
භානුක අමරසිංහ
2025 වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා කාලය තුළදී මෙරට තේ අපනයනය හරහා ලැබූ ආදායම එක්සත් ජනපද ඩොලර් බිලියන 1.50ක් (1,506,202,809) ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙය 2024 වසරේ ලැබු ඩොලර් බිලියන 1.43 ක (1,434,819,596) ආදායම හා සැසඳීමේදී සියයට 5ක පමණ වූ වර්ධනයකි.
පසුගිය වසර තුළ මෙරටින් අපනයනය කරන ලද තේ කිලෝ මිලියන 257කින් (257,440,687) මෙම ආදායම ලබා ගෙන තිබේ. 2024 වසරේදී තේ කිලෝ මිලියන 245ක් (245,787,876ක්) අපනයනය කර ඇති අතර, ඒ අනුව මෙය කිලෝ මිලියන 12ක වර්ධනයක් ලෙස තේ වෙන්දේසි ආයතනයක් වන Forbes & Walker සකස් කළ වාර්තාවක සඳහන් වෙයි.
ශ්‍රී ලංකා රේගුව සහ මහ බැංකුව නිකුත් කළ දත්ත අනුව එම ආයතනය මෙම වාර්තාව සකස් කර තිබේ.
මෙලෙස 2025 වසරේ තේ අපනයනයෙන් ලැබූ ආදායම රුපියල් වටිනාකමින් රුපියල් බිලියන 453.3ක් ලෙස සටහන්ව ඇති අතර, එය 2024 හිමි වූ රුපියල් බිලියන 433.5 හා සැසඳීමේදී රුපියල් බිලියන 20ක වර්ධනයකි.
මෙහිදී 2025 වසරේදී තේ තොග ලෙස කිලෝ මිලියන 106.80ක්, තේ පැකට්ටු ලෙස කිලෝ මිලියන 116.24ක්, තේ බෑග් ලෙස කිලෝ මිලියන 26.44ක්, ක්ෂණික තේ ලෙස කිලෝ මිලියන 3.0 ක් සහ ග්‍රීන් ටී ලෙස කිලෝ මිලියන 4.9ක් අපනයනය කර තිබේ.
කෙසේ වෙතත් තේ තොග ලෙස සිදු කර ඇති අපනයනය 2024 වසරට සාපේක්ෂව කිලෝ මිලියන 4.27 කින් පහත වැටී ඇතැයිද Forbes & Walker ආයතනය පෙන්වා දෙයි.
මේ අතර, 2025 වසර තුළ නැව්ගත කරන අවස්ථාවේදී මෙරට තේ කිලෝග්‍රෑමයක් සඳහා හිමි වූ මුදල රුපියල් වටිනාකමින් රුපියල් 1,760.70ක් (ඩොලර් 5.85ක්) ලෙස සටහන්ව තිබේ. එය 2024 වසරේ හිමි වූ රුපියල් 1,763.61 ට (ඩොලර් 5.84 ට) සාපේක්ෂව රුපියල් 2.91ක පහත වැටීමක් වන අතර ඩොලර් 0.01ක ඉහළ යාමකි.
2025 වසර තුළදී මෙරටින් වැඩිම තේ ප්‍රමාණයක් ආනයනය කළ රට වන්නේ ඉරාකයයි. එය කිලෝ මිලියන 39.36 ක් වන අතර, පෙර වසරට සාපේක්ෂව සියයට 14.9ක වර්ධනයක්ද වෙයි. කිලෝ මිලියන 34.26ක් සමගින් දෙවැනි තැන රුසියාවට හිමිව තිබේ. තෙවැනි තැන කිලෝ මිලියන 21.27ක් අපනයන කළ තුර්කියටත්, සිව්වැනි තැන කිලෝ මිලියන 18.93ක් ආනයනය කළ ලිබියාවටත් හිමිව තිබේ. එහිදී ලිබියානු ආනයනය පෙර වසරට සාපේක්ෂව සියයට 83.9 ක වර්ධනයකි.
