IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


දිට්වා බලපෑමට රු.බි. 4.75ක රක්ෂණ වන්දි

  • ඉදිරිපත් වූ සමස්ත වන්දි ඉල්ලීම්වල වටිනාකම රුපියල් බිලියන 51.7 ක් 
  • රක්ෂණ හිමිකම් පෑම් 24,477ක් අතරින් 17,601ක් (සියයට 71.91) පිළිගනියි
  • මෝටර් රථ රක්ෂණ වන්දි ගෙවීම්වලට වඩා මෝටර් රථ නොවන රක්ෂණ වන්දි ගෙවීම් ඉහළට 

භානුක අමරසිංහ 

දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් සිදු වූ හානි සම්බන්ධයෙන් ඉදිරිපත් වූ හිමිකම් පෑම් වෙනුවෙන් රක්ෂණ සමාගම් හරහා මේ දක්වා රුපියල් බිලියන 4.75ක් (රු. 4,752,039,717ක්) වටිනා රක්ෂණ වන්දි ගෙවා ඇතැයි ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව පවසයි. 

ජනවාරි 12 වැනිදා වනවිට මෙරට ක්‍රියාත්මක සාමාන්‍ය රක්ෂණ සමාගම් මගින් නිකුත් කළ දත්ත අනුව එම කොමිෂන් සභාව මෙම කරුණු සඳහන් කර සිටියි. 

මෙහිදී ඉදිරිපත් වූ රක්ෂණ හිමිකම් පෑම් 24,477 ක් අතරින් පිළිගත් හිමිකම් පෑම් 17,601 ක් වෙනුවෙන් මෙම මුදල ගෙවා තිබේ. ඒ අනුව මෙම පිළිගැනීමේ අනුපාතය සියයට 71.91ක් ලෙස සටහන්ව තිබේ. 

අදාළ දිනය වනවිට මෝටර් රථ රක්ෂණය යටතේ හිමිකම් පෑම් 16,029ක් ඉදිරිපත්ව ඇති අතර, ඒවායේ ඇස්තමේන්තුගත වටිනාකම රුපියල් 6,561,030,666 කි. ඉන් හිමිකම් පෑම් 12,010 ක් පිළිගෙන තිබේ. එය සියයට 74.93ක අනුපාතයකි. 

එසේම මෝටර් රථ නොවන රක්ෂණ හිමිකම් පෑම් 8,448 ක් හිමිව ඇති අතර, එහි ඇස්තමේන්තුගත වටිනාකම රුපියල් 45,227,965,666 කි. ඉන් 5,591ක් පිළිගෙන තිබේ. එය සියයට 66.18ක අනුපාතයකි. 

ඒ අනුව ඉදිරිපත් වූ හිමිකම් පෑම් 24,477ක ඇස්තමේන්තුගත වටිනාකම රුපියල් බිලියන 51.7 ක් (රුපියල් 51,788,996,332ක්) වන අතර, ඉන් රුපියල් බිලියන 4.75ක් (රුපියල් 4,752,039,717ක්) මෙලෙස වන්දි ලෙස ගෙවා තිබේ. ඒ අතරින් රුපියල් 874,098,258ක් මෝටර් රථ රක්ෂණ වන අතර, රුපියල් 3,811,941,459ක් මෝටර් රථ නොවන රක්ෂණ වෙයි.



අදහස් (0)

දිට්වා බලපෑමට රු.බි. 4.75ක රක්ෂණ වන්දි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site