IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


තෙල් පිරිපහදුව පුළුල් කිරීමට - න්‍යෂ්ටික බලශක්තියට සහාය වීමට රුසියාව සූදානම්

  • පැහැදිලි යෝජනාවක් ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් ඉදිරිපත්විය යුතුයි
  • බලශක්ති ක්ෂේත්‍රයට ආදාළ ගැටලු‍ කීපයක් නිරාකරණයට බලශක්ති ඇමැතිත් හමුවෙයි
  • ඇතැම් රටවල් පනවා අැති සම්බාධක හේතුවෙන් රැසියාවේ සහාය ලබා ගැනීමට අකැමැතියි
  • බටහිර රටවල් පනවා ඇති සම්බාධක හේතුවෙන් රැසියාවට මෙරටට ලබාදිය හැකි සහාය සීමාවෙලා
  • ඉල්ලීමක් ඉදිරිපත් වූවානම් රැසියාව ශ්‍රී ලංකාව බ්‍රික්ස් සංවිධානයට සාදරයෙන් පිළිගන්නවා
  • ශ්‍රී ලංකාවේ තේවලට රැසියාව තුළ තවත් වර්ධනය විය හැකියි

විමුක්ති එස්. රුද්‍රිගු


රුසියාව මෙරට තෙල් පිරිපහදුව පුළුල් කිරීමට පමණක් නොව මෙරටට න්‍යෂ්ටික බලශක්තිය ලබාගැනීමටද සහාය වීමට රුසියාව සූදානම් බවත් නමුත් ඒ සඳහා පැහැදිලි යෝජනාවක් ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් ඉදිරිපත්විය යුතු බවත් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් සෙගරායන් මහතා ප්‍රකාශ කළේය.
මෙරට බලශක්ති ක්ෂේත්‍රයට ආදාළ ගැටලු‍ කීපයක් නිරාකරණය කර ගැනීම සඳහා තමන් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා හමුවන බවද රුසියානු තානාපතිවරයා පැවැසුවේය.
ඇතැම් රටවල් පනවා ඇති සම්බාධක හේතුවෙන් රුසියාවේ සහාය ලබාගැනීමට අකැමැති බවත් ශ්‍රී ලංකාව රුසියාවේ සහාය ලබාගැනීමට සූදානම් නම් රුසියාව සෑමවිටම ශ්‍රී ලංකාවට සහාය ලබාදීමට සූදානම් බවත් මෙරට රුසියානු තානාපති ලෙවාන් සෙගරායන් මහතා පෙරේදා (30) පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවට සහාය අවශ්‍ය ඕනෑම අංශයකින් සහාය ලබාදීමට රුසියාව සූදානම් බවද ඔහු පැවැසුවේය.
එහෙත් රුසියාවට බටහිර රටවල් පනවා ඇති සම්බාධක හේතුවෙන් රුසියාවට මෙරටට ලබාදිය හැකි සහාය සීමා වී තිබෙන බවද රුසියානු තානාපතිවරයා ප්‍රකාශ කළේය.
බ්‍රික්ස් සංවිධානයේ සාමාජිකත්වය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකාව කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වූ බවට වාර්තා පළවුවත් එවැනි ඉල්ලීමක් ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් නොවූ බව තානාපතිවරයා පැවැසුවේය. එවැනි ඉල්ලීමක් ඉදිරිපත් වූවානම් රුසියාව සාදරයෙන් ශ්‍රී ලංකාව බ්‍රික්ස් සංවිධානයට පිළිගන්නා බවද ඔහු ප්‍රකාශ කළේය. එහිදී අනෙක් සාමාජිකයන්ගේ කැමැත්තද විමසා බැලිය යුතු බව ඔහු පැවැසුවේය. රුසියාවේ තෙල් මිලදී ගැනීම ඉතාමත් ලාබදායි නමුත් බටහිර රටවල සම්බාධක හේතුවෙන් බොහෝ රටවල් රුසියාවේ බොරතෙල් මිලදී ගැනීමට මැලිකමක් දක්වන බවත් නමුත් එම රටවල් තෙවැනි පාර්ශ්ව හරහා අඩු මිලකට මිලදී ගත හැකි බොරතෙල් වැඩි මිලකට මිලදී ගන්නා බවත් සෙගරායන් මහතා ප්‍රකාශ කළේය. එසේම මාස 6 ක කාලයක් එරෝෆ්ලොට් ගුවන් සේවය මෙරට සෘජු ගුවන් ගමන් අත්හිටුවීමෙන් පසුව නැවත වරක් සෘජු ගුවන් ගමන් ඔක්තෝබර් මාසයේදී නැවත ආරම්භ කරනු ඇති බවත් ඒ සමග රුසියානු සංචාරකයන් වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවත් තානාපතිවරයා පැවැසුවේය.
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වැනි සැසිවාරයේදී සෑම වාරයකදී මෙන් රුසියාව මෙවරද ශ්‍රී ලංකාවට සහාය ලබාදුන් බවත් ලෝකයේ කිසිම රටකට ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටලු‍වලට අත දැමීමට අයිතියක් නොමැති බවත් සෙගරායන් මහතා පැවැසුවේය. එසේම රුසියාවද ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටලු‍වලට අත නොදමන බව ඔහු ප්‍රකාශ කළේය.
රුසියානු හමුදාවේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වලට රුසියානු රජය සැමවිටම ස්තුතිවන්ත වන බවත් ඔවුන්ට රුසියානු රජය කිසිම බල කිරීමක් කර නොමැති බවත් රුසියානු තානාපතිවරයා පැවැසුවේය. එසේම මෙරට තේ තෙවැනි ස්ථානයට වැඩිම ප්‍රමාණයක් මිලදී ගන්නේ රුසියාව බවත් ශ්‍රී ලංකාවේ තේ වලට රුසියාව තුළ තවත් වර්ධනය විය හැකි බවත් සෙගරායන් මහතා ප්‍රකාශ කළේය.
බටහිර රාජ්‍ය ලබාදෙන පොරොන්දු කිසිම විටකත් රුසියාවට විශ්වාස කළ නොහැකි බවත් යුක්රේන යුද්ධය නැවත්වීමට නම් රුසියාවට සහතික අවශ්‍ය බවත් ඔහු පැවැසුවේය.
පාත්ෆයින්ඩර් පදනම සංවිධානය කළ වටමේස සාකච්ඡාවකදී රුසියානු තානාපතිවරයා මෙම අදහස් පළ කළේය.

 



අදහස් (0)

තෙල් පිරිපහදුව පුළුල් කිරීමට - න්‍යෂ්ටික බලශක්තියට සහාය වීමට රුසියාව සූදානම්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site