IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


බිස්නස් වැඩිවෙයි කියලා හිතනවා


ළඟ ළඟම එන නත්තල් උත්සව සමයත්, නව වසරක ආරම්භයත් සමඟ නව භාණ්ඩ මිලදී ගැනීමට පාරිභෝගිකයෝ දැඩි රුචිකත්වයක් දක්වති. කලක පටන් බොහෝ පාරිභෝගිකයන් පිටකොටුවට පැමිණියේ අඩු මිලකට රෙදි පිළි, පාවහන්, ගෘහ උපකරණ, සැරසිලි භාණ්ඩ මිලදී ගැනීමට ය. එහෙත් පසු කාලීනව එම තත්වය පසුබැස ගියේ නුගේගොඩ, වත්තල, කිරිබත්ගොඩ, පමුණුව හා ප්‍රාදේශීය වශයෙන් වෙළෙඳසල් විවෘත වීමත් සමග ය. එය කෙසේ වුවද තවමත් පිටකොටුවේ රෙදිපිළි වෙළෙඳාමට අගුල් දැමීමට හැකියාවක් ලැබී නැත. ඊට හේතු වී ඇත්තේ විවිධ ප්‍රදේශවලින් කොළඹ නගරයේ රැකියාවට පැමිණි පිරිස් ගම් දනව් වෙත යෑමට මත්තෙන් පිටකොටුව බස් නැවතුමට, එසේත් නැත්නම් කොටුව ඉස්ටේෂමට පැමිණීම නිසා නැදෑ හිතමිතුරන්ට අතේ ඇති මුදලට භාණ්ඩ ගැනීමට හැකි වෙළෙඳපොළක් පිටකොටුවේ නිර්මාණය වී තිබීම නිසාවෙනි.

නත්තල් උත්සව සමයත්, නව වසරක ආරම්භයත් සමග මේ දිනවල පිටකොටුව වෙළෙඳ නගරයේ වෙළෙඳාමේ තතු සොයා බැලීමට ගිය ගමනේ දී අප ගොඩවැදුණේ පළමු හරස්වීදියේ NL LIGHTING වෙළෙඳසල වෙතටයි. එහි ව්‍යාපාරික නිශාන්ත ලක්මාල් මහතා මේ දිනවල වෙළෙඳාම සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි. 

Q මේ දිනවල බිස්නස් කොහොමද?

මම පළමු හරස්විදියේ වෙළෙඳාම් කරන්න පටන් අරගෙන වසර 15ක් විතර වෙනවා. මේ පාර නත්තල් උත්සව සමය ඉලක්ක කරගෙන මේ දිනවල නත්තල් සැරසිලි වෙළෙඳපොළට හඳුන්වා දිලා තියෙන්නේ. මේ පාර බිස්නස් එක ගැන කිවුවොත් පසුගිය වසරට සාපේක්ෂව බිස්නස් හොඳ මට්ටමක පවතිනවා.

Q බිස්නස් වැඩිවීමට බලපෑ හේතු මොනවාද?

පසුගිය වසරවල ගත්තොත් නත්තලට දින තුන හතරක් වගේ තියලා තමයි බිස්නස් තිබුණේ. අපි මේ පාර දෙසැම්බර් 05 වගේ ඉදන් නත්තල් සැරසිලි වෙළෙඳපොළට අරගෙන ආවා. ඒ දවසේ ඉදන් මේ වෙනකන්ම බිස්නස්වල හොඳ මට්ටමක් තියෙනවා. කලින්ට වඩා සැරසිලිවල මිල ගණන් අඩුවෙලා තියෙන්නේ. ඒකත් එක්ක ඉදිරි දින කිහිපයෙත් හොඳ බිස්නස් එකක් බලපොරොත්තු වෙනවා. තව දින කිහිපයකින් රතිඤ්ඤා සහ ගිනිකෙළි මිලදී ගන්න පාරිභෝගිකයාට අවස්ථාව සැලසෙනවා.

ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕන කරුණක් තමයි මේ දිනවල අපෙන් භාණ්ඩ ගන්න එන්නේ කොළඹ හා ඒ අවට නගරවල ජීවත්වන පාරිභෝගික පිරිසක්. කලින් වසරවල දුර පළාත්වල වෙළෙඳාම් කරන අය දෙසැම්බර් මුල් සතියෙම වගේ ඇවිත් ඒ ප්‍රදේශවල වෙළෙඳාම් කරන්න අවශ්‍ය කරන නත්තල් සැරසිලි, රතිඤ්ඤා වගේ දේවල් අරගෙන ගියා. එහෙත් පසුගිය දවස්වල ඇති වුණ ආපදා තත්වයත් එක්ක දුර බැහැර ප්‍රදේශවලින් භාණ්ඩ මිලදී ගන්න එන පාරිභෝගික පිරිසගේ අඩුවීමක් තියෙනවා. මේ දිනවල පාරිභෝගිකයෝ විශාල මුදලක් සැරසිලි වෙනුවෙන් යොඳවනවා වෙනුවට සමහර පාරිභෝගිකයෝ සුළු මට්ටමින් නත්තල් සැරසිලි සඳහා මුදල් යොඳවලා ඉතිරි මුදල් සහන කටයුතු සඳහා දායක වෙන්න නැඹුරුතාවක් තිබෙන බව ඔවුන් සමඟ කළ සාකච්ඡාවලින් අපිට තේරුණා. 

මේ වෙද්දී නත්තලත් එක්ක සතුටු වෙන්න පුළුවන් මට්ටමේ වෙළෙඳාමක් තියෙනවා වගේම නත්තලට තවත් දින කිහිපයක් තියෙන නිසා බිස්නස්වල වැඩිවීමක් වෙයි කියලා හිතනවා.

මනීෂා වීරසිංහ
ඡායාරූප : ජයමාල් චන්ද්‍රසිරි



අදහස් (0)

බිස්නස් වැඩිවෙයි කියලා හිතනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site