IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


පෝෂ්‍යදායිව තුන්වේල කෑමට හැකි ආර්ථිකයක්

සාරා කන්දෙගොඩ


වසර 2026 සඳහා අය වැය යෝජනා ප්‍රකාශයට පත්කර තිබේ. රටක අය වැය ඉලක්කම් පමණක් නොවේ. රටක් ගොඩනගන දර්ශනයකි. ප්‍රතිපත්ති මාලාවකි. ජාතික ජනබලවේගය ආණ්ඩුව බලයට පත් කිරීම තුළ මෙරට ආර්ථිකයේ තිබුණ කර්කෂ ස්වභාවය ජනතාව බරපතළ ලෙස ප්‍රතික්ෂේප කරන ලද බව අමතක කළ යුතු නැත. සිස්ටම් වෙනස්කර අලුත් යුගයක් සඳහා බලාපොරොත්තු තැබීය. පසුගිය වසරේ අය වැය සමග ආණ්ඩුව ගමන් කරන දිසාව ඉඟිකරන ලද අතර ලබන වසර සඳහා යෝජිත සාධක සලකා බලන පසු ධනවාදී රාමුව වෙත තවත් ප්‍රවේශ වන බවක් සනිටුහන් වේ.
ආහාරවේල් තුනක් සම්පාදනය කරගත නොහැකි මිනිසුන්ට පෝෂ්‍යදායී ආහාර වේල් ලබාගැනීමට හැකි ආර්ථිකයක් නිර්මාණය කිරීම ආණ්ඩුවේ අභිමතය වී ඇති අතර සෑම දරුවකුටම හොඳ අධ්‍යාපනයක් ලබන පරිසරයක්, සෑම පවුලකටම නිවෙසක්, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් හා ධනය, බලය, හෝ සමාජ තරාතිරම නොසලකා ක්‍රියාකළ හැකි යුගයක් නිර්මාණය කරන බව ද දක්වයි. ඉතිහාසය පුරා ආණ්ඩු ජනතාවට පටි තදකරගැනීමට හා දේශපාලනඥයන්ගේ පටි ලිහිල් කිරීමට පැවැරුණ නමුත් එය පුරවැසියන්ගේ අයිතිවාසිකම් සපුරාලන සැලැස්මක් සඳහා මූල්‍ය ප්‍රතිපාදන සම්පාදනය කරන සහ හෙට දවස ගැන සම්මුතියක් බව අය වැය ඉදිරිපත් කරමින් ජනාධිපති හා මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.


 2026 අය වැය විශේෂිත වන  පසුබිම ගැන 
ඉතිහාසය අමතක කළ නොහැක. ශ්‍රී ලංකාව මූල්‍ය අර්බුදයකට මුහුණ පෑවේය. එහි සුන් බුන් මතින් වත්මන් ආණ්ඩුව බලයට පත් වී තිබේ. දෙස් විදෙස් ණය ගෙවාගත නොහැකි ආර්ථිකය ජාත්‍යන්තර ප්‍රජාව හා අන්තර් ජාතික සංවිධානවල මැදිහත්වීමෙන් පසු ස්ථාවරයක් කරා පැමිණ ඇත. ස්ථාවරය යනු ගමනක කෙළවර නොවේ. අලුත් වටයකින් ගමන ආරම්භ කිරීමකි. පසුගිය අවාසි මැඩ ගෙන ඒවායේ අත්දැකීම් උපයෝගීකරගෙන නැගී සිටීමකි. නිදහස ලබාගත් කාලයේ සිට ශ්‍රී ලංකාව අත්හදාබැලීම්වලට ලක් වී ඇත. නිදහස ලබන ශ්‍රී ලංකාව හොඳ ආර්ථික තත්වයක සිටියේය. මහජනතාව සාමාන්‍ය සතුටු ජීවිත ගත කළහ. සංවර්ධනය සඳහා පැමිණි ගමන විශේෂිතය. සෑම ක්ෂේත්‍රයක්ම එසැවී තිබේ. අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහන, බලශක්ති, කර්මාන්ත වැනි ක්ෂේත්‍ර එයට සාක්ෂියකි. මෙම ප්‍රසාරණය තුළ මහජන අවශ්‍යතා ඉහළ ගිය අතර එම අංශ කළමනාකරණයට අපොහොසත්වීම ගැටලුවක් වූ බව සඳහන් කළ යුතුවේ.
