IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


පළමු මාස නවයේ ඇඟලු‍ම් අපනයන ආදායම ඩොලර් බිලියන 3.8 ක්

පසුගිය වසරේ පළමු මාස නවයට සාපේක්ෂව සියයට 6.83 ක වර්ධනයක්

අගෝස්තු මාසයට සාපේක්ෂව සැප්තැම්බර් මාසයේ ඇඟලු‍ම් අපනයන පහළ ගිහින්

යුරෝපා සංගමය සහ අනෙකුත් වෙළෙඳපොළවලට කරන ඇඟලු‍ම් අපනයනවල ශක්තිමත් වර්ධනයක්

ඇමෙරිකාවට කරන ඇඟලු‍ම් අපනයන සියයට 4.71 කින් සහ එක්සත් රාජධානියට කරන ඇඟලු‍ම් අපනයන සියයට 15.06 කින් පහළට

සැප්තැම්බර් මාසයේදී මෙරට ඇඟලු‍ම් අපනයන ආදායම ඩොලර් මිලියන 403.01 ක්


විමුක්ති එස් රුද්‍රිගු


මෙම වසරේ පළමු මාස නවය තුළ මෙරට ඇඟලු‍ම් අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 3.8 ක් බවත්, එය පසුගිය වසරේ පළමු මාස නවයට සාපේක්ෂව සියයට 6.83 ක වර්ධනයක් බවත් ඒකාබද්ධ ඇඟලු‍ම් සංගම් සංසදය ප්‍රකාශ කළේය. පසුගිය වසරේ පළමු මාස 9දී මෙරට ඇඟලු‍ම් අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5 ක් විය

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී ඇඟලු‍ම් අපනයන ඉහළ ගියත්, මෙම වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව සැප්තැම්බර් මාසයේ ඇඟලු‍ම් අපනයන පහළ ගොස් ඇති බව පෙන්වා දුන් ඒකාබද්ධ ඇඟලු‍ම් සංගම් සංසදය සෑම වසරකම සැප්තැම්බර් මාසයේදී ඇඟලු‍ම් අපනයනය පහළ යෑම සාමාන්‍ය කරුණක් බවද ප්‍රකාශ කළේය.

ඇමෙරිකාවට සහ එක්සත් රාජධානියට සිදුකරන ඇඟලු‍ම් අපනයනය පහළ ගියද, යුරෝපා සංගමය සහ අනෙකුත් වෙළෙඳපොළවල්වලට සිදුකරන ඇඟලු‍ම් අපනයන ශක්තිමත්ව වර්ධනය වීම හමුවේ මෙරට ඇඟලු‍ම් ක්ෂේත්‍රය මෙම වර්ධනය හිමිකරගෙන ඇතැයි ඒකාබද්ධ ඇඟලු‍ම් සංගම් සංසදය නිකුත් කළ දත්ත වාර්තා පෙන්වා දුන්නේය.

මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී මෙරට ඇඟලු‍ම් අපනයන ආදායම ඩොලර් මිලියන 403.01 ක් වී ඇති අතර එය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට 1.58 ක වර්ධනයක් වූවේය. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී මෙරට ඇඟලු‍ම් අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 396.73 ක් විය.

එහිදී ඇමෙරිකාවට කරන ඇඟලු‍ම් අපනයන සියයට 4.71 කින් සහ එක්සත් රාජධානියට සිදුකරන ඇඟලු‍ම් අපනයන සියයට 15.06 කින් පහළ ගොස් ඇතත් යුරෝපා සංගමයට සිදුකරන ඇඟලු‍ම් අපනයන සියයට 10.75 කින් සහ අනෙකුත් වෙළෙඳපොළවල්වලට කෙරෙන ඇඟලු‍ම් අපනයනයන සියයට 19.49 කින් වර්ධනය වී ඇතැයි ඒකාබද්ධ ඇඟලු‍ම් සංගම් සංසදයේ දත්ත වාර්තා පෙන්වා දුන්නේය.

පසුගිය සැප්තැම්බර් මාසයේදී වෙළෙඳපොළවල් මෙලෙස ඉහළ පහළ ගියත් සමස්තයක් ලෙස පළමු මාස නවයේදී මෙරට ඇඟලු‍ම් අපනයනය ස්ථාවර මට්ටමක පැවැතී ඇත.
මෙම වසරේ පළමු මාස නවය තුළ ඇමෙරිකාවට සිදුකළ ඇඟලු‍ම් අපනයන සියයට 1.73 කින් වර්ධනය වෙමින් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.46 ක් දක්වා පැමිණ තිබේ. එක්සත් රාජධානිය හැර යුරෝපා සංගමයට සිදු කෙරෙන ඇඟලු‍ම් අපනයන සියයට 14.24 කින් වර්ධනය වෙමින් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.17 දක්වා වර්ධනය වී ඇති අතර එක්සත් රාජධානියට කළ ඇඟලු‍ම් අපනයන සියයට 2.31 කින් වර්ධනය වෙමින් ඇමෙරිකානු ඩොලර් මිලියන 533.73 කින් දක්වා පැමිණ ඇත.
එසේම අනෙකුත් වෙළෙඳපොළවල් වෙත සිදු කෙරෙන ඇඟලු‍ම් අපනයන මෙම වසරේ පළමු මාස නවයේදී සියයට 10.45 කින් වර්ධනය වී ඇති අතර ලැබූ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 630.29 කි.
සමහර සාම්ප්‍රදායික වෙළෙඳපොළවලින් ඉල්ලු‍ම උච්චාවචනය වෙමින් පවතින නමුත්, මෙරට අපනයනකරුවන් කාර්යක්ෂමතාව, නවෝත්පාදනය සහ වෙළෙඳපොළ විවිධාංගීකරණයෙන් කැපී පෙනෙන අනුවර්තනයක් පෙන්නුම් කරන බව ඒකාබද්ධ ඇඟලු‍ම් සංගම් සංසදය පැවැසුවේය. ගෝලීය අභියෝග මධ්‍යයේ වුවද, ශ්‍රී ලංකාවේ ඇඟලු‍ම් අංශයේ ශක්තිය සහ තරගකාරිත්වය මෙම ධනාත්මක වර්ධනයෙන් පෙන්නුම් කරන බවද එම සංසදය ප්‍රකාශ කළේය.



අදහස් (0)

පළමු මාස නවයේ ඇඟලු‍ම් අපනයන ආදායම ඩොලර් බිලියන 3.8 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site