පස් වැනි සහ හය වැනි ස්ථාන පිළිවෙළින් කිලෝ මිලියන 18.32ක් ආනයනය කළ එක්සත් අරාබි එමීරයටත්, කිලෝ මිලියන 11.9ක් ආනයනය කළ චිලියටත් හිමිව තිබේ. හත්වැනි ස්ථානයේ පසුවන චීනය ආනයනය කර ඇති තේ ප්‍රමාණය කිලෝ මිලියන 10.42 කි. මේ අතර 2025 වසරේදී ඉරානය ශ්‍රී ලංකාවෙන් ආනයනය කර ඇති තේ ප්‍රමාණය කිලෝ මිලියන 10.39 ක් වන අතර, ඔවුන් එම ලැයිස්තුවේ අට වැනි ස්ථානයේ පසුවෙයි. අසර්බයිජානය සහ සෞදි අරාබිය පිළිවෙලින් කිලෝ මිලියන 8.91ක් සහ 8.73ක් ආනයනය කරමින් නව වැනි සහ දහවැනි ස්ථානවල පසුවෙයි.
කෙසේ වෙතත් දිට්වා හේතුවෙන් තේ නිෂ්පාදනය වෙත මෙන්ම අපනයනය වෙතද එල්ල වූ බලපෑම පෙන්නුම් කරමින් 2025 දෙසැම්බර් මාසයේදී මෙරට සිදුකළ තේ අපනයනය කිලෝ මිලියන 17.86ක් දක්වා පෙර වසරට සාපේක්ෂව කිලෝ මිලියන 4.69 කින් පහත වැටී තිබේ. 2024 දෙසැම්බර් මාසයේදී තේ කිලෝ මිලියන 22.56ක් අපනයනය කර තිබේ.
එහිදී තේ තොග අපනයනය කිලෝ මිලියන 9.7 ක සිට 7.9ක් දක්වාත්, තේ පැකට්ටු කිලෝ මිලියන 9.81 ක සිට කිලෝ මිලියන 7.97 ක් දක්වාත්, තේ බෑග් කිලෝ මිලියන 2.32ක සිට කිලෝ මිලියන 2.09ක් දක්වාත් පහත වැටී තිබේ. එසේම ක්ෂණික තේ කිලෝ 151,157 ක සිට 124,004ක් දක්වාත්, ග්‍රීන් ටී කිලෝ 482,684ක සිට 350,354ක් දක්වාත් අපනයනය පහත වැටී තිබේ.
තේ අපනයන ආදායම ඩොලර් බිලියන 1.5 ඉක්මවයි
Chinthaka Tuesday, 27 January 2026 03:19 PM
මහින්ද මහත්තයා 2006 වර්ෂයේ වැටුප් චක්‍රලේඛය සකසන්නේ ඒ වනවිට සේවයේ සිටි 1994ට පෙර සිටි සමහර නිලධාරින්ට බලවත් ලෙසට අසාධාරණයක් සිදුවන ආකාරයට තමයි එසේ වෙද්දී හිතවතුන්ට පුද්ගලික වනසේ කොටසකට සාධාරණයක් කළත් බොහෝ දෙනෙකුට බලවත් අසාධාරනයක් කරලා තියෙනවා... ඒ අසාධාරණය ඇතිව විශ්‍රාම ගිය මම ලැබෙන සොච්චම් විශ්‍රාම වැටුපෙන් ජීවත්වෙන්න බැරි නිසා කුඩා ඉඩමක් සොයාගෙන තේ වගාවක් කර ජීවන මාර්ගය තරමක් ශක්තිමත් කර ගත්තා මෙම පුවත්පත් දැන්විම දැක්කම විශ්‍රාම ලැබූ මමත් රටට යම් සේවයක් කරන පුරවැසියෙක් කියලා සතුටු වෙනවා...