
සාරා කන්දෙගොඩ
ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා රජය සැලකිය යුතු වෑයමකින් ක්‍රියා කරමින් සිටී. රජයට අයත් දෙපාර්තමේන්තු හා ආයතනවල ගෙවීම් අන්තර්ජාලය මගින් පහසුවෙන් කරන අතර මහජන සේවා සම්පාදනය එහි අරමුණ වී තිබේ. ජන ජීවිතය සුමට කරන පියවර ඔස්සේ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඉලක්ක කර ඇත. දැනටමත් රජයේ ආයතන ගණනාවක සේවා අන්තර් ජාල ගෙවීම් මගින් කරගත හැකි වේ.
වසර හතරක් තුළ ඩිජිටල් ආර්ථිකය ඇමරිකානු ඩොලර් බිලියන තුනක සිට පහළොවක් දක්වා නංවන්නට ඉලක්ක කරන අතර දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් සියයට තුනක සිට සියයට දොළහ දක්වා වැඩි කරගැනීමට සැලසුම් කර ඇත. විශ්වාසදායක කාර්යභාරයක් අරමුණු කරගෙන ඉදිරියට යන ඩිජිටල් සැලැස්මට අභියෝග ගණනාවක් බව පෙනේ. තාක්ෂණය සඳහා කළ යුතු ආයෝජනය සුළු නැත. ක්‍රමවේදය දියුණුවන අතර එහි ආරක්ෂාව සඳහා තවත් පියවරවලින් සන්නද්ධවීමට සිදුවේ. කුඩා ආර්ථිකයක් සහිත රටට පහසු නැත.
ඩිජිටල් ගමන තිබිය දී පසුගිය සති දෙකකට වැඩි කාලයක් ලංකා ගවන්මන්ට් ක්ලවුඩ් සේවාව බිඳ වැටී තිබුණි. වරද කොතැනක ද යන්න නිවැරදිව හඳුනාගැනීමට තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය අසමත් නමුත් දැන් සියලු පද්ධති යථා ස්වභාවයට පැමිණ ඇති බව නිවේදනය කරයි. ක්ලවුඞ් අකර්මණ්‍යතාව සමග රජයේ ආයතනවල වෙබ් අඩවි සහ සේවා දෙපාර්තමේන්තු හතළිහක් පමණ අඩපණ වී තිබුණි.
අනාරක්ෂිත තත්වයක් හෝ දත්ත අස්ථානගතවීමක් නැත
රජය නිවේදනය කරන පරිදි ක්ලවුඩ් සේවා බිඳවැටීමට හේතුව දත්ත විනාශවීමක් පදනම් කරගෙන නොවේ. අනෙක් අතට ආරක්ෂිත පද්ධතිවලට හානිවීමක් නොවන බව ද දක්වයි. උපත් විවාහ හා මරණ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, පොලිස් වාර්තා නිකුත් කිරීමේ අංශය, වාණිජ දෙපාර්තමේන්තුවේ කොටසක් අඩපණ විය. විශ්‍රාම වැටුප්, පළාත් පාලන දෙපාර්තමේන්තුව, කාලගුණ විද්‍යා අංශය ප්‍රධානය. එල්කේ වලින් අවසන්වන අමාත්‍යංශ වෙබ් අඩවි ප්‍රමාණයක් ද තාවකාලිකව අවහිර වී තිබුණි.
