සාරා කන්දෙගොඩ
සංවර්ධන ඉලක්ක සඳහා දැවැන්ත අවකාශයක් රටට අවශ්‍යය. කර්මාන්ත හා ව්‍යාපාර පුළුල් විය යුතුව තිබේ. පෞද්ගලික ව්‍යවසායකත්වය මෙහි දී ඉතා වැදගත්ය. ව්‍යවසාය දියුණුවන අතර එයින් කරන නිෂ්පාදනය, ඇති කරන රැකී රක්ෂා සහ ගෙවන බදුවලින් සමාජයට ලැබෙන වාසි මෙහි දී සලකා බැලිය යුතුව තිබේ. ව්‍යවසායකත්වය සඳහා සැලකිය යුතු ධෛර්යයක් අවශ්‍ය කෙරේ. ස්වාධීන ගමනක් සඳහා තීරණ ගැනීම පහසු නැත. ව්‍යවසායකත්වය සඳහා අලුතින් ඇතුළුවන අයවලුන්ට ඉඩම, ගොඩනැගිලි, ප්‍රාග්ධනය, අමුද්‍රව්‍ය, මානව සම්පත හා විශේෂයෙන් අලෙවි ක්‍රම ගැන අදහසක් තිබිය යුතුය. දැනට කරගෙනයන සුළු හෝ මධ්‍ය පරිමාණ කර්මාන්ත, ව්‍යාපර යනාදිය පුළුල් වපරිසයක් දක්වා ප්‍රසාරණය කිරීමේ දී ද මෙකී අවශ්‍යතා ඇතුළු සැලකිය යුතු අංශ ගණනාවක් කෙරෙහි අවධානය යොමු කරන්නට සිදුවේ. ප්‍රාග්ධනය මෙහි විශේෂිත අංශයකි. ධනය රහිත පසුබිමක් යටතේ ව්‍යවසායකත්වය ගැන කල්පනා කළ නොහැක.
ව්‍යවසාය ආරම්භ කිරීම හෝ ඊළඟ අදියර සඳහා ගෙනයන පියවරකට ප්‍රාග්ධන පහසුකම් ලබාගත හැකි අවස්ථා තිබේ. ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු එයට ණය සපයනු ඇත. ඇතැම් අවස්ථාවල රජයේ මැදිහත්වීම අනුව සහන ක්‍රම නිර්මාණය කෙරේ. ශ්‍රී ලංකාවට සංවර්ධන බැංකු ක්‍රමවේද නැත. සංවර්ධන බැංකුවල දී අඩු පොලියකට වැඩි කාලයකට පසු ආපසු ගෙවන ක්‍රම තිබේ. වාණිජ බැංකුවලින් ණය ලබාගත් ව්‍යවසායක පිරිස් එම ණය ගෙවීමට අසමත්වීම ගැන කරුණු දක්වමින් සිටිති. ගෝලීය වසංගත තත්වය සමග මෙරට ලොක්ඩවුන් සිදු වූ අතර ශ්‍රී ලංකාව වසර දෙකක් සෘණ ආර්ථිකයක තිබුණි. මෙකී කාලය තුළ බිඳ වැටුණ ව්‍යවසාය සම්බන්ධයෙන් ණය ආපසු ගෙවීම පැහැර හැර ඇති ණයකරුවන් සඳහා පරාටේ නිතිය බලාත්මකවීම ගැන ආන්දෝලනයක් ඇත.
පරාටේ නීතියට අනූ ගණන්වල සිට යටත්
1990 වසරේ සිට ශ්‍රී ලංකාවේ සියලුම වාණිජ බැංකු පරාටේ නීතිය ක්‍රියාත්මක කරයි. 1939 දී පිහිටුවන ලද ලංකා බැංකුව 1961 වසරේ සිට එම අයිතිය අත්පත් කරගෙන සිටි බව ද සඳහන් කළ යුතුය. නිදහසට පසු වකවානුවේ දී එවකට පැවැති ක්‍රමවේද අනුව වාණිජ බැංකුවක් වශයෙන් ලංකා බැංකුව කටයුතු කළ බව විශ්වාස කළ හැක. වේගවත් ක්‍රියාමාර්ග මගින් ණය නිකුත් කිරීම හා ආපසු අය කරගැනීම සම්බන්ධයෙන් කටයුතු කර ඇත.