වෙළෙඳපොළ පුළුල් කළ යුතුව තිබුණ අතර නිෂ්පාදනය වැඩි කළ යුතු විය. නිෂ්පාදනයේ කොටසක් අපනයනය මගින් රටට අවශ්‍ය දේ ගෙන්වාගැනීමට ධනය උත්පාදනය සඳහා විය යුතුව තිබුණි. එහෙත් මෙම අංශ සමතුලිත වූයේ නැත. ශ්‍රී ලංකාව නිතර අභ්‍යන්තර ගැටලුවලට මුහුණ පෑවේය. උතුරේ සහ දකුණේ සන්නද්ධ ගැටුම් ඒ අතර ප්‍රධානය. දෙමළ ගැටුම් මරාගෙන මැරෙන දරුණු ත්‍රස්තවාදයක් දක්වා වර්ධනය වූ අතර දශක තුනක් මෙම සිද්ධිවලට වැය වී තිබේ. සුනාමි ව්‍යසනය, කොවිඞ් වසංගත තත්වය මගින් ඇති කරන ලද ආර්ථික හානිය ඉතා දරුණුය. ඉලක්ක ගතකරන වැඩසටහන්වලට මතු කරන බාධා අවසානයේ දී ආර්ථිකය බෙලහීන කරන ලදී.
විවෘත ආර්ථිකය ගැන ද සඳහන් කිරීම අවශ්‍යය. 1978 වසරට පසු පැවැති ආණ්ඩු ආර්ථිකයෙහි ලිබරල් පැතිගැන අවධානයක් දක්වනලද නමුත් විවෘත ආර්ථිකයේ අවස්ථා සඳහා නිර්භීත පියවර ගත්තේ නැත. ව්‍යවසාය රජයේ පාලනය යටතේ තබාගැනීමත් ඒවා තරගකාරීව මෙහෙයවීමට පියවර නොගැනීමත් තුළ ආර්ථිකයේ සැලකිය යුතු කොටසක් එනම් විශේෂඥ වාර්තා දක්වන පරිදි යුද්ධ මගින් කරන ලද හානි හා සමාන කොටසක් රටට අවාසි සේ කැඳවා තිබේ. 


 රාජ්‍ය වාණිජ ව්‍යාපාර  පාලන පනතක් 
පනත් වලින් රටක් ගොඩනැගිය හැකි නම් ශ්‍රී ලංකාව තවදුරටත් මැදි පහල ආදායම් මටට්මේ පවතින්නේ නැත. රටට අවශ්‍ය අණ පනත්, නීති ආයතන වුවමනා තරම් තිබේ. ඒවා වලින් ආශ්චර්යය බිහිවෙන්නේ නැත. ස්වාධීන කොමිසම් පිහිටුවන ලද නමුත් ඒවායේ වාසියක් මහජනතාවට නැත. පළාත් සභා ඇතිකර බලය විමධ්‍යගත කරන හා සංවර්ධනය වේගවත් කරන පියවර යෝජනාකරන ලද නමුත් ඡන්ද නැත. පළාත් සභා ක්‍රමය ද අක්‍රීයය. තොරතුරු දැන ගැනීමේ අයිතිය සම්බන්ධ පණත් තිබේ. තොරතුරු දන්නා සමාජයට අත්පත්වී තිබෙන ඉරණම සුළු සේ තැකිය නොහැකිය. දූෂණ වංචා වළක්වන පනත්, වත්කම් හෙළිකරන නීති රටට හඳුන්වා දී ඇත. මේවායෙන් සාධාරණ ක්‍රමවේද ඇතිකර තිබේ ද යන්න ප්‍රශ්නයකි. ආණ්ඩුව රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනතක් යෝජනා කරයි. තවත් ව්‍යුහාත්මක වැස්මක් වශයෙන් පවතිනු ඇත.
