IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


තියුණු ස්වභාවය ආරක්ෂා කරගන්නා ලකුණු

තව දුරටත් තියුණු ස්වභාවය ආරක්ෂා කරගැනීම සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සූදානම්ව සිටින බවක් ඊයේ (ඔක්.15) ගනුදෙනු අවසානයේ දී නිරීක්ෂණය කළ හැකි විය. පූර්ව භාගයේ දී වර්ධනයක් කරා ගමන් කරන ලද අතර පසුව එය ක්‍රමයෙන් දර්ශක දුර්වල කරන ස්වභාවයකට හැරිණි. කෙසේ වෙතත් මිල ගණන් අවම ඉල්ලුම් සඳහා ස්වකීය කොටස් විකුණා දමන හදිසි සූදානමක් ගනුදෙනුකරුවන්ට නොතිබුණ බව පැහැදිලිය. ඇතැම් සුළු ආයෝජන අංශ දර්ශක පහතවැටීම හමුවේ වහාම සිය කොටස් විකිණීමට ඉදිරිපත් වූ නමුත් බහුතරයක් ගනුදෙනුකරුවන් තද ස්ථාවරයක පසුවන බව සඳහන් කළ හැකිය.
ගනුදෙනු අවසන් වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 22,292.28 ක් දක්වා පහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 80.29 ක පිරිහීමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6,210.11 ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 15.41 ක පහළ වැටීමක් සේ වාර්තා වේ. දෛනික පිරිවැටුම රු. බිලියන 5.43 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 42,878 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 314.5 ක් විය. සමාගම් 125 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 133 කි. මිල දී ගැනීමේ ප්‍රවණතාව සියයට 57.2 ක විය.
ප්‍රවාහන, ප්‍රාග්ධන භාණ්ඩ, රථ වාහන, සිල්ලර වෙළෙඳාම, පාරිභෝගික සේවා, ආහාර පාන, බැංකු සහ මෘදුකාංග සේවා යන ක්ෂේත්‍ර පිරිහීමක් පෙන්නුම් කළේය. රක්ෂණ, සන්නිවේදන, වාණිජ හා ෆිනෑන්ස්, සෞඛ්‍ය හා සත්කාරක, ගෟහ මෙවලම් ඇතුළු ක්ෂේත්‍ර පිබිදීමක පසුවිය. කලම්බු ඩොක්යාඩ් කොටස් හිමියන්ට ලබාගත හැකි පරිදි කොටස් නිකුතුවකට සූදානම් වේ. මෙදින ගනුදෙනුවල දී කොටසක මිල රු. 146.00 දක්වා ඉහළ ගියේය.
ඩයලොග් ආසියාටා රු. මිලියන 324 ක්, මර්චන්ට් බැංක් ඔෆ් ශ්‍රී ලංකා රු. මිලියන 255 ක්, හේමාස් හෝල්ඩිං රු. මිලියන 182 ක්, පීපල්ස් මර්චන්ට් රු. මිලියන 179 ක්, සිටිසන් ඩිවෙලොප්මන්ට් රු. මිලියන 152 ක්, පෑන් ඒෂියා පවර් රු. මිලියන 147 ක්, එල්. බී, ෆිනෑන්ස් රු. මිලියන 141 ක්, හැටන් නැෂනල් ෆයිනෑන්ස් රු. මිලියන 133 ක්, සර්වෝදය ඩිවෙලොප්මන්ට් රු. මිලියන 131 ක් වින්ඩ්ෆෝස් රු. මිලියන 128 ක් සහ ඩී.එෆ්.සී.සී. බැංකුව රු. මිලියන 125 ක් වශයෙන් වැඩිම පිරිවැටුමක ක්‍රියාකාරීත්වයක් දැක්විය.
නිරීක්ෂක



අදහස් (0)

තියුණු ස්වභාවය ආරක්ෂා කරගන්නා ලකුණු

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site