IMG-LOGO

2025 ජුනි මස 16 වන සඳුදා


බලධාරී ඇස් නොගැටෙන උණ බට භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තය

  • කම්හල 2018 වසරේදී ආරම්භ කර ඇත්තේ රාජ්‍ය අනුග්‍රහය ඇතිවයි
  • පැලැල්ලේගම ප්‍රදේශයේ උණ බට කලා ශිල්පී පවුල් 75 ක් පමණ සිටියත් කම්හලේ සේවය කරන්නේ 30 දෙනකු පමණයි
  • අමු ද්‍රව්‍ය හිඟකම, තාක්ෂණ දැනුම නොමැතිවීම, තාක්ෂණ උපකරණ හිඟය, අමු ද්‍රව්‍යවලට ඇති බදු බර සහ නිෂ්පාදනවලට නිසි වෙළෙඳපොළක් නොමැතිවීම ගැටලු‍වක්
  • මොවුන්ගේ නිෂ්පාදන ලක්සැල ආයතනය මගින් අලෙවි කළත් අත්පිට මුදල්දී භාණ්ඩ ගන්නේ නෑ

කෑගල්ල විශේෂ - කපිල නන්ද ලාල්

රටට විශාල වශයෙන් ඩොලර් උපයා දිය හැකි දෙස් විදෙස් වෙළෙඳපොළවල ඉතා ඉහළ ඉල්ලු‍මක් ඇති උණ බට භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තය පිළිබඳව එතරම් අවධානයක් නැත. ගෘහස්ථ කර්මාන්තයක් වශයෙන් මෙම කර්මාන්තය දියුණුකකළ හැකිය. එවැනි උණ බට භාණ්ඩ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් පිළිබඳව කෑගල්ලෙන් අසන්නට ලැබුණි.

කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට පැලැල්ලේගම පවත්වාගෙන යන මෙම කර්මාන්ත ශාලාව හඳුන්වනු ලබන්නේ කැලණි කලා උණබට අත්කම් මධ්‍යස්ථානය ලෙසිනි. මෙම කම්හල පසුගිය 2018 වසරේ ආරම්භ කර ඇත්තේ රාජ්‍ය අනුග්‍රහය ඇතිවය. එසේ වුවද එතරම් ප්‍රසිද්ධියක් නොලැබ පවත්වාගෙන යනු ලබන්නේ එම උණ බට අත්කම් නිර්මාණ ශිල්පීන් දුෂ්කරතා රැසක් මධ්‍යයේ මෙම කර්මාන්තය ඉතා සෙමෙන් ඉදිරියට ඇදගෙන යන නිසාවෙන් විය යුතුය.

යටියන්තොට ප්‍රදේශයේ කැලණි ගඟ ආශ්‍රිතව ජීවත්වන හැත්තෑපස් දෙනෙක් පමණ මෙම උණ බට කලා කර්මාන්තයේ යෙදෙන අතර, ඔවුන් එකමුතුව කැලණි කලා හස්ථ කර්මාන්ත ශිල්පීන්ගේ සංවර්ධන සමිතිය නමින් ඒකරාශීව කර්මාන්තයද රැකගනිමින් ඔවුන්ගේ ආර්ථිකයද ගැටගසා ගන්නා පිරිසකි.

ජාතික ශිල්ප සභාව හා ජාතික මෝස්තර මධ්‍යස්ථානය යන ආයතනවල උපකාරයෙන් ආරම්භ කරනලද මෙම කම්හල පවත්වාගෙන යනු ලබන්නේ පැලැල්ලේගම ගමේ වසා දමා තිබූ කුඩා පාසැල් ගොඩනැගිල්ලක ඉතා අවම පහසුකම් යටතේය. ඒ කෑගල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වන සුජිත් සංජය පෙරේරා මහතා ලබාදුන් රාජ්‍ය මුල්‍ය ශක්තියකිනි.

පැලැල්ලේගම ප්‍රදේශයේ උණ බට කලා ශිල්පී පවුල් 75 ක් පමණ සිටින අතර, මෙම කම්හලේ සේවය කරනු ලබන්නේ 30 දෙනකු පමණ වන තරුණ පිරිසකි. ඔවුන් ප්‍රකාශකළ ගැටලු‍ රාශියකි. අමු ද්‍රව්‍ය හිඟකම, තාක්ෂණ දැනුම නොමැතිවීම, තාක්ෂණ උපකරණ හිඟය, අමු ද්‍රව්‍යවලට ඇති බදු බර, සහ තම නිෂ්පාදනවලට නිසි වෙළෙදපොළක් නොමැතිවීම ඒ අතර ප්‍රධානය. ඔවුන් පවසන්නේ එම දුෂ්කරතා මත ඔවුන්ගේ ඉලක්ක අසාර්ථකව ඇති බවයි.

මෙම ගැටලු‍ වලට විසඳුම් ලෙස උණ බට තම්බා වියළා ගැනීමට යාන්ත්‍රික ටැංකි ක්‍රමයක් සුදුසු බව කර්මාන්තයේ නිරතවන්නන්ගේ අදහසය. යටියන්තොට කලාපය වසරේ වැඩි කලක් වර්ෂාපතනය ලැබෙන ප්‍රදේශයක් නිසා දැනට කරගෙන යනු ලබන කුඩා බැරල් මගින් තම්බා වියළා ගැනීමේ ක්‍රමවේදය අසාර්ථක බවත් එම කලා ශිල්පීහු පවසති.