2025 අය වැය මගින් රුපියල් බිලියන විස්සක ණය ගෙවා සැහැල්ලුවක් ඇතිකරන ලද ශ්‍රීලංකන් ගුවන් සේවයේ පාඩුව ජුනි දක්වා මාස තුනක් තුළ රුපියල් බිලියන 10.7 ක් බව දැක්වේ. තෙල් සංස්ථාවේ ලාබය සියයට 17.9 කින් පළමු මාස හය තුළ පහත වැටී ඇත. 2024 වසරේ හොඳ ආදායම් වාර්තා තිබුණ ව්‍යවසායයකි. විදුලිය බල මණ්ඩලයේ අලාබය රුපියල් බිලියන 13 කි. රාජ්‍ය ආයතනවල විදයම අඩුකරන හා කාර්යක්ෂම කරන ප්‍රතිපත්ති හෝ දූෂණ හා වංචා තුරන් කර පාලනයක අවසානයේ ඇති කරන ලද ස්වභාවය පැහැදිලිය.
ආණ්ඩුවලට ව්‍යාපාර කළනොහැකි බව පසුගිය දශක තුන හතර තුළ ඔප්පු කර තිබේ. එවැනි පසුබිමක් තුළ අලුත් පනත්වලින් කළ හැකි යමක් නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තද ප්‍රතිසංස්කරණ සඳහා බලකරයි. ආණ්ඩුව ද එය පිළිගෙන තිබේ. එසේ තිබිය දී නැවතත් පැලැස්තරවලින් පලක් නැත. වී, අල, ලූනු වෙළෙඳාම, ඛනිජ තෙල්, විදුලිය හෝ වෙනත් ආනයන වෙළෙඳපොළ හැසිරවීම වෙනුවට ආයෝජන කැඳවන නවතම මාර්ග සිතියමක් රටට ප්‍රයෝජනවත් වේ.
විදුලිය බල මණ්ඩලය ජුනි මාසයෙන් අවසන් වූ කාර්තුව තුළ රුපියල් මිලියන 5.31ක ලාබයක් උපයා ගෙන තිබේ. කෙසේවෙතත් පසුගිය වසරේ සමාන කාලසීමාව තුළ උපයන ලද ලාබයට වඩා රුපියල් බිලියන 34 ක අඩුවීමක් පෙන්නුම් කරයි. මෙම වසරේ මුල් මාස හය තුළ විදුලිය බල මණ්ඩලයේ සම්පූර්ණ අලාබය රුපියල් බිලියන 13.1 ක් වන අතර 2026 වසරේ පළමු විදුලිය ගාස්තු සංශෝධනය සඳහා මෙම දත්ත පදනමක් සකස් කර ඇති බව දැක්වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව මිල සූත්‍රයකට අනුව විදුලිය ගාස්තු පවත්වා ගෙන යා යුතුව ඇත. ජල විදුලිය උත්පාදනය අඩු වී ඇති අතර ගල් අඟුරු හා දැවිතෙල් විදුලිය නිෂ්පාදනය වැඩි වී තිබේ. මෙරට විදුලිය නිෂ්පාදනයෙන් සියයට 53.5 ක් දක්වා පුනර්ජනනීය විදුලිය උත්පාදන අනුපාතිකය පහත වැටී ඇත. සවස 5.00 සිට රාත්‍රී 10.30 දක්වා කාලය තුළ වැඩිම විදුලිය භාවිතාවක් රට තුළ සිදුවන බව මණ්ඩලයේ වාර්තා අනාවරණය කරයි.


 සියයට හතක ඉක්මන්  වර්ධන ඉලක්කයක් 
ඉතාම ඉක්මනින් සියයට හතක ආර්ථික වර්ධනයක් අය වැය මගින් යෝජනා කරයි. ශ්‍රී ලංකාවේ ජනගහන පිරමීඩය අනුව ශ්‍රම බළකාය සීමා වෙමින් තිබේ. 2040 වන විට අවශ්‍ය සංවර්ධන වේගය ලබාගත නොහැකි වුවහොත් ශ්‍රී ලංකාවට පහළ මැදි ආදායම් රටක තත්වයෙන් ගැලවීමක් නැත. වැඩ කළ හැකි ශ්‍රමය පහත වැටේ. යැපෙන සමාජය වැඩිවේ. ජපානය, ඕස්ට්‍රේලියාව හෝ ඇෙමරිකාව හා සමානව පිටරටවල දක්ෂ ශ්‍රමය රටට ලබාගැනීම කළ නොහැක. එම රටවල් ආර්ථික වේගය අඩුවන අතර ශ්‍රම බළකාය හිඟ වන පසු තෝරාගත් අංශ සඳහා ආගමන නීති වෙනස් කරයි. නිදහසේ ශ්‍රමය ලබාගනී. ශ්‍රී ලංකාවේ ශ්‍රමය හිඟ අතර හොඳම මානව සම්පත රට හැර යමින් සිටී. එවැනි පසුබිමක සියයට හතක වර්ධනයක් සඳහා කතා කිරීම පමණක් ප්‍රමාණවත් නැත.