සංවර්ධන ක්‍රියාදාමයේ දී ව්‍යවසායකත්වය අවශ්‍ය හා සමානව එයට සැපයෙන පහසුකම් චක්‍රීයව ගමන් කළ යුතුවේ.’ ණයක් ලබාගෙන එය නොගෙවා සිටියහොත් නැවත ව්‍යවසායකයකු සඳහා මුදල් නිදහස් කිරීමට නොහැකිවේ. අනෙක් අතට වාණිජ බැංකු හසුරුවන ධනය මහජනතාවගේ ඉතිරි කිරීම්ය. අඩු පොලියකට තැන්පත් කරන ගනුදෙනුකරුවන්ගේ මුදල් පසුව සුරක්ෂිත තත්ව යටතේ ණය සඳහා නිකුත් කෙරේ. තැන්පත්කරුවන්ට පොලිය ගෙවිය යුතුය. මුදල් ආරක්ෂා කිරීමේ වගකීම ද වාණිජ බැංකුවලට පැවරේ. පරාටේ වැනි නීතිය මෙවැනි පසුබිමක දී ප්‍රායෝගික කාර්ය භාරයක් ඉටු කරනු ලබයි. ණයකරුවන් අධිකරණට පැමිණිලි කිරීමෙන් පසු විසඳුමක් සඳහා දීර්ඝ කාලයක් ගතවේ. මූලික නඩුවිභාගයට පසු තීන්දුව කෙරෙහි අතෘප්තිමත්වන පාර්ශවයට නැවත නැවතත් අභියාචනා කළ හැකිවේ. ව්‍යවසායකයකුට ණය නිකුත් කර ඉහළම අධිකරණයක් දක්වා කාලය වැය කළහොත් මුල්‍ය අංශය අධික පිරිවැයක් දක්වා පරිවර්තනය වන අතර අවසානයේ දී එය ආර්ථිකයට අවාසියකි. වන්දි ගෙවන්නේ මහජනතාව බව අවිවාදිතය.
බැංකුවක ණය ලබාගැනීමේ දී පුද්ගල හෝ දේපොල ඇප අවශ්‍ය කෙරේ. ණයකරුවා ගෙවන්නට අපොහොසත් වන අවස්ථාවක පුද්ගල ඇපකරුවන් එම ණය ආපසු ගෙවීමට බැඳී සිටින අතර පාරාටේ නීතිය අනුව ණය සඳහා තබා ඇති දේපොළ ඇප තක්සේරු කර ණය හා පොලිය අය කරගැනීමටත්, ණය අය කරගැනීමේ කටයුතු සඳහා වැයවන අතිරේක පිරිවැයක් ආවරණය කරගැනීමටත් නීතියෙන් ඉඩ ලැබේ.
කොවිඩ් වසංගතය පරාටේ තාවකාලිකව නවතයි
ව්‍යවසායක් අසාර්ථකවීම වේදනාත්මකය. කර්මාන්තය හෝ ව්‍යාපාරය සාර්ථක නමුත් නිසි විනයක් සහ මුල්‍ය කළමනාකාරීත්වයක් අවශ්‍යය. ආදායම හා වියදම කෙරෙහි පරීක්ෂාකාරී විය යුතුවේ. ණය ගැනීම හා ව්‍යාපෘති ආරම්භ කිරීම ගැන අතිශය උනන්දුවක් දක්වන මෙරට ප්‍රජාව මුල්‍යකරණය ගැන අඩු අවධානයක පසුවේ. නොදැනුවත්වම වියදම පාලනය කරගත නොහැකි වේ. අනවශ්‍ය වියදම් හා අකාර්යක්ෂමතාව හේතුකොටගෙන සැලකිය යුතු හානියක් සිදුවන බව ව්‍යවසායකයා නොදැන සිටීම ද බරපතළ තත්වයකි.
කොවිඩ් හේතු කොටගෙන ශ්‍රී ලංකාවේ සංචාරක අංශයේ විශාල බිඳවැටීමක් සිදුවිය. ප්‍රවාහනය ඇණ හිටියේය. ලක්ෂ ගණනක් ත්‍රීවිලර්, බස් රථ හා කුලී වාහන හිමියන් අසරණ කෙරිණ. ඇඟලුම් අපනයනය සීමා වූ අතර එයින් යැපෙන ලක්ෂ හයක පමණ පවුල් ප්‍රමාණයක් සහ ආශ්‍රිත රැකියා බරපතළ තත්වයට ගොදුරු වූ බව එක්සත් ජාතීන්ගේ වාර්තා දක්වයි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය හතළිස් සහසක් පමණ ආදායම හිඟ තැනට පත් වූ බව ද තවත් සමීක්ෂණ වාර්තාවක් හෙළි කළේය. කුලී හා බදු පදනමකින් පවත්වාගෙන ගිය ස්ථානවලින් ඉවත්වීමෙන් ඒවායේ ආදායම්වලින් ආරක්ෂා වූ දස දහස් ගණනක් ද හිරිහැරයකට පත්විය. මූලික වශයෙන් ආදායම බිඳ වැටුණ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් වාණිජ බැංකුවලින් ලබාගෙන තිබුණ ණය ආපසුගෙවීම කළ නොහැකි වී ඇත.
