IMG-LOGO

2026 නොවැම්බර් මස 30 වන සඳුදා


දේශීය ඉස්සන් කර්මාන්තයෙන් උපයන ඩොලර් රටට අහිමි වන ලකුණු

 

 

  • වසරකට ඩොලර් මිලියන 28ක විදේශ විනිමයක් උපයා දෙන බව කියන කර්මාන්තයක් 
  • රුකගැනීමට බලධාරීන් තවදුරටත් නිහඬව සිටින්නේ ඇයි?
  • විදේශ රටවලින් ඉස්සන් ආනයනය කර ප්‍රතිඅපනයනය කිරීමේ ක්‍රියාවලිය නිසි නියාමනයකින් හා විනිවිදභාවයකින් තොරයි
  • දිවයින පුරා හෙක්ටයාර් 18,000ක පමණ මෙම කර්මාන්තය පවත්වාගෙන යන අතර, වාර්ෂික ඉස්සන් නිෂ්පාදනය ටොන් 16,000ක් 

ආණමඩුව - හිරාන් ප්‍රියංකර ජයසිංහ 
දේශීය පොකුණු ඉස්සන් සඳහා ඇත්තේ ඉහළ විදෙස් වෙළෙඳපොළකි. ශ්‍රී ලාංකික ඉස්සා සඳහා යුරෝපීය රටවල සේම ආසියාතික හා මැදපෙරදිග රටවල ඇති ඉහළ ඉල්ලු‍ම නිසා මෙරට ඉස්සන් වගාකරුවන් තම ව්‍යාපාරය ඉතා අමාරුවෙන් පවත්වාගෙන යද්දී එක්තරා කණ්ඩායමක් විදේශීය ඉස්සන් මෙරටට රැගෙනවිත් දේශීය ඉස්සන් සමග මිශ්‍ර කර ශ්‍රී ලාංකික නාමයෙන් විදෙස් වෙළෙඳපොළට ප්‍රතිඅපනයන කිරීම මේ වන විට බරපතළ ජාවාරම් තත්වයක් බවට පත්ව ඇති බව එම ව්‍යාපාරයේ නිතර පිරිස් පවසති.
මෙලෙස කලක සිට සුළුවෙන් ක්‍රියාත්මක වූ මෙම ජාවාරම මේ වන විට එළිපිට සිදුවීමත් ඒ සමග වෙනත් කාලවලට වඩා මේ වන විට විදෙස් ඉස්සන් විශාල වශයෙන් ආනයනය කරමින් ශ්‍රී ලංකාවේ ඉස්සන් සමග මිශ්‍ර කර ප්‍රතිඅපනයනය දේශීය ඉස්සන් කර්මාන්තයට දැවැන්ත තර්ජනයක් එල්ල කර ඇති බව එම කර්මාන්තයේ නිරත වගාකරුවෝ, ව්‍යාපාරිකයෝ පවසති.
මෙලෙස තම ව්‍යාපාරයට එල්ලවී ඇති තර්ජනය සුළුපටු නොවීම හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ පොකුණු ඉස්සන් වගා කරන හා අලෙවි කිරීමේ නිරතව සිටින පිරිස් එකම ස්ථානයකට එක්වී මේ සඳහා හඩ නගන්නට වූයේ මෙම විනාශකාරී ජාවාරම නවතා දමන ලෙසට ඉල්ලීම් කරමිනි.

 

