IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


බිස්නස් කඩාවැටෙන්නේ මිනිස්සුන්ට සල්ලි නැතිකමෙන්

කලක පටන් බොහෝ පාරිභෝගිකයන් පිටකොටුවට පැමිණියේ රෙදිපිළි මිලදී ගැනීමට ය. එහෙත් පසුකාලීනව එම තත්වය පසුබැස ගියේ නුගේගොඩ, වත්තල, කිරිබත්ගොඩ, පමුණුව හා ප්‍රාදේශීය වශයෙන් නිමි ඇඳුම් කඩ විවෘතවීමත් සමග ය. එය කෙසේ වුවද තවමත් පිටකොටුවේ රෙදිපිළි වෙළෙඳාමට අගුල් දැමීමට හැකියාවක් ලැබී නැත. ඊට හේතු වී ඇත්තේ විවිධ ප්‍රදේශවලින් කොළඹ නගරයේ රැකියාවට පැමිණි පිරිස් ගම්දනව් වෙත යෑමට මත්තෙන් පිටකොටුව බස් නැවතුමට, එසේත් නැත්නම් කොටුව ඉස්ටේෂමට පැමිණීම නිසා නැදෑ හිතමිතුරන්ට අතේ ඇති මුදලට ඇඳුමක් මිලදී ගැනීමට හැකි වෙළෙඳපොළක් පිටකොටුවේ නිර්මාණය වී තිබීම නිසාවෙනි.

පිටකොටුවේ රෙදිපිළි වෙ‍ළෙඳාමේ දී තොග සහ සිල්ලර ලෙස පැහැදිලි බෙදීමක් තිබුණ ද රෙදිපිළි සිල්ලර වෙළෙඳාම වෙනත් නගරවලට බෙදී ගියත් තවමත් රෙදිපිළි තොග වෙළෙඳාම ඇත්තේ පිටකොටුවේ දෙවැනි හා තෙවැනි හරස් වීදිවල ය. 

මේ දිනවල පිටකොටුව වෙළෙඳ නගරයේ වෙළෙඳාමේ තතු සොයා බැලීමට පිටකොටුවට ගිය ගමනේ දී අප ගොඩවැදුනේ දෙවැනි හරස් වීදියේ NEW MEGA BATHICවෙළෙඳ ආයතනයටයි. එහි ව්‍යාපාරික ලක්ෂ්මන් රත්න විභූෂණ මහතා මේ දිනවල වෙළෙඳාම සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි. 

Q මේ දිනවල බිස්නස් කොහොමද?

මේ දවස්වල සීසන් එකක් නැති නිසා ලොකු බිස්නස් එකක් නැහැ. බිස්නස් සාමාන්‍ය මට්ටමකට තමයි තියෙන්නේ. අප්‍රේල්, දෙසැම්බර් මාසවල සීසන් එකේ තමයි සාරිවලට වෙළෙඳපොළක් තියෙන්නේ.

Q බිස්නස් මේ තත්වයට පත්වීමට බලපෑ හේතු මොනවාද?

මෙය ජාලයක් විදිහට පවත්වාගෙන යන ව්‍යාපාරයක්. අපේම දේශීය බතික් සාරි නිෂ්පාදන ආයතනයක නිපදවන බතික් සාරි තොග සහ සිල්ලර කියන දෙයංශයෙන්ම පාරිභෝගිකයාට මිලදී ගන්න අවස්ථාව සලසා දී තිබෙන්නේ. පාරිභෝගිකයා සෑම අවස්ථාවකම අඩු මුදලකට සාරි ගන්න උත්සාහ කිරීම නිසා අඩු මුදලකට ගන්න ඉන්දියානු ප්‍රින්ටට් බතික් සාරි ඒ වෙනුවෙන් ආදේශකයක් විදිහට යොදාගෙන තියෙනවා. එහෙත් අමුද්‍රව්‍ය අතින් ගත්තහම මෙම සාරිවල ගුණාත්මකභාවයෙන් වැඩි දේශීය බතික් සාරි තමයි. සාමාන්‍යයෙන් දේශීය බතික් සාරියක තොග මිල රුපියල් 4000ක් වෙනවා. ඉන්දියන් බතික් සාරියක් ඊට වඩා අඩු මුදලකට ගන්න පුළුවන්.

පාරිභෝගිකයෝ අතේ මුදල් තියෙනවා ද කියන සාධකයත් එක්ක තමයි බිස්නස් එක රඳා පැවැත්ම සිදුවන්නේ. භාණ්ඩයක් ගන්න පාරිභෝගිකයෙක් ආවොත් තමයි අපිට බිස්නස් එකක් තියෙන්නේ. පවතින ආර්ථික මට්ටමත් එක්ක පාරිභෝගිකයන්ට මූලික අවශ්‍යතාවලට අමතරව තවත් දෙයක් මිලදී ගන්න හැකියාවක් නෑ. මාසෙට රුපියල් පනස්දාහක පඩියක් ගන්න කෙනෙක් මාසික ආහාර අවශ්‍යතාව, ජල බිල්, විදුලි බිල් ගෙව්වම අතේ මුදලක් ඉතිරි වෙන්නේ නැහැ. එහෙම තත්වයක් තියෙද්දී කොහොමද පාරිභෝගිකයෙක් ඇවිත් අමතර මුදලක් යොදවලා ඇඳුමක් ගන්නේ. තවත් සමහරු දවසකට එක වේලක් හරි කන්නේ හරිම අමාරුවෙන්. මිනිස්සු අතේ සල්ලි නැතිකම තමයි බිස්නස් කඩාවැටෙන්න මූලිකම හේතුව.

ඊට අමතරව අද වෙද්දී අපේම වෙළෙඳසලටම ඇවිත් රෙදි මිලදී ගන්න අවශ්‍ය නැහැ. පාරිභෝගිකයන්ට වෙළෙඳපොළේ රෙදිපිළි මිලදී ගන්න විවිධ අවස්ථා තියෙනවා. ප්‍රධාන වෙළෙඳ නගර කේන්ද්‍ර කරගනිමින් නමගිය වෙළෙඳසල් විවෘතවීමත් සමග පාරිභෝගිකයෝ ඒ ස්ථානවලින් රෙදිපිළි මිලදී ගන්න පුරුදු වෙලා ඉන්නේ. නත්තල් සීසන් එක සහ වර්ෂ අවසාන සේල් එක්ක නැවත බිස්නස් එකක් ඇති වෙයි කියන බලාපොරොත්තුවක් තියෙනවා.

මනීෂා වීරසිංහ
ඡායාරූප : ඉසුරු පෙරේරා



අදහස් (0)

බිස්නස් කඩාවැටෙන්නේ මිනිස්සුන්ට සල්ලි නැතිකමෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site