එවකට පැවැති රජය ශ්‍රී ලංකා මහ බැංකුව සමග සාකච්ඡා කර කොවිඩ් කාලවකවානුවේ ණය ආපසු ගෙවීමට පොලී රහිත සහන කාලයක් ප්‍රකාශයට පත් කළේය. පසුව 2024 වසරේ දී ණය ආපසු ගෙවන කාලසීමාව අනුව පොලිය කපාහැරීමේ නිවේදනයක් නිකුත් කරන ලදී. එහි දී උපරිම වශයෙන් මාස හයක් ඇතුළත ණය ගෙවන ණය හිමියන්ට සියයට හැකට පොලී සහනයක් ලැබුණි. 2025 මාර්තු 31 දක්වා ණය අය කරගැනීම සඳහා දේපොළ පවරා ගැනීමට අයිතිය ලැබෙන පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කරන තීරණයක් ද ප්‍රකාශයට පත් කළේය.
ආණ්ඩුවේ සහන ප්‍රමාණවත් නැත
කොවිඩ් ණය හා පුද්ගල සහන සඳහා එවකට පැවැති ආණ්ඩු නිකුත් කළ සහන ප්‍රමාණවත් නැති බව විවිධ ක්ෂේත්‍රවල මතය වී තිබේ. රුපියල් පන්දහසක් බැගින් අඩු ආදායම් ලාභීන්ට ගෙවන ලද ආණ්ඩුව එයට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට 0.5 ක් වය කරන ලද බව පර්‌යේෂකයෝ අනාවරණය කළහ. ජාත්‍යන්තර වාර්තා අනුව මහජනතාවට ගෙවන ලද සහනාධාර වෙනුවෙන් ආසියානු රටවල් අතරින් ඉන්දියාව සිට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 10 ක්, තායිලන්තය සියයට 9.6 ක් හා වියට්නාමය සියයට 3.5 ක් වශයෙන් වැය කර තිබුණි. ව්‍යවසායකත්ව ණය සඳහා සහන වෙනුවෙන් අඩුම තරමින් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2-3 අතර මුදලක් වෙන් කළ යුතුයැයි වාණිජ මණ්ඩලයේ අදහස විය. කෙසේ වෙතත් මෙම සහන වෙනුවෙන් රජය වැය කරන මුදල රුපියල් බිලියන විස්සකට සීමා කළේය. වත්මන් ආණ්ඩුව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ණයවලින් කොටසක් සඳහා පමණක් රුපියල් බිලියන 20 ක් 2025 අය වැය මගින් වෙන් කර තිබුණි. එවැනි ස්වභාවයක් තුළ රට පුරා කර්මාන්ත හා ව්‍යාපාර මුහුණ දුන් සංකීර්ණ තත්වය පුළුල්ව සලකා බැලිය යුතුවේ.
ණය ලබාගත් ව්‍යවසායක අංශ ඒවා සම්පූර්ණයෙන්ම කපා හරින තෙක් බලා සිටියේය. ගොවි ණය අහෝසිකරන ලද අවස්ථා කිහිපයක් ගැන ඉතිහාසයේ සටහන්ය. මෙරට ගොවියන් ණය ගෙවා ගත නොහැකිව අසරණ වූ පසු එම සිද්ධි දේශපාලන වේදිකාවේ මහත් උත්ප්‍රාසයට ලක් වීය. දේශපාලන හිතවත්කම් අනුව ණය ලබාගත් ඇතැම් පුද්ගලයන්ගේ ණය අහෝසිකරන ලද අවස්ථා ගැන ද මෑත කාලයේ දී විස්තර සඳහන් වී තිබේ. දේපොළ වැඩි තක්සේරු කර නිකුත් කරන ලද ණය සම්බන්ධයෙන් මතු වූ ගැටලුද පසෙක තැබිය නොහැකිය.
මෙම වාතාවරණය මතකයේ තිබුණ ව්‍යවසායකයෝ ණය ගෙවීම වුවමනාවෙන්ම ඇතැම්විට පැහැර හරින ලද බවට චෝදනා තිබේ. වත්කම් ඉවත් කරගැනීමෙන් පසු වෙනත් රැකියාවලට ඉවත් වූ අතර සමහර දෙනකු විදේශගත වූ අවස්ථා ගැන ද සඳහන්ය. අවසානයේ දී වාණිජ බැංකුවලට නිකුත් කරන ලද ණයවලින් සැලකිය යුතු කොටසක් තවමත් අයකරගත නොහැකි වශයෙන් පවතී.
