
තිළිණ සමරසිංහ
ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සන් කිරීම, වේගයෙන් වර්ධනය වන ආසියානු වෙළෙඳපොළ සමග ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීමේ වැදගත් පියවරක් ලෙස ඉදිරිපත් කෙරිණි. බටහිර වෙළෙඳපොළ මත පවතින අධික රඳාපැවතිම අඩු කිරීම, නව අපනයන වෙළෙඳපොළ විවෘත කිරීම සහ දෙරට අතර වෙළෙඳාම වැඩි කිරීම එහි ප්‍රධාන අරමුණු අතර විය.
එහෙත් ගිවිසුමක් අත්සන් කිරීමෙන් වෙළෙඳපොළකට නීතිමය ප්‍රවේශයක් ලබාගැනීම සහ එම වෙළෙඳපොළේ සැබෑ වාණිජ සාර්ථකත්වයක් ලබාගැනීම යන්න එකම කරුණක් නොවේ. තායිලන්ත ගිවිසුමේ ඇඟලුම් සම්බන්ධ විධිවිධාන විමසා බැලීමේදී පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන ක්ෂේත්‍රයට ඉක්මන් ප්‍රවේශය හෝ ප්‍රමාණවත් ලෙස වෙළෙඳපොළ විවෘත නොවන බවයි.
වසර 15කට පසුව හිමි වන තීරුබදු සහන
ශ්‍රී ලංකාවේ සමස්ත භාණ්ඩ අපනයනයෙන් සියයට 40කට වැඩි ප්‍රමාණයක් ඇඟලුම් ක්ෂේත්‍රය විසින් නියෝජනය කරයි. එබැවින් නව වෙළෙඳ ගිවිසුමක් රටේ අපනයන ආදායමට කෙටි හෝ මධ්‍ය කාලීන බලපෑමක් ඇති කිරීමට නම්, ඇඟලුම් සඳහා ප්‍රමාණවත් සහ ඉක්මන් තීරුබදු සහන ලබාදීම අත්‍යවශ්‍ය වේ.
එහෙත් තායිලන්ත ගිවිසුම යටතේ ඇඟලුම් නිෂ්පාදන කාණ්ඩවලින් සියයට 80කට වැඩි ප්‍රමාණයකට තීරුබදු සහනයක් ලබා ගැනීමට වසර 15ක් දක්වා බලා සිටීමට සිදුවේ. එම නිෂ්පාදන සඳහා ගිවිසුමේ පළමු වසරේ කිසිදු සහනයක් ලබා නොදේ.
ගිවිසුමට පෙර තායිලන්තය ආනයනික ඇඟලුම් මත අය කළ සාමාන්‍ය තීරුබදු අනුපාතය සියයට 29ක් පමණ විය. එවැනි ඉහළ තීරුබද්දක් කෙටි කාලයකදී අඩු නොවන විට, ශ්‍රී ලංකා නිෂ්පාදකයන්ට තායිලන්ත වෙළෙඳපොළේ මිල අතින් තරගකාරී වීම දුෂ්කරය.
තවත් සියයට 9ක ඇඟලුම් නිෂ්පාදන කාණ්ඩ තායිලන්තයේ ඍණ ලැයිස්තුවට ඇතුළත් කර තිබේ. නිෂ්පාදන ගණන අනුව එය සියයට 9ක් වුවද, වත්මන් අපනයන වටිනාකම අනුව ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනවලින් සියයට 30ක් දක්වා කොටසකට කිසිදු සහනයක් නොලැබිය හැකිය. මේ නිසා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම ඇඟලුම් කර්මාන්තයට ඉක්මන් අපනයන වර්ධනයක් ලබාදෙන මෙවලමක් ලෙස සැලකීම යථාර්ථවාදී නොවේ.
බටහිර වෙළෙඳපොළ සඳහා නිෂ්පාදනය කළ දේ ආසියාවටත් විකිණිය හැකිද?
ශ්‍රී ලංකාවේ අපනයන ආකෘතියේ මූලික දුර්වලතාවක් වන්නේ දශක ගණනාවක් තිස්සේ එකම භාණ්ඩ කිහිපයක් එකම වෙළෙඳපොළ කණ්ඩායමකට අලෙවි කිරීමට උත්සාහ කිරීමයි. ඇඟලුම් සහ තේ තවමත් භාණ්ඩ අපනයනයෙන් අඩකට ආසන්න කොටසක් නියෝජනය කරයි. ඇඟලුම් ක්ෂේත්‍රය විශේෂයෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ යුරෝපීය වෙළෙඳපොළ සමග ගැඹුරින් සම්බන්ධ වී තිබේ.