ලබන වසරේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට 3.5 ක වර්ධනයක් විය හැකි බව ලෝක බැංකුවේ පුරෝකථනය වී තිබේ. එය ගෙවීයන අවුරුද්දේ වර්ධනයට වඩා තියුණු පසුබෑමකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කරන පරිදි එම වර්ධන අනුපාතිකය සියයට 3.1 කි. ඉදිරිපත් කරන ලද අය වැය පසුගිය කාලයේ උච්ඡාවචන සලකා වේගවත් වර්ධනයක් සඳහා පදනමක් විය හැකි බව රජය අපේක්ෂා කරන නමුත් ප්‍රායෝගික විය යුතුව ඇති බව පැහැදිලිය. ලබාගෙන ඇති ආර්ථික ස්ථාවරත්වය ඉදිරියට ගෙන යන අතර වර්ධනයක් උදෙසා වේගවත් ප්‍රතිසංස්කරණ මාලාවක් අවශ්‍ය කෙරේ. ආයෝජන කැඳවන අතර විනිමය හා කම්කරු නීති ලිහිල් කිරීම එහි දී අවශ්‍ය සාධකයකි. සම්ප්‍රදායික නීති සංශෝධනය කළ යුතු බව ප්‍රදානකක ආයතන පෙන්වා දී තිබේ. 2026 අය වැය යෝජනා තුළ දැක්වෙන පසුබිම අනුව යහපාලනය, දූෂණ තුරන් කිරීම වැනි කරුණු පමණක් ආයෝජන හිතකර තත්ව නොවේ.
රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයෝජන ප්‍රතිශත වැඩි කළ යුතුවේ. එම වැඩිකිරීම සඳහා ධනය අවශ්‍යය. ආණ්ඩුවේ ආයෝජන දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට පහ ඉක්මවන්නේ නැත. නිසි ආර්ථික අවස්ථා සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට දෙකක ප්‍රතිශතයක් තරම් සෘජු විදේශ ආයෝජන අවශ්‍ය කෙරේ. එය ලබාගන්නේ කෙසේද? වරාය සංවර්ධනය, ගුවන් තොටුපොළ දියුණු කිරීම, සුළං බලාගාර ඇති කිරීම, ඛනිජ තෙල් කර්මාන්තයේ ආයෝජන සඳහා දැනට අනුගමනය කර ඇති ක්‍රමවේද රටට වාසියක් අත්පත් කර දී නැත. ඉදිරි කාලයේ දී ප්‍රතිපත්ති වෙනස්කම් ඇතිකරන ජවය ආණ්ඩුව සතුව තිබේ ද යන්න ප්‍රශ්න කළ යුතුය. 


 සුපුරුදු පරිදි  බදු අය කරන සැලසුම් 
2026 වසරේ දී රජය රුපියල් බිලියන 5,305ක් ඉලක්ක කර තිබේ. රුපියල් බිලියන 4,850 ක් බදු ආදායම වේ. දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15.4 ක පමණ ප්‍රතිශතයකි. 2022 වසරේ දී මෙම ප්‍රතිශතය සියයට 7 ක මට්ටමේ තිබුණි. වසර හතරක් තුළ මෙම බදු ආදායම ගෙවීම සඳහා ජනතාව පොහොසත් වී තිබේ ද යන්න ආණ්ඩුව තමන්ගෙන් ප්‍රශ්න කළ යුතුය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කරන සැලැස්මට බලකරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැවැන්ත බදු අනුපාත පනවන අතර ආණ්ඩුව කිසිම වගවිභාගයකින් තොරව ඒවා පිළිගනිමින් සිටී. සියයට 3.1 ක වර්ධනයක් 2026 වසරේ පුරෝකථනය කරන අතර බදු ගෙවීමට තරම් ජනතාවට පහසුවක් තිබේ ද යන්න විමසා බැලිය යුතුවේ.
