IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


තෙවැනි කාර්තුවේදී ව්‍යාපාර තත්වය තවදුරටත් ශක්තිමත්වීමේ අපේක්ෂාවක්

භානුක අමරසිංහ

මෙරට තුළ පවතින ව්‍යාපාර තත්වයේ යහපත් මට්ටම තවදුරටත් පෙන්නුම් කරමින් මහ බැංකුව මගින් සකස් කරන ව්‍යාපාර තත්ව දර්ශකය තවදුරටත් එහි උදාසීන සීමාවට වඩා ඉහළ අගයකින් පවතින බව මහ බැංකුව පවසයි. මහබැංකුව සිදු කළ සමීක්ෂණයක දත්ත අනුව මෙම දර්ශකය සකස් කර තිබේ.

ඒ අනුව මෙය මෙරට ව්‍යාපාර තත්වය තවදුරටත් යථාවත්වීමේ ලකුණු පෙන්නුම් කරන්නක් බවත්, 2025 තෙවැනි කාර්තුවේදී එම තත්වය තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කරන බවත් මහ බැංකුව පසුගියදා නිකුත් කළ මූල්‍ය ස්ථායිතා විවරණය 2025 වාර්තාව තුළ සඳහන් කර සිටියි.

එම වාර්තාවට අනුව 2025 දෙවැනි කාර්තුවේදී ව්‍යාපාර තත්ව දර්ශකයේ අගය 130ක් ලෙස සටහන්ව ඇති අතර, මේ වසරේ තෙවැනි කාර්තුවේදී එය 138ක අගයක් ගනු ඇතැයි මහ බැංකුව පුරෝකථනය කරයි.

විශේෂයෙන්ම සාර්ව ආර්ථික තත්වයේ දියුණුව මෙන්ම අඩු පොලී මට්ටම් සහ ස්ථාවර විනිමය අනුපාතය යනාදිය මෙලෙස ව්‍යාපාර තත්ව දර්ශකයේ ධනාත්මක වර්ධනය සඳහා හේතුව වී තිබේ. 

එසේම මෙම සමීක්ෂණය වෙත ප්‍රතිචාර දැක් වූ පිරිස් ඉල්ලු‍ම, අලෙවිය, ධාරිතා උපයෝගිතාව සහ ආයෝජනය යන ප්‍රධාන ව්‍යාපාරික දර්ශක සම්බන්ධයෙන් වඩාත් පුළුල් ආකාරයේ දියුණුවක් සිදු විය යුතුව තිබෙන බවත් පෙන්වා දී තිබේ. 

මේ අතර 2025 දෙවැනි කාර්තුවේදී පෙන්නුම් කළ ණය වෙත යොමු වීමේ හැකියාවේ ලිහිල්වීමත් සමගින්ම බැංකු ණය සඳහා වන ඉල්ලු‍මේ තිරසාර ඉහළයාමක් දැකගත හැකි වනු ඇතැයිද මෙම පිරිස පවසා තිබේ.

 



අදහස් (0)

තෙවැනි කාර්තුවේදී ව්‍යාපාර තත්වය තවදුරටත් ශක්තිමත්වීමේ අපේක්ෂාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site