IMG-LOGO

2025 ජුලි මස 16 වන බදාදා


පළමු මාස පහේ රජයේ බදු ආදායමේ සියයට 20 ක වර්ධනයක්

  • රජයේ සමස්ත බදු ආදයම රුපියල් බිලියන 1940 ක්

විමුක්ති එස්.රුද්‍රිගු

මෙම වසරේ පළමු මාස 5 තුළ රජයේ සමස්ත බදු ආදයම රුපියල් බිලියන 1940 ක් බවත් එය පසුගිය වසරේ පළමු මාස පහේ බදු ආදායමට සාපේක්ෂව සියයට 20 ක වර්ධනයක් බවත් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කපිල සේනානායක මහතා පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

2024 වසරේ පළමු මාස 5 තුළ රජයේ බදු ආදායම රුපියල් බිලියන 1617 ක් විය. මෙම වසරේ පළමු මාස 5 රජයේ බදු අදායම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 5.9 ක් බව නවතම දත්ත වාර්තා පෙන්වා දුන්නේය.

ඒ අනුව මෙම වසරේ පළමු මාස 5 තුළ ප්‍රදාන ඇතුළු රජයේ සමස්ත ආදායම රුපියල් බිලියන 1942 ක් වේ. එයද පසුගිය වසරේ පළමු මාස 5 ට සාපේක්ෂව සියයට 20 ක වර්ධනයකි.

සමස්ත හිඟය පසුගිය වසරට වඩා පහළ යනවිට ප්‍රාථමික අතිරික්තය ඉහළ ගොස් ඇති බව සේනානායක මහතා ප්‍රකාශ කළේය. පළමු මාස 5 තුළ රජයේ වියදම රුපියල් බිලියන 1024 වන අතර එය පසුගිය වසරේ පළමු මාස 5 සාපේක්ෂව සියයට 17 ක වර්ධනයකි. මෙම වසරේ පළමු මාස 5 තුළ ප්‍රාග්ධන වියදම් රුපියල් බිලියන 175 දක්වා පහළ ගොස් ඇති අතර එය පසුගිය වසරේ පළමු මාස 5 දී වාර්තා වූ රුපියල් බිලියන 193 ක ප්‍රාග්ධන වියදමට සාපේක්ෂව සුළු පහළ යාමකි.

එසේම පළමු මාස 5 තුළ අයවැය හිඟය රුපියල් බිලියන 237 දක්වා පහළ වැටී ඇති අතර එය පසුගිය වසරේ පළමු මාස 5 ට සාපේක්ෂව සියයට 35 ක පහළ යාමක් විය.

 



අදහස් (0)

පළමු මාස පහේ රජයේ බදු ආදායමේ සියයට 20 ක වර්ධනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site