බදු සංශෝධනය කරන ආණ්ඩුව ඒවා ගෙවන්නේ මහජනතාව බව මතක තබාගත යුතුවේ. මෙතෙක් වැට් බද්දෙන් නිදහස් කර තිබුණ රු. මිලියන හැටක් දක්වා පිරිවැටුම සහිත රාමුව රුපියල් මිලියන 36 ක් දක්වා අඩුකර ඇත. වැට් නොගෙවන ව්‍යාපාරවල නිෂ්පාදන මහජනතාවට අඩු මිලට නොලැබෙන බව මුදල් අමාත්‍යංශයේ තර්කයක් වී තිබේ. වැට් ගෙවීම අවසාන පාරිභෝගිකයා බැවින් මෙහි තර්කය ගැළපෙන්නේ නැත. අනෙක් අතට වැඩ කරන ජනතාව පුද්ගල ආදායම් බදු සහනයක් අපේක්ෂාවෙන් සිටියේය. රට දුෂ්කර අවස්ථාවේ දී වැඩිපුර පුද්ගල බදු ගෙවන ලද නමුත් ආදායම තර වූ පසු එහි වාසියෙන් කොටසක් සෘජු බදු ගෙවන පිරිසට සැපැයීම යුතුකමකි. එහෙත් තවත් වටයකින් තවදුරටත් උපයන ආදායම අය කරගැනීම සුදුසු ද යන්න නැවත සලකා බැලිය යුතුවේ. ටින් අංක ලබාගත් පිරිස වැඩි වී තිබේ. බදු අක්‍රමිකතා වළක්වාගෙන ඇත. එවැනි පසුබිමක දී කර්මාන්ත හා ව්‍යාපාර සුලබ කර පුද්ගල බදු අඩු කළ හැකිය.
මෙම බදුවලින් වැඩිම කොටස දුප්පත් ජනතාවට සහන සඳහාය. අස්වැසුම ලබාගැනීමට විශාල පිරිසක් සිටී. කාන්තා හා තරුණ පිරිසට ආධාර කරන වැඩසටහන් නැවතත් හඳුන්වා දී ඇත. අධ්‍යාපනය, සෞඛ්‍ය, හා නාගරික හා අර්ධ නාගරික කොටස් සංවර්ධනයට සැලකිය යුතු ආයෝජනයක් කර තිබේ. සෑම අමාත්‍යංශයක්ම වෙන්කර ඒවාට වෙන වෙනම සහන බෙදාදෙන බවක් දක්වයි. එම සහනවලින් පමණක් ආර්ථිකය ප්‍රසාරණය නොවන අතර අලුත් තීන්දු අවශ්‍ය කෙරේ. සෘජු බදු පවතින අතර වක්‍ර බදු තවදුරටත් පවත්වාගැනීම ද වරදකි. බදු ගෙවන ජනතාවටම ගොවියන් ආරක්ෂාකරගැනීම සඳහා බව හුවා දක්වමින් අල, ලූනු මිරිස් යනාදිය සඳහා තව තවත් බදු වැඩිකිරීම පැරණි ආකෘතියමය. එය පටි තද කරගැනීම බව නැවත පැහැදිලි කරගත යුතු බව දැක්විය යුතුය.