වර්තමානයේ රටපුරා ව්‍යාප්තව පවතින පරිසර විනාශයට හේතුවන ප්ලාස්ටික්වලට මෙම උණ බට භාණ්ඩ කදිම විසඳුමක් බව පෙන්වා දෙන මෙම ශිල්පීන් පවසන්නේ දිනපතා දිවයිනේ කරනු ලබන දැව සංහාරයද මෙමගින් නවතා ලීමට හැකිවන බවයි. උණ පැළයක් සිටුවා වසර 05 කින් පසු එය කපා දැව සඳහා යොදාගත හැකි අතර උණ බට ආශ්‍රිත නිෂ්පාදන රටේ බහුල කිරීමෙන් සමාජයෙන් ප්ලාස්ටික් හතුරා එලවා දැමියහැකි වගද ඔවුහු පවසති.

මේ අතර උණ බට දිවයිනේ සියලු‍ කලාපවල වැවෙන ශාකයක් බැවින් උණ බට හස්ථ කර්මාන්ත ශාලා ප්‍රදේශ රැසක ආරම්භ කිරීමෙන් රැකියා විරහිත කාන්තාවන්ටත් විදෙස්ගත වන ග්‍රාමීය කාන්තාවන්ටත් රැකියා අවස්ථාද මෙමගින් උදාවීම ආර්ථිකයට ශක්තියක් වනු ඇත.

මෙම කර්මාන්තය ඇසුරින් එම ශිල්පීන් රාජ්‍ය බලධාරීන් වෙත ඉදිරිපත් කරන ලද ඉදිරි සැලසුම් කිහිපයක්ද වෙයි. එහි ප්‍රධාන වන්නේ පැලැල්ලේගම සංචාරක කලාපයක් බවට පත් කිරිමයි. ඒ යටියන්තොට හා ඊට ආසන්න කිතුල්ගල, බුලත්කොහුපිටිය ප්‍රදේශ ඒකාබද්ධව සබරගමුවේ සංචාරක පුරවරයක් මේ වන විටත් සැකසෙමින් පවතින නිසාවෙනි.

තවද උණ බට කර්මාන්ත ශාලාව පවත්වාගෙන යන පාසැල් භූමියට අයත් අත්හැර දමා තිබෙන පිට්ටනිය එහි පැමිණෙන සංචාරකයන් සඳහා විවෘත රංග භූමියක් කරන ලෙසත් එම ස්ථානයේ කැලණි ගඟේ ඇති පැරණි ගං තොටුපොළ යොදාගෙන කේබල් පාරුවක් දමා එහි එන යන සංචාරකයෙන්ගේ විනෝදාස්වාදය සඳහා කටයුතු සැලැස්වීම සුදුසු බවද මෙම ශිල්පීන් යෝජනා කර ඇත.

තවද මෙයට යාබදව උණ උද්‍යානයක් නිර්මාණය කිරීමත් මෙම සාධක ආශ්‍රයෙන් මෙම කළා නිර්මාණවලට ඉහළ වෙළෙදපොළක් නිර්මාණය වන බවත් එමගින් මෙම ශිල්පීන්ගේ ආර්ථිකය ශක්තිමත් වන බවත් මොවුහු පෙන්නා දෙති.

මේ වනවිට මෙම කර්මාන්ත ශාලාවේ කෙරෙන උණ බට නිෂ්පාදන අතර සෙල්ලම් බඩු, ගෘහාශ්‍රිත උපකරණ පාසැල් ළමයින්ට උපකරණ,තෑගි භාණ්ඩ ඇතුළු තවත් අංග රාශියකි. එහෙත් මෙම නිෂ්පාදනවලට සුදුසු වෙළෙඳපොළක් නොමැති කමින් මෙම ශිල්පීහු උදාසීන තත්වයකට පත්ව සිටිති. ඔවුන් ඉල්ලා සිටින්නේ රජය මැදිහත්ව ඒ සඳහා සුදුසු ක්‍රමවේදයක් සකස් කර දෙන ලෙසයි.

දැනට ඔවුන්ගේ නිෂ්පාදන ලක්සැල ආයතනය මගින් අලෙවි කළත් එම ආයතනය ශිල්පීන්ට අත්පිට මුදල්දී එම භාණ්ඩ ලබා නොගන්නා බවත් ඒවා අලෙවියෙන් පසු මුදල් ගෙවීමේ ක්‍රමයට ගැනීමෙන් එදිනෙදා ආර්ථිකය ගෙනයන මෙම පිරිස මහත් අසරණ තත්වයට පත්ව සිටිති.

මෙම ශිල්පීන්ගේ වැදගත් යෝජනාවක් ලෙස රජයට කියා සිටින්නේ මෙම වටිනා කලා ශිල්පය වෘත්තීය පුහුණු පාඨමාලාවක් ලෙසින් හෝ පාසැල් විෂය මාලාවකට හෝ ඇතුළත්කර රටේ ඉදිරි තරුණ පරපුරට මෙය දායාද කිරීම මෙම කර්මාන්තයේ ඉදිරියට යහපත් වන බවයි. යටියන්තොට උණ බට කලා ශිල්පීන් ඉදිරිපත් කළ මෙම යෝජනා පිළිබදව මෙතෙක් අදාළ බලධාරීන් අවධානය යොමු නොකිරීම කණගාටුවට හේතුවකි. රජය ඒ සඳහා ඇල්මැරුණු ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේනම් පෞද්ගලික ආයෝජකයන් හෝ ඊට මැදිහත්වීමෙන් මෙම ශිල්පයේ ඉදිරි පැවැත්ම මෙන්ම එම ශිල්පීන්ගේ ආර්ථිකය ශක්තිමත් වීමකුත් රටට විනිමය ගලා ඒමකුත් සිදුවන බව උණ බට කලා ශිල්පීහු පෙන්වා දෙති.



අදහස් (0)

බලධාරී ඇස් නොගැටෙන උණ බට භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තය

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site