මෙම වෙළෙඳපොළවලට ගැළපෙන නිෂ්පාදන පිරිවිතර, වෙළෙඳ නාම සබඳතා, ඇණවුම් ප්‍රමාණ, නිර්මාණ සහ සැපයුම් ක්‍රම ගොඩනගා ඇති නමුත්, ඒවා ආසියානු වෙළෙඳපොළවල පාරිභෝගික ඉල්ලුමට ස්වයංක්‍රීයව ගැළපෙන්නේ නැත.
තායිලන්තය ආනයනය කරන භාණ්ඩවලින් සැලකිය යුතු කොටස යන්ත්‍රෝපකරණ, විදුලි උපකරණ, ඉලෙක්ට්‍රොනික කොටස් සහ කලාපීය නිෂ්පාදන දාමවල භාවිත වන අතරමැදි භාණ්ඩ වේ. ගිවිසුමට පෙර ද තායිලන්තයේ ඩොලර් බිලියන 100කට ආසන්න ආනයනවලින් අඩකට පමණ තීරුබදු රහිත ප්‍රවේශයක් තිබුණි. එහෙත් එම භාණ්ඩ කාණ්ඩ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයනවලින් නියෝජනය කරන්නේ සියයට 8 ක් පමණි. මැලේසියාවේ එම අනුපාතය සියයට 60ක් පමණ වන අතර වියට්නාමයේ සියයට 30ක් පමණ වේ.
ඒ අනුව ශ්‍රී ලංකාව මුහුණ දෙන ප්‍රමුඛතම ගැටලුව වන්නේ වෙළෙඳපොළ දොරටුව වසා තිබීම පමණක් නොව තායිලන්තය විශාල වශයෙන් මිලදී ගන්නා භාණ්ඩ ශ්‍රී ලංකාව ප්‍රමාණවත් ලෙස නිෂ්පාදනය නොකිරීම ද අප මුහුණ දෙන බැරෑරුම්ම අභියෝගයයි.
ආසියාවේ ඉල්ලුම වර්ධනය වෙද්දී ශ්‍රී ලංකාව තවදුරටත් බටහිර දෙස බලා සිටිම
1990 වසරෙන් පසු සංවර්ධනය වෙමින් පවතින ආසියාවේ ගෝලීය ආනයන පංගුව තුන් ගුණයකින් පමණ වර්ධනය වී ඇත. එම කාලය තුළ බටහිර සංවර්ධිත වෙළෙඳපොළවල ගෝලීය ආනයන පංගුව එක් ස්ථානයක පැවතීම හෝ පහළ යාම දක්නට ලැබේ. සරලව කිවහොත්, ලෝක ඉල්ලුමේ වර්ධනය නැගෙනහිර දෙසට ගමන් කරමින් පවතී.
එහෙත් ශ්‍රී ලංකාවේ අපනයනවල වැඩි කොටස තවමත් ගෝලීය ආනයන පංගුව අඩු කරගනිමින් සිටින වෙළෙඳපොළවල සංකේන්ද්‍රණය වී ඇත. මෙය ඇඟලුම් අංශයට විශේෂ අවදානමක් ඇති කරයි. ඇමෙරිකානු හෝ යුරෝපීය පාරිභෝගික ඉල්ලුමේ අඩුවීමක්, වෙළෙඳ ප්‍රතිපත්තියේ වෙනසක් හෝ නව තීරුබද්දක් ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායමට විශාල බලපෑමක් කළ හැකිය.
වියට්නාමය මීට වෙනස් උදාහරණයක් සපයයි. එය ලෝකයේ ප්‍රධාන ඇඟලුම් හා පාවහන් අපනයනකරුවකු වුවද, ආසියානු වෙළෙඳපොළට ඇඟලුම් පමණක් විකිණීමට උත්සාහ කරන්නේ නැත. ඔවුන් ඇමෙරිකාව සහ යුරෝපය වෙත ඇඟලුම් හා පාවහන් අපනයනය කරන අතර, චීනය, ඉන්දියාව සහ තායිලන්තය වැනි ආසියානු වෙළෙඳපොළට විදුලි උපකරණ සහ යන්ත්‍රෝපකරණ අමතර කොටස් අපනයනය කරයි. එනම් අපනයන වෙළෙඳපොළ විවිධාංගීකරණය සමග නිෂ්පාදන විවිධාංගීකරණයක් ද සිදුවී ඇත.