 රාජ්‍ය සේවය ගැන  නැවත හැරී බැලීමක් 
ඩිජිටල් ආර්ථිකයක් කරා ගමන ආණ්ඩුව නිවැරදිව තෝරාගෙන තිබේ. රජයේ ගෙවීම් ක්‍රමවේද හඳුන්වා දෙන අතර ආර්ථිකය ප්‍රසාරණය සඳහා ඩිජිටල්කරණය ප්‍රධාන ක්ෂේත්‍රයක් වශයෙන් හඳුනාගෙන තිබීම වැදගත්ය. ඩිජිටල් සමග ජනතාවට පහසුවක් පමණක් නොව රාජ්‍ය සේවයේ හැකිළීමක් ද අපේක්ෂා කෙරේ. අලුතින් හැත්තෑ පන් දහසක් බඳවා ගැනීමට යොජනා කර ඇත. පසුගිය කාලයේ දහ අට දහසකට ආසන්න පිරිසක් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව මෙම ඉලක්කම් හුවා දක්වයි. ඩිජිටල් සමග මානව අවශ්‍යතා සීමාවිය යුතු පසුබිමක බඳවාගැනීම අවම කළ හැකිය. රජයේ සේවයට ගැනීම වෙනුවට වෙනම නිදහසක් තුළ ව්‍යාපාර හා කර්මාන්තවලට ඉඩ දිය යුතුව තිබේ. මෙරට වාණිජ බැංකු මගින් ව්‍යවසායක අවස්ථා ඇති කරන නමුත් ඒවා පුළුල්ව විහිදෙන්නේ නැත. අලුත්ම පිරිස් එක තලයකට ඇතුළු කරගන්නා අතර දැනට ක්ෂේත්‍රයේ නිරත පිරිස් හඳුනාගෙන ඔවුන් ඉහළට එසැවිය හැකිය. රජයට බඳවා ගැනීම වෙනුවට එම ව්‍යවසායකයන් ඔස්සේ අලුත් රැකියා ජනනය කළ හැකිය. රටට ආයෝජන ගෙන්වන විට ඇතිවන අවස්ථා සමග මෙම ව්‍යවසායකයන් බිහිකරන රැකියා එකතු කළ පසු ඇති කරන සමාජය රට දියුණු කරන සැලැස්මෙහි එක කොටසක් විය හැකිය. 
රජයේ ආයතන සඳහා වාහන හා යන්ත්‍ර සූත්‍ර මිල දී ගැනේ. ආයතනවල ව්‍යවස්ථාපිත හිඟ මුදල් ගෙවීමට අය වැය මගින් මුදල් වෙන් කරයි. ජ්‍යෙෂ්ඨ පුරවැසි පොලිය පියැවේ. රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමේ දෙවැනි පියවර හා විශ්‍රාම වැටුප් විෂමතා නිවැරදි කරනු ඇත. රාජ්‍ය සේවකයන්ට සහන පොලිය යටතේ දේපල ණය ලබාගත හැකිවේ. උත්සව අත්තිකාරම්, ආපදා ණය පහසුකම ද රජයේ සේවකයන්ටය. එය සමාජ අවශ්‍යතාවක් නමුත් ආර්ථික ප්‍රබෝධයට දක්වන දායකත්වය අඩුය. ප්‍රබෝධය සඳහා වෙළෙඳපොළ පුළුල් කරන්නට සිදුවේ. මෙම ණය සමග ඇතිකරන මිල දී ගැනීමේ හැකියාව වැඩිවීම සමග ඇතිවන ප්‍රසාරණය තවත් බරපතළ විය හැකිය.
දුෂ්කර සේවා ගුරුවරුන්ට ගෙවීම්, අනාරක්ෂිත දුම්රිය ගේට්ටු දීමනා වැඩිකිරීම, තාවකාලික හා අනියම් පිරිස් ස්ථිර කිරීම, අඩු ආදායම් ලාභීන්ට නිවාස, ස්වාභාවික විපත්වලට පත් පිරිසට සහන වැනි අංශ පවා රජයේ ධනය වැය කරන නමුත් එම ධනය මහජනතාවගෙන් අය කරන බදු ආදායම නැවත බෙදාදීමක් බව පෙන්වා දිය හැකිය. මේවා නොකළ යුතු නැත. එහෙත් එම පැති සඳහා අලුත් ආදායම් සොයාගැනීමට ගැළපෙන ව්‍යාපාර පරිසරයක් සඳහා ආර්ථිකය ලිහිල් කළ යුතුවේ.


 මහජනතාව ඉදිරිපත් කළ  අදහස් 
අය වැය යෝජනා සකස් කරන අතරවාරයේ මහජනතාවගේ අදහස් ලබාගැනිණ. අපනයන අංශයෙහි නිරත පිරිස් සිය ගැටලු ඉදිරිපත් කළෝය. සෑම අංශයකම ප්‍රතිංසංවිධානයක් අවශ්‍යය. නවීන සමාජ ආර්ථික රාමුවකට ශ්‍රී ලංකාව මුහුණ දෙන බව පිළිගත යුතුය. ඇමරිකා එක්සත් ජනපදය පනවන ලද බදු අනුපාත මෙරට අපනයන අංශවලට සංකීර්ණතා මතු කර තිබේ. 