ඉන්දියාව, ඉක්වදෝරය වැනි රටවලින් ඉස්සන් ආනයනය කර ශ්‍රී ලංකාවේ සන්නාමය යටතේ ප්‍රතිඅපනයනය කිරීමේ ක්‍රියාවලිය හේතුවෙන් දේශීය ඉස්සන් වගාකරුවන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බවට චෝදනා එල්ල වෙයි. රටට ඩොලර් උපයා දෙන බව කියන මෙම ක්‍රියාවලිය තුළ සැබෑ ලෙසම ජයග්‍රහණය කරන්නේ කවුරුන්ද? පරාජයට පත්වන්නේ දේශීය නිෂ්පාදකයාද? එසේ නම් වසරකට ඩොලර් මිලියන 28ක විදේශ විනිමයක් උපයා දෙන බව කියන කර්මාන්තයක් රැකගැනීමට බලධාරීන් තවදුරටත් නිහඬව සිටින්නේ ඇයි?
ශ්‍රී ලංකාවේ ජලජීවී වගා ක්ෂේත්‍රයේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වන ඉස්සන් කර්මාන්තය අද මුහුණ දී සිටින මෙම අර්බුදය හුදෙක් ව්‍යාපාරිකයන් කිහිප දෙනකු අතර ඇති තරගයක් නොවේ. එය දේශීය නිෂ්පාදනයේ අනාගතය, ග්‍රාමීය ආර්ථිකය, රැකියා අවස්ථා සහ රටේ විදේශ විනිමය උපයා ගැනීමේ හැකියාව සමග බැඳුණු වැදගත්කමක් ඇති ගැටලු‍වකි.
පුත්තලම දිස්ත්‍රික්කයේ ඉස්සන් වගාකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනකට සමගාමීව පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා ජලජීවී වගා සංවර්ධන සන්ධානය මේ සම්බන්ධයෙන් බරපතළ කරුණු රැසක් අනාවරණය කළේය. ඔවුන් පෙන්වා දෙන්නේ විදේශ රටවලින් ඉස්සන් ආනයනය කර ප්‍රතිඅපනයනය කිරීමේ ක්‍රියාවලිය නිසි නියාමනයකින් හා විනිවිදභාවයකින් තොරව සිදුවන බවත්, එමගින් දේශීය ඉස්සන් නිෂ්පාදකයන්ට අසාධාරණ තත්වයක් නිර්මාණය වී ඇති බවත්ය.
ශ්‍රී ලංකාවේ වාණිජමය ඉස්සන් වගා කර්මාන්තය 1980 දශකයේදී පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ විය. කාලයත් සමග එය යාපනය, මන්නාරම, කිළිනොච්චිය සහ මඩකලපුව ඇතුළු ප්‍රදේශ කරා ව්‍යාප්ත විය.
සන්ධානය ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛන අනුව, දිවයින පුරා හෙක්ටයාර් 18,000ක පමණ භූමි ප්‍රමාණයක මෙම කර්මාන්තය පවත්වාගෙන යන අතර, වාර්ෂික ඉස්සන් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 16,000ක් පමණ වේ. එම නිෂ්පාදනයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් යුරෝපා රටවල් ඇතුළු විදේශ වෙළෙඳපොළට අපනයනය කෙරෙන අතර, වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් මිලියන 28ක පමණ විදේශ විනිමයක් රටට උපයා දෙන බව ඔවුහු පවසති.
මෙම සංඛ්‍යා දෙස බැලීමේදී පැහැදිලි වන්නේ ඉස්සන් කර්මාන්තය යනු හුදෙක් වගාකරුවන් පිරිසකගේ ජීවනෝපායක් පමණක් නොවන බවයි. එය ගොවිපොළ හිමියන්, කම්කරුවන්, ආහාර සැපයුම්කරුවන්, ප්‍රවාහන සේවා සපයන්නන්, සැකසුම් කර්මාන්තය සහ අපනයන ක්ෂේත්‍රය සමග සම්බන්ධ වූ පුළුල් ආර්ථික ජාලයකි.
