවුල්කරුවන් සමග එක්ව, දෛනික බස් රථ මෙහෙයුම් සඳහා විසඳුමක් ලෙස ඉලෙක්ට්‍රොනික ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ යන්ත්‍ර (ETIM) පහසුකම ද බැංකුව විසින් ලබාදෙයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති/ පුද්ගල සහ ව්‍යාපාර බැංකුකරණ අංශ ප්‍රධානී ආසිරි ඉද්දමල්ගොඩ මහතා මෙසේ පැවසීය. “ශ්‍රී ලංකාවේ බස් රථ ජාලය නව ඩිජිටල් පහසුකම් සහිත නව අවධියක් කරා ගෙන යාමට ප්‍රවාහන අමාත්‍යාංශය ගනු ලබන ප්‍රයත්නයට සහාය වීමට ලැබීම DFCC බැංකුවට ඉමහත් අභිමානයක්. බස් රථ තුළ කාඩ්පත් මගින් ගෙවීම් කිරීමේ හැකියාව ලබා දීම හරහා මගීන්ට වඩාත් ආරක්ෂිත සහ පහසු ගෙවීම් ක්‍රමයක් හිමිකර දීමට අපි කටයුතු කරන්නෙමු. එමෙන්ම, ප්‍රවාහන සේවයේ නිරත වන මහත්වරුන්ට තම දෛනික ගනුදෙනු කළමනාකරණය කරගැනීම සඳහා ආරක්ෂිත සහ කාර්යක්ෂම ක්‍රමවේදයක් ද මේ හරහා හිමිවනු ඇත.”‍
මෙම සහයෝගීතාව, අත්‍යවශ්‍ය සේවා අංශ හරහා ඩිජිටල් ගෙවීම් ක්‍රම ප්‍රචලිත කිරීමේ DFCC බැංකුවේ පුළුල් උපායමාර්ගික සැලැස්මේ කොටසකි. විවිධ ක්ෂේත්‍රවල POS යන්ත්‍ර බහුලව ස්ථාපිත කර ඇති බැංකුවක් ලෙස, රජයේ දිගුකාලීන ඩිජිටල් ආර්ථික සැලැස්මට සමගාමීව පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය වෙත ද බැංකුව සිය ගෙවීම් පහසුකම් මෙලෙස ව්‍යාප්ත කර ඇත.

 



අදහස් (0)

බස් රථ සේවාවට ඩිජිටල් ගෙවීම් පහසුකම හඳුන්වා දෙමින් DFCC බැංකුවෙන් ජාතික ප්‍රවාහන සේවාවට නව අරුතක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site