පරාටේ අයකර ගැනීම ව්‍යවසායකයන්ගේ මැසිවිලි
පරාටේ සහන කාලය ඉකුත් මාර්තු 31 වැනිදා අවසන් වූ අතර එයට සමාන්තරව සිය දේපොළ පවරාගෙන ඒවා වෙන්දේසි කර ණය අයකරගැනීමට මෙරට වාණිජ බැංකු ක්‍රියාත්මකවෙමින් සිටින වග ණය පැහැර හරින ලද ව්‍යවසායකයෝ කියා සිටිති. පුවත් පත් සාකච්ඡා සහමාධ්‍ය නිවේදන නිකුත් කරන ණය අර්බුදයට පත් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවෝ තව දුරටත් සහන ඉල්ලා මහත් උත්සාහයකින් පසුවෙති. ආණ්ඩු ප්‍රකාශ කරන ලද සහන වාණිජ බැංකුවලින් ලබා නොදුන් බවට කරන චෝදනා ද මේ අතර තිබේ. අර්බුදයකට පසු නැවතත් පුරුදු ආර්ථිකයට ඇතුළුවීම සඳහා කාලයක් ගතවේ. 2022 හා 23 වසර දෙක තුළ සම්පූර්ණයෙන් සියයට දහයක සෘණ අගයක් කරා ආර්ථිකය ගමන් කළේය. ව්‍යාපාර හා කර්මාන්තවලට මෙම පසුබෑම තියුණු ආකාරයකට බලපාන ලද බව නිසැකය. රජයේ ප්‍රතිසංස්කරණ හා සමානව සියලු ව්‍යවසාය ප්‍රතිසංස්කරණයකට පත් විය යුතුය. රජයේ ප්‍රතිසංස්කරණ අනුව 2024 වසරේ පවා සියයට පහක පමණ එනම් කඩාවැටීමෙන් හරි අඩක් පමණක් ආවරණය කරගෙන ඇති පසුබිමක ණය ලබාගත් කර්මාන්ත හා ව්‍යාපාරවල බිඳ වැටීම් සියයට සියයකින් පුරුදු මගට අවතීර්ණ කරගන්නේ කෙසේ ද යන්න පැහැදිලි නැත. එම අවතීර්ණ වන අතරවාරයේ හිඟ ණය හා පොලිය ගෙවීම ද පහසු කාර්යයක් නොවන බව ද සලකා බැලිය යුතු පැත්තකි’.
පරාටේ නීතිය බලගන්වන අතර ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් ගේ තීරණය අනුව රජය ලබා දුන් කාලය ඉක්මවා තවත් මාස තුනක් දක්වා පරාටේ නීතිය අත්හිටුවන බව දැනට ප්‍රකාශ කර ඇත. ණය හිමියන් සමග සාකච්ඡා කර ඵලදායී අදහස් හුවමාරු කරගෙන ඇති ඇතැම් ණය ආපසු ගෙවීම සඳහා දෙසැම්බර් දක්වා කල් ලබාදී තිබේ. මෙරට ඉතිහාසය සලකා බලන පසු ණය අය කරගැනීම සඳහා සියලුම උත්සාහ දැරීමෙන් පසු පරාටේ නීතිය ක්‍රිියාවට නංවන බව දක්වන බැංකුකරුවන් සියයට එකකටත් අඩු ප්‍රතිශතයකට එය අදාළ කරගෙන ඇතැයි දක්වයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සඳහා රජයේ අනුබලය හා සමානව පෞද්ගලික අංශයේ පියවර ද වැදගත්ය. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ජාලය මගින් රැකියා බිහිකරන අතර නිෂ්පාදන ක්‍රියාවලියට දායකවේ. සේවා අංශයට ද විශාල ආවරණයක් කරයි. මෙකී පසුබිමෙන් බැහැර විය නොහැක. අලුත් අවස්ථා අත්පත් කර ගන්නා හා සමානව පැරණි අත්දැකීම් ඇති ව්‍යවසායකයන් නඩු පවරා දේපොල අත්පත් කරගෙන පැත්තකට වීසි කිරීම සුදුසු නැත. එහෙත් මෙහි දී අවබෝධය වැදගත්ය. ණය ගෙවීම අත්හැර ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඒවා සක්‍රීය කළ යුතුවේ. බැංකු නිලධාරීන් මුණ ගැසී ඇත්ත තත්වය හුවා දැක්විය යුතුවේ. පාර්ශව දෙක අතර ගොඩනැගෙන විශ්වාසය පදනම් කරගෙන අලුත් ආරම්භයකට යා හැකිය.
පරාටේ නීතියේ ආර්ථික බලපෑම