ඇතැම් සමාගම් විශේෂයෙන් ඇඟලුම් කර්මාන්තයේ නිතර අංශ සිය පැතිකඩ ඉදිරිපත් කරමින් සිටී. එසේ තිබිය දී ආනයනික රෙදි සඳහා සෙස් බද්දක් යොජනා කරයි. තේ, රබර් හා කෘෂි අපනයනයේ දී සෙස් බද්දක් අය කෙරේ. සංචාරක කර්මාන්තයෙන් ද එසේය. මෙම සෙස් ආදායම ක්ෂේත්‍රවල සංවර්ධනයට යෙදවිය යුතුය. 
ඌන උපයෝගීතා සහිත ගොඩනැගිලි ගැන අවධානය ඉතා වැදගත්ය. නවීන සමජයක් පවට පරිවර්තනයවීමේ දී සුරතල් සතුන් ඇතිකිරීම පමණක් නොව සතුන් මිය ගිය පසු ඇතිවන තත්ව නිරාකරණයට යෝජනා කර තිබීම යහපත්ය. කසළ කළමනාකරණය යන්න වෙනම ක්ෂේත්‍රයකි. මෙහි දී ප්‍රතිචක්‍රීකරණය, ප්‍රතිභාවිතය උනන්දු කළ යුතුවේ.
පළාත් පාලන ආයතනවලට කසළ එකතුකරන වාහන සැපැයීම වෙනුවට ගෘහ ඒකකවලටම සිය කසළ පොහොර වශයෙන් සකස් කරගත හැකි තාක්ෂණය නියාමන වශයෙන් බෙදාදීමට උත්සාහ කළේනම් සුදුසුය. නගර සංවර්ධනය, නගර සැලසුම් ඉතා හොඳ අදහස්වේ. නගර හරහා ගමන් කරන පසු පෞද්ගලික පාසල් පිහිටුවීම, කර්මාන්ත හා සේවා ස්ථාන යනාදිය ඉතා අවිධිමත් බව පෙනේ. පියවරෙන් පියවර සකස් කරගත යුතුය. අධික වාහන තදබදය හා මහජන මගී ප්‍රවාහන සේවා ගැන ද ප්‍රමාණවත් අවධානයක් ලබාගත යුතුව තිබුණි. කෙසේ වෙතත් මුලින් සඳහන් කරන ලද පරිදි අය වැය යනු දර්ශනයකි. එම දර්ශනය සඳහා සියලු දෙනාට සහභාගිවිය හැකි දොරටු තිබිය යුතුවේ. නවීන ආර්ථිකය තුළ රජය කුඩා වන අතර මහජනතාවට අවස්ථා ලැබේ. නියාමනය, පරිපානය හා කළමනාකරණය සඳහා අවකාශ ඇතිකරයි. ශ්‍රී ලංකාව එම මාවත තෝරාගත යුතුව ඇත. 
2026 අය වැය සමස්ත වශයෙන් උත්පාදනයක් ඇතිකරන ප්‍රවේශයක නැත. නිෂ්පාදනය සඳහා පුළුල් අවස්ථාවක් නොවන බව ද පෙනේ. ආයෝජන වෙනුවෙන් වෙනම පියවර ගැනීම අවශ්‍ය බව ඉතාම පැහැදිලිය. මහජනතාවගෙන් බදු අය කරගැනීම පමණක් ආර්ථිකය නොවේ. රජයේ ණය ගැනීමේ සීමා අඩු කිරීම වෙනුවට එම ණය එසේ තිබිය දී අලුත් පැතිවලට එනම් ආදායමක් උපයන අංශවලට ආයෝජනය සඳහා පියවර ගත්තේනම් වඩාත් සුදුසුය. කෙසේ නමුත් ඕනෑම ආණ්ඩුවකට අභියෝග ඇත. අභ්‍යන්තරය හඳුනාගෙන සිටින ප්‍රතිපත්ති සම්පාදකයන්ට අතට ලැබෙන ආදායම බෙදාදීම සඳහා කොපමණ සූක්ෂම විය යුතු ද යන්න දැනට වැටහී ඇති බව නොඅනුමානය.



අදහස් (0)

පෝෂ්‍යදායිව තුන්වේල කෑමට හැකි ආර්ථිකයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site