ශ්‍රී ලංකාවට ද අවශ්‍ය වන්නේ බටහිර වෙළෙඳපොළට යවන ඇඟලුම්ම ආසියාවට හරවා යැවීම පමණක් නොවේ. ආසියානු පාරිභෝගිකයාගේ ආදායම, රුචිකත්වය, කාලගුණය, ප්‍රමාණ පද්ධති, මිල සංවේදීතාව සහ අන්තර්ජාල මිලදී ගැනීමේ රටා මත පදනම් වූ වෙනම නිෂ්පාදන සහ වෙළෙඳපොළ උපායමාර්ගයක් ද අවශ්‍ය වනු ඇත.
නිදහස් වෙළෙඳ ගිවිසුමක් කර්මාන්ත ප්‍රතිපත්තියකට ආදේශකයක් නොවේ
නිදහස් වෙළෙඳ ගිවිසුමකින් තීරුබදු අඩු කළ හැකි වුවද, ශ්‍රී ලංකාවේ නිෂ්පාදන පිරිවැය, විදුලි ගාස්තු, ප්‍රවාහන කාලය, රේගු ක්‍රියාපටිපාටි, නියාමන අවිනිශ්චිතතාව හෝ තාක්ෂණික හැකියාව ගිවිසුමකින් පමණක් නිවැරදි කළ හැකි නොවේ.
ශ්‍රී ලංකාවේ කාර්මික ක්ෂේත්‍රයේ විදුලි පිරිවැය තායිලන්තය, වියට්නාමය සහ ඉන්දියාවට වඩා ඉහළ මට්ටමක පවතී. මාර්ග සහ ඩිජිටල් සම්බන්ධතාව අතින් ද ශ්‍රී ලංකාව ප්‍රධාන තරගකරුවන්ට වඩා පසුපසින් සිටී. එවැනි තත්වයකදී තායිලන්ත වෙළෙඳපොළ තීරුබද්ද අඩු වුවත්, කර්මාන්තශාලාවෙන් වරායට භාණ්ඩ ගෙනයාමේ සිට රේගු නිෂ්කාශනය සහ අවසාන බෙදාහැරීම දක්වා සමස්ත පිරිවැය තරගකාරී නොවිය හැකිය.
ලෝක වෙළෙඳ සංවිධානයේ වෙළෙඳ පහසුකම් ගිවිසුම (WTO trade facilitation agreement) ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාව 2017දී එහි එකඟතා සපුරාලීම සියයට 29ක මට්ටමක සිටි අතර 2023 වන විට එම තත්වය සියයට 31.5 ක් දක්වා පමණක් ඉහළ ගොස් තිබේ. එම කාලය තුළ වියට්නාමය සියයට 27 සිට සියයට 87 දක්වාත්, ඉන්දියාව සියයට 72 සිට සියයට 100 දක්වාත් එකඟතා සපුරාලීම අතින් ඉදිරියට ගොස් ඇත. එයින් පෙනෙන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශ කිරීම සහ ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම අතර ශ්‍රී ලංකාවේ විශාල පරතරයක් පවතින බවයි.
අපනයන ගොඩනැගීමට අවශ්‍ය ආයෝජන නොපැමිණීම
ශ්‍රී ලංකාවට ලැබෙන සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය ද කලාපීය තරගකරුවන්ට වඩා බෙහෙවින් අඩුය. අදාළ වාර්තාවේ දත්ත අනුව 2020-2021 වසරවලදී ශ්‍රී ලංකාවේ ශුද්ධ සෘජු විදේශ ආයෝජන ප්‍රවාහය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.6ක් පමණ වූ අතර වියට්නාමයේ එය සියයට 4.4ක් සහ මැලේසියාවේ සියයට 3.1ක් විය.
මේ අතර ශ්‍රී ලංකාව විසින් හිමිකර ගත් ආයෝජනවල ස්වභාවය ද කාර්මික අපනයන ආදායම් වර්ධනය නොකරන කාණ්ඩයන්ට අයත් විය. 2018-2022 අතර සෘජු විදේශ ආයෝජනවලින් වැඩි කොටසක් දේපළ සංවර්ධනය, විදුලි සංදේශ, වරාය පර්යන්ත සහ හෝටල් වැනි ක්ෂේත්‍රවලට යොමු වී තිබේ. අපනයන නිෂ්පාදනය සහ ජාත්‍යන්තරව වෙළෙඳාම් කළ හැකි සේවාවලට එකතුව ලැබී ඇත්තේ සියයට 11 ක් පමණි. රෙදිපිළි, ඇඟලුම් සහ සම් නිෂ්පාදන සඳහා ලැබුණු කොටස සියයට 8ක් පමණ වේ.
