IMG-LOGO

2025 දෙසැම්බර් මස 01 වන සඳුදා


බදු ගෙවන්නන්ගේ ලැයිස්තුවට මේ වසරේ අලුතෙන් ලක්ෂ 2ක්

සමාගම් දහඅටදාහකුත් එකතුවෙලා
දේශීය ආදායම බදුවලින් වාර්තාවක් තියයි


දිනේෂ් සමරකෝන්


මේ වසරේ ලක්ෂ 2කට අධික නව බදු ගෙවන්නන් සංඛ්‍යාවක් ලියාපදිංචි කළ බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවී ප්‍රනාන්දු මහත්මිය පැවැසුවාය 
එමෙන්ම මේ වසර තුළ නව සමාගම් 18,000කට වැඩි ගණනක් බදු ගෙවීම සඳහා ලියාපදිංචි කිරීමට හැකි වූ බව ද කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පෙරේදා (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය සඳහන් කළාය.
මේ අතර, ඉතිහාසයේ ලබා ගත් වැඩිම ආදායම් ඉලක්කය පසුගිය සතියේ පසු කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට හැකි වූ බවත්, එය රුපියල් ට්‍රිලියන 2 ඉක්ම වූ බවත් ප්‍රනාන්දු මහත්මිය කීවාය
ඒ අනුව මේ වසරේ ගත වූ කාලය තුළ රුපියල් බිලියන 2080ක ආදායමක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ලබා ඇති බව ද ඇය පෙන්වා දුන්නාය.
මේ අතර එම මාධ්‍ය හමුවට එක්වූ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් නන්දන කුමාර මහතා සඳහන් කළේ මේ වසරේ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2195ක් බවත්, ඒ අනුව වසරේ ගත වූ කාලය තුළ එම ඉලක්කයෙන් සියයට 92ක ප්‍රමාණයකට ළඟා වීමට දෙපාර්තමේන්තුවට හැකි වී ඇති බවත්ය.
මේ වසර තුළ තනි පුද්ගල බදු ගෙවන්නන් සංඛ්‍යාව ලක්ෂ 12 සීමාව ඉක්මවා ඇති බවත්, එමෙන්ම බදු ගෙවන සමාගම් ප්‍රමාණය එක්ලක්ෂ දහඅට දහසක (118,000) ප්‍රමාණය ඉක්මවා ගොස් ඇති බවත් ඔහු පැවසීය.
එමෙන්ම වැට් බදු සඳහා ලියාපදිංචි වූ සංඛ්‍යාව තිස්දහස ඉක්මවා ගොස් ඇති බවත්, ඒ අනුව මේ වසර තුළ දී දෙපාර්තමේන්තුව බදු පදනම පුළුල් කර ගැනීමට සමත්ව තිබෙන බවත් කුමාර මහතා සඳහන් කළේය.
මේ අතර, 2024ට සාපේක්ෂව එකතු කළ අගය මත බද්ද (වැට්) සියයට 21කද, ආයතනික අදායම් බදු සියයට 14කද, සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද සියයට 19කද , උපයනවිට ගෙවීමේ බදු සහ තනි පුද්ගල ආදායම් බද්ද සියයට 9ක් ලෙස ද, රඳවා ගැනීමේ බද්ද සියයට 6කද වර්ධනයක් මේ වසර තුළදී පෙන්නුම් කරන බව ඔහු පැවැසීය.
අදායම් බදු වාර්තාව මෙම 30 වැනිදා ඉදිරිපත් කළ යුතු බවත්, එහිදී 2024-25 තක්සේරු වර්ෂයේ වාර්තාව ඉදිරිපත් කළ යුතු බවත් කොමසාරිස්වරයා සඳහන් කළේය.
ඒ අනුව ලක්ෂ 12ට වඩා වැඩි ආදායමක් තිබෙන පුද්ගලයන් තනි පුද්ගල ආදායම් බදු ලිපි ගොනුවක් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇත්නම් එම පුද්ගලයන් ආදායම් බදු වාර්තාව මෙම 30 වැනිදාට පෙර ඔන්ලයින් ක්‍රමයට දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව ද ඔහු අවධාරණය කළේය.
එහිදී තනි පුද්ගලයන් සඳහා සරල කරන ලද ආදායම් බදු වාර්තාවක් හඳුන්වාදී ඇති බවත්, එහිදී වැටුප්, පොලිය මත වාර්තාව දෙපාර්තමේන්තුව සකස් කර තිබෙන අතර, එම පුද්ගලයන් එම කරුණු තහවුරු කිරීම සිදු කළ යුතු බව ඔහු පැවැසීය.
මේ අතර, ඔන්ලයින් ක්‍රමයට ආදායම් වාර්තාව ඉදිරිපත් කළ නොහැකි පුද්ගලයන්ට දෙපාර්තමේන්තුවේ සෑම ප්‍රාදේශීය කාර්යාලයකම මේ සඳහා පහසුකම් සලසා තිබෙන බවත්, ඒ අනුව අදාළ තොරුතුරු රැගෙන එහි සිටින නිලධාරීන් හමුවී එම කටයුතු සිදු කර ගැනීමට හැකි බවද ඔහු සඳහන් කළේය.
ඊට අමතරව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොළඹ ප්‍රධාන කාර්යාලයේ බිම් මහලේ වෙනම ස්ථානයක් ඒ සඳහා ස්ථාපිත කර තිබෙන බවද නන්දන කුමාර මහතා වැඩිදුටත් පැවසීය. 



අදහස් (0)

බදු ගෙවන්නන්ගේ ලැයිස්තුවට මේ වසරේ අලුතෙන් ලක්ෂ 2ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site