IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගම HNB Finance හි රු.මිලියන 293ක නිෂ්ඡන්ද කොටස් විකුණයි


භානුක අමරසිංහ


කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත HNB Finance PLC සමාගමේ නිෂ්ඡන්ද කොටස් 39,826,602ක් අලෙවි කරන්නට ප්‍රයිම් ලෑන්ඩ්ස් (පෞද්) සමාගම පියවර ගෙන තිබේ. මෙය HNB Finance PLC නිකුත් කර ඇති සමස්ත නිෂ්ඡන්ද කොටස් අතරින් සියයට 11.05ක ප්‍රතිශතයකි. මෙය HNB Finance PLC තුළ ප්‍රයිම් ලෑන්ඩ් (පෞද්) සමාගම සතු වූ සමස්ත නිෂ්ඡන්ද කොටස් ප්‍රමාණයද වෙයි. පසුගිය සැප්තැම්බර් 09 සහ 10 වැනිදා මෙම කොටස් අලෙවිය සිදු කර තිබේ. 

මෙහිදී නිෂ්ඡන්ද කොටස් 3,441,211 ක් රුපියල් 8ත් 9ත් අතර මුදලකටත්, තවත් නිෂ්ඡන්ද කොටස් 36,385,391ක් රුපියල් 6.50ත් 8.00ත් අතර මුදලකටත් අලෙවි කෙරී තිබේ. ඒ අනුව සිදු කර ඇති මෙම සමස්ත කොටස් අලෙවියේ වටිනාකම ආසන්න වශයෙන් රුපියල් මිලියන 293 ක් පමණ වෙයි.

HNB Finance PLC සමාගම අනාවරණය කරන ආකාරයට එහි ස්වාධීන නොවන විධායක නොවන අධ්‍යක්ෂවරුන් වන බ්‍රාහ්මණගේ ප්‍රේමලාල් සහ පතිරගේ අනුර විජේසිරි පෙරේරා යන මහත්වරුන් සහ එහි විධායක අධ්‍යක්ෂ (කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී) චමින්ද ප්‍රභාත් මහතාගේ බිරිඳ වන එච්.කේ.එස්.ආර්. පෙරේරා මහත්මිය සතුව තිබූ නිෂ්ඡන්ද කොටස් මෙලෙස අලෙවි කර තිබේ.HNB Finance PLC තුළ වැඩිම නිෂ්ඡන්ද කොටස් ප්‍රමාණය වන 281,783,333ක් එනම් සියයට 78.20ක් හිමිව ඇත්තේ සෙලාන් බැංකුව වෙතයි.



අදහස් (0)

ප්‍රයිම් ලෑන්ඩ්ස් සමාගම HNB Finance හි රු.මිලියන 293ක නිෂ්ඡන්ද කොටස් විකුණයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site