එවැනි කර්මාන්තයක් දුර්වල වීම යනු එහි ඍජු ප්‍රතිලාභ ලබන පිරිස පමණක් නොව, ඒ හා සම්බන්ධ සමස්ත ආර්ථික පද්ධතියම අවදානමට ලක්වීමකි.
දේශීය ඉස්සා පසෙකට දමා විදේශීය ඉස්සාට වෙළෙඳපොළ විවෘත කරනවාද?
ඉස්සන් වගාකරුවන්ගේ ප්‍රධාන චෝදනාව වන්නේ ඉන්දියාව, ඉක්වදෝරය වැනි රටවලින් ඉස්සන් ආනයනය කර ශ්‍රී ලංකාවේ සන්නාමය යටතේ විදේශ වෙළෙඳපොළට යොමු කිරීමේ ප්‍රතිඅපනයන ක්‍රියාවලිය නිසා දේශීය නිෂ්පාදනයට අහිතකර බලපෑමක් එල්ල වන බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ජලජීවී වගා සංවර්ධන සන්ධානයේ සභාපති මොහාන් ප්‍රනාන්දු මහතා මෙසේ පැවසීය. 
“අද අපේ කර්මාන්තයේ තිබෙන ප්‍රධාන ගැටලු‍වක් තමයි වෙනත් රටවලින් ඉස්සන් ආනයනය කර අපේ සන්නාමය යටතේ අපනයනය කිරීම. මේ සඳහා රජය විසින් නීති හා ක්‍රියාපටිපාටි සකස් කර තිබුණත් ඒවා නිසි පරිදි ක්‍රියාත්මක වෙනවාද කියන බරපතළ ප්‍රශ්නයක් තිබෙනවා. ඇතැම් පාර්ශ්ව එම ක්‍රියාපටිපාටි උල්ලංඝනය කරමින් කටයුතු කරනවාද යන්න සොයා බැලිය යුතුයි. මෙවැනි ප්‍රතිඅපනයන ක්‍රියාවලියකට ව්‍යාපාරිකයන් පෙළඹුණේ වසර විසිහතරක් තිස්සේ ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියෙන් ඉස්සන් කර්මාන්තය නගාසිටුවීමට අවශ්‍ය ප්‍රමාණවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවීම නිසා බවත් පෙන්වා දෙනවා. අද එහි අහිතකර ප්‍රතිවිපාකවලට කර ගසන්නට සිදුවී තිබෙන්නේ සැබෑ දේශීය නිෂ්පාදකයන්ටයි.”
ශ්‍රී ලංකා ජලජීවී වගා සංවර්ධන සන්ධානයේ ලේකම් එස්. තයාබරන් මහතා මෙලෙස අදහස් දැක්වීය.
“ප්‍රතිඅපනයනය කර තිබෙන ඉස්සන් ප්‍රමාණය සංඛ්‍යාලේඛන ලබාදෙන ලෙස අපි අදාළ ධීවර අමාත්‍යාංශයේ ඇතුළු නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කළා. ආනයනය කළ ඉස්සන් ප්‍රමාණය කොපමණද? ඒවා ප්‍රතිඅපනයනය කළ ප්‍රමාණය කොපමණද? ඒ හරහා රටට ලැබුණු ඩොලර් ප්‍රමාණය කොපමණද? මේ සියල්ල පිළිබඳ තොරතුරු අපට අවශ්‍ය වුණා.
සති දෙකක් ඇතුළත මේ තොරතුරු ලබාදෙන බවට අපට දැනුම් දුන්නත් අද වනතුරු ඒ තොරතුරු ලැබී නැහැ. මෙවැනි ව්‍යාපාරයක් නිසි පාලනයකින් තොරව පවත්වාගෙන යන්නේ කොහොමද කියන ප්‍රශ්නය අපට තිබෙනවා. තොරතුරු ලබාදිය හැකි බව කියනවා. එහෙත් ඒ තොරතුරු අපට ලැබෙන්නේ නැහැ. එහෙම නම් මේ ක්‍රියාවලියේ විනිවිදභාවය කොතැනද? මීට පෙරත් රෝග පැතිරීම නිසා අපේ ඉස්සන් කර්මාන්තය දැඩි ලෙස කඩා වැටුණා. එදා කර්මාන්තකරුවන්ගේ කැපවීමෙන් සහ විශාල උත්සාහයකින් තමයි නැවත ගොඩනගා ගත්තේ. නැවතත් මෙවැනි අර්බුදයකට පත්වුණොත් එය යළි ගොඩනැගීම ඉතා අසීරු වේවි. ඒ නිසා මේ ගැන බලධාරීන් වහාම අවධානය යොමු කළ යුතුයි.”‍
ගොවිපොළ අනු කමිටුවේ සභාපති සනත් රුද්‍රිගු මහතා ද මෙලෙස අදහස් දැක්වීය.


