IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පළමු මාස එකොළහේ අයවැය හිඟය සියයට 73.3 කින් පහළ ගිහින්

පළමු මාස එකොළහේ අයවැය හිඟය රුපියල් බිලියන 325.6 ක්
පසුගිය වසරේ පළමු මාස 11 අවසානයේදී අයවැය හිඟය රුපියල් බිලියන 1,217.3 ක්
අයවැය හිඟය විශාල වශයෙන් පහළ යාමට ප්‍රදාන ඇතුළුව රජයේ සමස්ත ආදායම කැපී පෙනෙන අයුරින් වර්ධනය වීම හේතුවක්
පළමු මාස 11දී ප්‍රදාන ඇතුළුව රජයේ සමස්ත ආදයම රුපියල් බිලියන 4,961.8 ක්
ආදායම් බදු සියයට 13.2 කින් වර්ධනය වෙමින් රුපියල් බිලියන 1,096.9 සීමාවට පැමිණිලා
රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 5,287.4 දක්වා ඉහළ ගිහින්
සමස්ත පොලී ගෙවීම් සියයට 5.7 කින් රුපියල් බිලියන 2,267 දක්වා වර්ධනය වෙලා
ප්‍රාථමික අතිරික්තය රුපියල් බිලියන 927.8 ක්

විමුක්ති එස් රුද්‍රිගු

මෙම වසරේ නොවැම්බර් මාසය අවසන් වනවිට මෙරට අයවැය හිඟය රුපියල් බිලියන 325.6 ක් ලෙස සටහන් වී ඇති බවත් එය පසුගිය වසරේ පළමු මාස 11 ට සාපේක්ෂව සියයට 73.3 ක ප්‍රතිශතයකින් අයවැය හිඟය සැලකිය යුතු පහළ යාමක් බවත් මුදල් අමාත්‍යාංශය පසුගියදා නිකුත් කළ නවතම වාර්තාව දැක්වේ.
පසුගිය වසරේ පළමු මාස 11 අවසානයේදී මෙරට අයවැය හිඟය රුපියල් බිලියන 1,217.3 ක්වූ බවත් මෙම වසරේදී අයවැය හිඟය මෙලෙස විශාල වශයෙන් පහළ යාමට ප්‍රදාන ඇතුළුව රජයේ සමස්ත ආදායම කැපී පෙනෙන අයුරින් වර්ධනය වීම හේතුවක් වී තිබෙන බවත් එම වාර්තාවේ සඳහන් වේ.
මෙම වසරේ පළමු මාස 11දී ප්‍රදාන ඇතුළුව රජයේ ආදයම රුපියල් බිලියන 4,961.8 ක් ලෙස සටහන් වන බවත් එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 35.4 ක වර්ධනයක් බවත් මුදල් අමාත්‍යාංශය නිකුත් කළ එම වාර්තාවේ දැක්වේ. පසුගිය වසරේ පළමු මාස 11 දී ප්‍රදාන ඇතුළුව රජයේ සමස්ත ආදායම රුපියල් බිලියන 3,664.6 ක් ලෙස සටහන් විය.
රජයේ ආදායම මෙම වසරේ පළමු මාස 11දී රුපියල් බිලියන 4,945.8 දක්වා සියයට 35.5 කින් වර්ධනය වී ඇති අතර පසුගිය වසරේ පළමු මාස 11 දී රජයේ ආදායම රුපියල් බිලියන 3,650.9 ක් විය. එහිදී ආදායම් බදු සියයට 13.2 කින් වර්ධනය වෙමින් රුපියල් බිලියන 1,096.9 සීමාවට පැමිණ ඇති අතර එකතු කළ අගය මත බද්ද සියයට 34.5 කින් වර්ධනය වෙමින් රුපියල් බිලියන 1,579 සීමාවට පැමිණ ඇත.
මෙම වසරේ පළමු මාස 11 දී රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 5,287.4 දක්වා ඉහළ ගොස් ඇති අතර එය පසුගිය වසරේ පළමු මාස 11 ට සාපේක්ෂව සියයට 8.3 ක වර්ධනයක් විය. පසුගිය වසරේ පළමු මාස 11 දී රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 4,881.9 ක් ලෙස සටහන් වූවේය.
එහිදී පැවත එන වියදම රුපියල් බිලියන 4,641.7 දක්වා සියයට 8.6 කින් වර්ධනය වී ඇති අතර ප්‍රාග්ධන සහ ශුද්ධ ණය දීම රුපියල් බිලියන 645.6 දක්වා සියයට 6.6 කින් වර්ධනය වී ඇත. සමස්ත පොලී ගෙවීම් සියයට 5.7 කින් රුපියල් බිලියන 2,267 දක්වා වර්ධනය වී ඇති අතර පසුගිය වසරේ පළමු මාස 11 දී මෙරට සමස්ත පොලී ගෙවීම් රුපියල් බිලියන 2,145.1 ක් ලෙස සටහන් විය.
රජය මෙම වසරේදී රුපියල් බිලියන 4,990 ක සමස්ත අදායමක් ඉපැයීමට ඉලක්ක කර ඇති අතර පළමු මාස 11 දී ඉන් රුපියල් බිලියන 4,962 ක් ඉපැයීමට රජයට හැකියාව ලැබී ඇත. මෙම වසරේදී රුපියල් බිලියන 4,590 ක බදු ආදායමක් ඉපැයීමට රජය ඉලක්ක කර තිබූ අතර එම ඉලක්කය ඉක්මවමින් පළමු මාස 11දී රුපියල් බිලියන 4,612 ක බදු ආදායමක් උපයා ගැනීමට රජයට හැකියාව ලැබී තිබේ.
පසුගිය වසරේ පළමු මාස 11දී රජයට උපයා ගැනීමට හැකියාව ලැබී තිබුණේ රුපියල් බිලියන 3,371 ක බදු ආදායමකි. ඒ අනුව මෙම වසරේ පළමු මාස 11 දී රජයේ බදු ආදායම සියයට 36.8 කින් වර්ධනය වී ඇත.
එසේම මෙම වසරේ පළමු මාස 11දී ප්‍රාථමික අතිරික්තය රුපියල් බිලියන 1,941.8 දක්වා වර්ධනය වී ඇති අතර පසුගිය වසරේ පළමු මාස 11දී මෙරට ප්‍රාථමික අතිරික්තය රුපියල් බිලියන 927.8 ක් ලෙස සටහන් විය.



අදහස් (0)

පළමු මාස එකොළහේ අයවැය හිඟය සියයට 73.3 කින් පහළ ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site