IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


බිස්නස් තිබ්බට ලාබ නෑ - මාලබේ රුවන් පේන්ට් හවුස් හිමිකාරිණී ඩබ්ලිව්.එස්. නිරෝශනී

මේ දිනවල බිස්නස්වල තත්වය පිළිබඳව සොයා බැලීමට අපි පිටකොටුව, නුගේගොඩ, මහරගම, කොහුවල, දෙහිවල, වැල්ලම්පිටිය, කොලොන්නාව, බොරැල්ල, දෙමටගොඩ, කිරිබත්ගොඩ, කොට්ටාව, බත්තරමුල්ල ආදී ප්‍රදේශවල ඇඳුම්, පාවහන්, තිර රෙදි, ප්ලාස්ටික් බඩු, පාසල් උපකරණ, ගෘහ උපකරණ ආදී එකී මෙකී නොකී භාණ්ඩ අලෙවිසල් වෙත ගියෙමු. බිස්නස්වල තතු සෙවීමට අප මෙවර ළඟා වූයේ මාලබේ නගරයේ පිහිටි රුවන් පේන්ට් හවුස් වෙතය. එහි හිමිකාරිය වූ ඩබ්ලිව්.එස්. නිරෝශනී මහත්මිය මේ දිනවල බිස්නස් පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසකි.

Q මේ දිනවල බිස්නස් කොහොමද?

මේ වෙළෙඳසල ආරම්භ කරලා දැනට වසර 28 ක් වෙනවා. මේ දිනවල බිස්නස් පිළිබඳව කතා කරනවා නම් බිස්නස් අඩුවක් කියන්න බෑ. බිස්නස් සාමාන්‍ය පරිදි කෙරීගෙන යනවා. එහෙත් ලබන ලාබය අඩුයි. 

Q බිස්නස් මේ තත්වයට පත්වීමට බලපෑ හේතු මොනවාද?

ඇත්තටම බිස්නස් එකෙන් අපිට ලාබයක් නෑ. බදු ගෙවාගන්නත් වත්කමක් නැති මට්ටමින් තමයි බිස්නස් එක කරගෙන යන්නේ. සියයට 3ක් වගේ තමයි බිස්නස් එකේ ලාබ තියෙන්නේ. පැවැත්මක් ඕන නිසා බිස්නස් එක කරනවා ඇරෙන්න ලාබයක් ගන්න බෑ. ඉස්සරනම් සියයට 10, 15 ලාබ තිබ්බා. දැන් සියයට 5ක වගේ ලාබයක් තිබ්බොත් තමයි. ඊට එහා ලාබ ගන්න බෑ. 

ඉස්සර ලොකු ඕඩර් එකක් ආවම කාලයක් යනකන් නිශ්ශබ්දව ඉන්න පුළුවන්. එහෙත් දැන් එහෙම බෑ. අදත් ලක්ෂ 20කට වැඩි ඕඩර් එකක් ආවා. එහෙත් මේකෙන් අපිට ලාබ තියෙන්නේ සියයට 2ක් වගේ. බිස්නස් තිබ්බට ලාබ නෑ. පසුගිය කාලේ බිස්නස් අඩු වෙන්න බලපාපු ලොකුම හේතුව තමයි මිල ගණන් වැඩි වීම. බොහෝ අයගේ මාසික පඩිය 50000ක් 60000ක් වගේ. එහෙත් තීන්න බාල්දියක් රුපියල් 95000කට වගේ මුදලකට වැඩි වුණා. ඒ නිසා බිස්නස් හොඳටම අඩු වුණා. දැන්නම් මිල ගණන් අඩුයි. එහෙත් අපි කලින් මිලදී ගත්ත ලක්ෂ ගාණක බඩු තියෙනවා. ඒවා දැන් මිලක් අය නොකර නිකන් දුන්නත් එකයි. ඒවා බොල් ණය වෙලා තියෙන්නෙ. ඒත් ඉතින් අපි බිස්නස් එක කරගෙන යනවා. හිටපු සේවකයොත් අයින් කළා. සේවකයන්ටත් පඩි ගෙවල මේ ගමන යන්න බෑ. ඒ නිසා තනියම බිස්නස් එක කරගෙන යනවා.

ශෂිකා අබේරත්න


ඡායාරූප- ගයාන් අමරසේකර



අදහස් (0)

බිස්නස් තිබ්බට ලාබ නෑ - මාලබේ රුවන් පේන්ට් හවුස් හිමිකාරිණී ඩබ්ලිව්.එස්. නිරෝශනී

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site