IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පැය විසි හතරකින් ආවරණය වූ පසුබෑම

කොටස් වෙළෙඳපොළ කලින් දිනයේ සිදු වූ වාර්තාගත පසුබෑම ඊයේ (සැප්.16) ගනුදෙනුවල දී ආවරණයට සමත්වීම විශේෂත්වයකි. මෙම වසරේ දෙවැනි කාර්තුවේ ආර්ථික වර්ධනය මෙයට බලපෑමක් වූ බව පෙනේ. මහ බැංකු වාර්තා අනුව 2025 දෙවැනි කාර්තුවේ වර්ධනය සියයට 4.9 කි. වසරේ පළමු කාර්තුවේ වර්ධනය සියයට 4.8 ක් ව තිබුණි. දෙවැනි කාර්තුවේ ප්‍රගතිය අනුව ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගමන්කරන දිශාව ගැන ආයෝජකයන් තුළ යම් ප්‍රසාදයක් පවතින බව නිරීක්ෂණය කළ හැකිය. ඇතැම් පිරිස් සමාගම් කොටස් මිල අඩුකර මිල දී ගැනිමේ ප්‍රවණතාවක පසුවන අතර දේශීය සුළු ආයෝජන අංශය එයට ගොදුරු නොවීම කෙරෙහි සැලකිල්ල යොමු කිරීම ඉතාම වැදගත්ය. 

මේ අතර අය වැය හිඟය පාලනය කරගැනීමට රජය සමත්වීම සහ ආදායම් උත්පාදනය වාසිදායක තැනකට පැමිණීම හේතු කොටගෙන විශ්වාසයක් ඇති වී තිබේ. කෙසේ වෙතත් රජයේ ආදායම් වර්ධනයෙන් සියයට හැත්තෑ පහක් වක්‍ර බදුවලින් බව ලෝක බැංකු වාර්තාවක් අනාවරණය කරයි. 2026 අය වැය ඉදිරිපත් කිරීම ගැන අවධානය යොමු වී ඇති අතර ආර්ථික වර්ධනය ඇති කරන ව්‍යාපෘති සඳහා ඉඩ දී ඒවායෙන් ආදායම් ලබාගැනීම කෙරෙහි පූර්ව සාකච්ඡාවල දී අවධානය යොමු විය යුතුව තිබේ. වක්‍ර බදු කෙළින්ම පාරිභෝගිකයන්ගෙන් අය කරගැනෙන අතර එය වර්ධනයකට හේතු වෙන්නේ නැත. සිංගර් ෆිනෑන්ස් සමාගම නිකුත් කළ කොටස් හිමියන්ට අනුපාත වශයෙන් ලැබෙන කොටස් නිකුතුව අනුව වෙළෙදාම ආරම්භ වූ දිනයේ දී රුපියල් 26.50 ක කොටසක් රුපියල්28.80 දක්වා ඉහළ ගියේය. කොටස් මිලියන 19 ක් හුවමාරු විය.

ගනුදෙනු අවසන් වන විට (සැප්. 01) සියලු කොටස් මිල දර්ශකය ඒකක 20,619.37 ක් දක්වා ඉහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 263.98 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,880.59 ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 81.75 ක ඉහළ යාමක් සේ වාර්තා වේ. දෛනික පිරිවැටුම රුපියල් බිලියන 6.21 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 47,920 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 203.1 ක් විය. සමාගම් 220 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 45 කි. 
නිරීක්ෂක



අදහස් (0)

පැය විසි හතරකින් ආවරණය වූ පසුබෑම

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site