IMG-LOGO

2026 මාර්තු මස 02 වන සඳුදා


තේ අපනයනය ජනවාරියේදී කිලෝ මිලියන 1.34 කින් ඉහළට

 

  • සියලු‍ම කාණ්ඩවල තේ අපනයනයේ කැපී පෙනෙන වාර්ෂික වර්ධනයක් 
  • වැඩිම තේ ආනයනය කළ රට ලෙස ඉරාකය කිලෝ මිලියන 2.95 ක් ආනයනය කරලා

භානුක අමරසිංහ 
2026 වසරේ ජනවාරි මාසයේදී මෙරට තේ අපනයනය කිලෝ මිලියන 20.71 ක් ලෙස සටහන්ව තිබේ. මෙය 2025 වසරේ ජනවාරි මාසයේදී සිදු කළ කිලෝ මිලියන 19.37ක තේ අපනයනය හා සැසඳීමේදී කිලෝ මිලියන 1.34 ක වර්ධනයකි. 
මෙහිදී සියලු‍ම කාණ්ඩවල තේ අපනයනයේ කැපී පෙනෙන වාර්ෂික වර්ධනයක් පෙන්නුම් කර තිබෙන බව මේ පිළිබඳ වාර්තාවක් ගෙන එන තේ තැරැව්කාර ආයතනයක් වන Forbes & Walker ආයතනය පවසයි. 
ඒ අනුව තේ තොග අපනයනය 2025 ජනවාරියේදී වාර්තා කළ කිලෝ මිලියන 8.24 ක සිට 2026 ජනවාරියේදී කිලෝ මිලියන 8.90 ක් දක්වා කිලෝ 665,876කින් ඉහළ ගොස් තිබේ. එසේම තේ පැකට්ටු අපනයනය කිලෝ මිලියන 8.49ක සිට කිලෝ මිලියන 8.88 ක් දක්වා කිලෝ 390,787 ක් දක්වා ඉහළ නැග තිබේ. තේ බෑග් අපනයනය කිලෝ මිලියන 2.10 ක සිට 2.20ක් දක්වා කිලෝ 94,404 කින් ඉහළ නැග තිබේ. 

 “මීට අමතරව ක්ෂණික තේ අපනයනය කිලෝ 199,866ක සිට 314,065ක් දක්වා කිලෝ 114,199කින් ඉහළ නැග තිබෙනවා. ඒ වගේම හරිත තේ අපනයනය කිලෝ 334,337 ක සිට 404,629ක් දක්වා කිලෝ 70,292 කින් ඉහළ නැග තිබෙනවා.“ මෙම වාර්තාව පවසයි. 
මෙහිදී 2026 ජනවාරියේදී ලංකා තේ වැඩියෙන්ම ආනයනය කළ රට ලෙස ඉරාකය සටහන්ව ඇති අතර, එය කිලෝ මිලියන 2.95 කි. එහෙත් එය 2025 ජනවාරියේ වාර්තා කළ කිලෝ මිලියන 3.02කට සාපේක්ෂව සියයට 2ක අඩුවීමකි. 
මේ අතර තුර්කිය 2025 ජනවාරියේ වාර්තා කළ තේ කිලෝ මිලියන 1.08 ක ආනයනයට සාපේක්ෂව 2026 දී කිලෝ මිලියන 2.36 ක් ආනයනය කරමින් සියයට 118 ක වාර්ෂික වර්ධනයක්ද සමගින් දෙවැනි ස්ථානයට පත්ව තිබේ. 
තෙවැනි ස්ථානයේ පසුවන රුසියාව වාර්තාගත ලෙස තේ කිලෝ මිලියන 2.02ක් ආනයනය කර ඇති අතර, එය 2025 ජනවාරියේ සිදුකළ කිලෝ මිලියන 1.07 ක ආනයනයට සාපේක්ෂව සියයට 17 ක වර්ධනයකි. 
මීට අමතරව සිව්වැනි ස්ථානය එක්සත් අරාබි එමීරයටත් (කිලෝ මි. 1.05), පස්වැනි ස්ථානය අසර්බයිජානයටත් (කිලෝ මි. 0.98), හයවැනි ස්ථානය සෞදි අරාබියටත් (කිලෝ මි. 0.96), හත්වැනි සහ අටවැනි ස්ථාන චිලිය (කිලෝ. මි. 0.95) සහ ඉරානයටත් (කිලෝ. මි. 0.95), නව වැනි ස්ථානය ලිබියාවටත් (කිලෝ. මි. 0.87) , දහවැනි ස්ථානය එක්සත් ජනපදයටත් (කිලෝ. මි. 0.69) හිමිව තිබේ. 

 



අදහස් (0)

තේ අපනයනය ජනවාරියේදී කිලෝ මිලියන 1.34 කින් ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site