“ප්‍රතිඅපනයනය කිරීමේ ක්‍රියාවලිය ආරම්භ වුණේ පසුගිය රජය සමයේදීයි. වත්මන් රජය බලයට පත්වූ පසුව අපි ජලජීවී වගා සංවර්ධන අධිකාරියටත්, ධීවර අමාත්‍යාංශයටත්, ධීවර අමාත්‍යවරයාටත්, නියෝජ්‍ය අමාත්‍යවරයාටත් මේ ගැටලු‍ව පිළිබඳව දැනුම් දුන්නා. මේ ක්‍රියාවලිය නතර කරලා දේශීය කර්මාන්තය ආරක්ෂා කරන්න කියලා ඉල්ලු‍වා. එහෙත් අද වනතුරු අපට සාධනීය පිළිතුරක් ලැබිලා නැහැ. ජනාධිපතිතුමාගෙන් පවා සාකච්ඡාවක් ඉල්ලා සිටියා. එහෙත් ඒ සම්බන්ධයෙන් තවමත් පැහැදිලි ප්‍රතිචාරයක් ලැබී නැහැ.
මේ ක්‍රියාවලිය පිළිබඳව අපට බරපතළ සැක සංකා තිබෙනවා. ඇතැම් ව්‍යාපාරිකයන්ට වාසි සැලසෙන ආකාරයට රාජ්‍ය ආයතන කටයුතු කරනවාද? අදාළ නිලධාරීන් සහ වගකිවයුතු ආයතන මේ සම්බන්ධයෙන් නිසි වගකීම ඉටු කරනවාද? කියන ප්‍රශ්න අපට තිබෙනවා. ඒවා චෝදනා ලෙස පමණක් ඉදිරිපත් කරලා නතර කරන්න අපි කැමැති නැහැ. මේ ගැන ස්වාධීන පරීක්ෂණයක් පවත්වා ඇත්ත තත්වය රටට හෙළි කළ යුතුයි.
ප්‍රතිඅපනයනයෙන් ඩොලර් විශාල ප්‍රමාණයක් රටට ලැබෙනවා කියනවා. එය සත්‍යයක් නම් ඒ සඳහා නිවැරැදි සංඛ්‍යාලේඛන ඉදිරිපත් කළ යුතුයි. රටට ඇත්තටම ලැබෙන විදේශ විනිමය ප්‍රමාණය කීයද කියලා ජනතාවට දැනගැනීමට අයිතියක් තිබෙනවා.
ඉස්සන් කර්මාන්තයේ නියැලෙන ප්‍රසන්න සඳරුවන් මහතා මෙසේ පැවසීය.
“ප්‍රතිඅපනයනය නිවැරදි ක්‍රමවේදයකට අනුව සිදු කරනවා නම් එයින් ප්‍රතිලාභ ලබා ගැනීමට හැකියාව තිබෙනවා. එහෙත් වැරදි ක්‍රමවේදයකට සිදු කරනවා නම් එයින් ගැටලු‍ රැසක් මතු වෙනවා.
ප්‍රතිඅපනයනයක් කරනවා නම් ධීවර අමාත්‍යාංශය ඇතුළු අදාළ රාජ්‍ය ආයතනවල නියමිත අවසර ලබාගත යුතුයි. රජය විසින් පනවා තිබෙන නීති සහ රෙගුලාසිවලට සම්පූර්ණයෙන්ම යටත් විය යුතුයි. ඒවා උල්ලංඝනය කරමින් කටයුතු කිරීමට කිසිවකුට අයිතියක් නැහැ. මෙහිදී ව්‍යාපාරිකයන් කිහිප දෙනකු පමණක් මෙම ක්‍රියාවලියට සම්බන්ධ වී සිටින බවටත්, අදාළ රාජ්‍ය ආයතනවලින් ප්‍රමාණවත් අධීක්ෂණයක් සිදුවන්නේ නැති බවටත් අපට ගැටලු‍ තිබෙනවා. ආනයනය කරන නිෂ්පාදනවල මූලාරම්භය, ගුණාත්මකභාවය සහ ඒවා ප්‍රතිඅපනයනය කරන ආකාරය පිළිබඳව අදාළ සියලු‍ තොරතුරු නිසි පරිදි කළමනාකරණය කළ යුතුයි. නීතිමය කොන්දේසි උල්ලංඝනය කරමින් මේ කටයුතු සිදුවෙනවා නම් එය වහාම නතර කළ යුතුයි. අපි ඉල්ලන්නේ මේ ගැටලු‍වට කඩිනම් විසඳුමක් ලබාදෙන ලෙසයි.”‍ 



අදහස් (0)

දේශීය ඉස්සන් කර්මාන්තයෙන් උපයන ඩොලර් රටට අහිමි වන ලකුණු

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site