2000 වසරෙන් පසු ශ්‍රී ලංකාව තුළ ප්‍රධාන නව අපනයන සැකසුම් කලාපයක් ආරම්භ කර නොතිබීම ද අපනයන ආයෝජන සඳහා අවශ්‍ය කාර්මික ඉඩම්, පොදු පහසුකම් සහ ඒකාබද්ධ සේවා සංවර්ධනය අඩාල වී ඇති බව පෙන්වයි.
කළ යුතු ප්‍රතිපත්ති වෙනස
තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමෙන් උපරිම ප්‍රතිලාභ ලබාගැනීමට නම් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග මාර්ග දෙකකින් ඉදිරියට ගෙන යා යුතුව ඇත.
පළමුව, ඇඟලුම් ක්ෂේත්‍රයේ වෙළෙඳපොළ ප්‍රවේශය වැඩිදියුණු කළ යුතුය. වාණිජ වටිනාකම ඉහළ ප්‍රධාන ඇඟලුම් කාණ්ඩ සඳහා වසර 15ක සහන කාලය යළි සමාලෝචනය කිරීම, ඍණ ලැයිස්තුවේ බලපෑම අඩු කිරීම සහ සරල, ප්‍රායෝගික මූලාරම්භක නීති ඇති කිරීම ඉදිරි සාකච්ඡාවල ප්‍රමුඛතා විය යුතුය.
දෙවනුව, රට තුළ අපනයනය ඉලක්ක කර ගත් නීති ප්‍රතිසංස්කරණ කළ යුතුය. ඒ සඳහා රේගු සහ අනෙකුත් දේශසීමා ආයතන ඒකාබද්ධ කරන ඩිජිටල් ජාතික තනි කවුළු පද්ධතියක්, නිශ්චිත කාලසීමාවක් සහිත වෙළෙඳ පහසුකම් වැඩසටහනක්, ස්ථාවර බදු සහ නියාමන ප්‍රතිපත්තියක්, තරගකාරී බලශක්ති පිරිවැයක් සහ අපනයන ආයෝජකයන්ට සූදානම් කාර්මික කලාප ඇති කිරීම ආදී අපනයනාභිමුඛ ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුව ඇත.
ඇඟලුම් කර්මාන්තය ද බටහිර සන්නාම සඳහා වටිනාකම් එකතුකිරීමෙන් ඔබ්බට ගමන් කළ යුතුය. ආසියානු වෙළෙඳපොළ සඳහා නිර්මාණය කළ කලාපීය නිෂ්පාදන, තිරසර සහ විශේෂිත ඇඟලුම්, තාක්ෂණික රෙදිපිළි, සෞඛ්‍ය හා ක්‍රීඩා ඇඳුම්, ඩිජිටල් අලෙවිකරණය සහ ශ්‍රී ලාංකික සන්නාම සංවර්ධනය මෙහි කොටස් විය යුතුය.
තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම ප්‍රතිඵල විරහිත ගිවිසුමක් නොවේ. එය ශ්‍රී ලංකාව ආසියානු ආර්ථිකය සමග වඩාත් ගැඹුරින් සම්බන්ධ වීමට ලබාගත් වැදගත් දොරටුවකි. එහෙත් විශේෂයෙන් ඇඟලුම් ක්ෂේත්‍රයට එම දොරටුව සම්පූර්ණයෙන් විවෘත වීමට වසර 15ක් දක්වා ගතවිය හැකිය.
ඊටත් වඩා වැදගත් කරුණ වන්නේ, දොරටුව විවෘත වූ විට ඒ හරහා ගෙන යා හැකි තරගකාරී නිෂ්පාදන ශ්‍රී ලංකාව සතුව තිබේද යන්නයි.
වෙළෙඳ ගිවිසුම්වලින් වෙළෙඳපොළ ප්‍රවේශය ලබාගත හැකිය. එහෙත් වෙළෙඳපොළ ජයග්‍රහණය ලබාගත හැක්කේ නිෂ්පාදන විවිධාංගීකරණය, අපනයන කේන්ද්‍රීය ආයෝජන, අඩු වෙළෙඳ පිරිවැය, කාර්යක්ෂම රේගු පද්ධතිය සහ ස්ථාවර ප්‍රතිපත්ති පරිසරයක් මගින් පමණි.
එම දේශීය ප්‍රතිසංස්කරණ නොමැතිව තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම පමණක් නොව, අනාගතයේ අත්සන් කරන වෙනත් ඕනෑම නිදහස් වෙළෙඳ ගිවිසුමක් ද අපේක්ෂිත අපනයන ප්‍රතිඵල ලබාදීමට අපොහොසත් වනු ඇත.

තායිලන්ත නිදහස් වෙළද ගිවිසුම හෙළි කරන ශ්‍රී ලංකාවේ අපනයන ප්‍රතිපත්ති හිඩැස