තොරතුරු නියෝජිතායතනය සහ ඩිජිටල් අමාත්‍යංශය අතර වගකීම් සම්බන්ධ පරස්පරතා මෙම අවහිරතාවට සාධක විය හැකි බවට ඉඟි පළ වී තිබේ. අලුත් ව්‍යුහයකට ඇතුළුවන පසු ඒවායේ පසුවිපරම ඉතා වැදගත්ය. තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයෙන් පවරාගැනීමේ දී සම්බන්ධිත අංශ ගැන තියුණු විමසිල්ලක් තිබිය යුතුය. 2021 හා 2022 වසරවල ද මෙවැනි බිඳවැටීම් වාර්තා වී ඇත. හිටපු ජනාධිපතිවරයකු ජනාධිපතිධුරය හොබවන විට ඔහුගේ වෙබ් අඩවියේ සිට මෑතක දී රජයේ මුද්‍රණ සංස්ථාවේ වෙබ් අඩවිය දක්වා ආක්‍රමණිකයන්ට ගොදුරු වූ අවස්ථා ගණනාවකි. මෙම සිද්ධි සුළු පටුකොට තැකිය යුතු නැත. ජනතාව අවහිරතාවලට මුහුණ දුන් අතර ඔවුහු විකල්පක්‍රම සඳහා විශාල පිරවැයක් දරන ලද බව සඳහන් කළ යුතුව තිබේ.
රජයේ සේවා බිඳවැටීම සමග උද්ගත වූ නෛතික ස්වභාවය ඉතා සැලකිල්ලෙන් කටයුතු කළ යුතු බව දක්වයි. රථ වාහනවල බලපත්‍ර සම්බන්ධ නීති ලිහිල් කරන්නට පොලිසියට සිදු වූ අතර උපත්, විවාහ හා මරණ සහතිකවල පිටපත් විවිධ ක්‍රමවේද යටතේ වලංගු ඒවා සේ සලකන්නට අදාළ අංශවලට සිදුවිය.
සයිබර් අපරාධ හා ඩිජිටල් පහසුවට ගෙවන වන්දිය
ශ්‍රී ලංකාව ඩිජිටල් යුගයකට ඇතුළුවන අතර සයිබර් අපරාධවලින් ගැලවීම සඳහා වසරකට ඇමරිකානු ඩොලර් මිලියන හාරසිය පනහක් හෝ බිලියනය අතර ගණනක් වැය කිරීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇති බව ආසියානු සංවර්ධන බැංකුව පසුගිය දා ප්‍රකාශ කළේය. ඩිජිටල්කරණය ඉතා වැදගත් අතර ආක්‍රමණිකයන්ගෙන් පරෙස්සම ද එයට සමාන්තර බව කොළඹ දී පැවැති සැසිවාරයක දී සඳහන් කර තිබේ.
ඩිජිටල් යුගයේ දී සයිබර් ප්‍රහාරවලින් ගැලවීම සඳහා දැනුම්වත් කිරීම අතරවාරයේ අනාවරණය කරන ලද කරුණු සලකා බලන පසු ඇමරිකානු ඩොලර් බිලියනයක විනිමය ප්‍රමාණය පහසුවෙන් ඉහිලිය නොහැකි ධනයක් බව සඳහන් කළ යුතුව තිබේ. ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට පසු ස්ථාවර වී සිටින අතර වසරකට මෙපමණ විනිමය ප්‍රමාණයක් සයිබර් ආරක්ෂාව සඳහා වෙන් කරන්නට නොහැකිවුවහොත් ඇතිවිය හැකි විපාක ගැන අවධානයක් අවශ්‍යය.
පරිගණක හා ඒවායේ දත්ත ගබඩා කාර්ය පහසු කරන නමුත් එය හා සමානව අවදානමක් තිබේ. අන්තර් ජාතික වාර්තා අනුව ලෝකයේ සයිබර් අපරාධ සම්බන්ධ වෙනම ආර්ථිකයක් බිහි වී ඇත. පද්ධති සකස් කරන සමාගම් ඒවා ආක්‍රමණයට ද උපාංග නිර්මාණය කරන බව පෙනේ. ආක්‍රමණ වැළැක්වීමට පියවර ගත යුතුය. එය දැවැන්ත වෙළෙඳ අවකාශයකි. මෙම වපරිසය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 10.5 ක් දක්වා ඉහළට ගොස් ඇත. පරිගණක අපරාධ සම්බන්ධ පිරිවැය වාර්ෂිකව සියයට 15 කින් ඉහළ යන බව දැක්වේ. 2020-30 වන විට එය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 20-30 අතර ගණනක් විය හැකි බව පර්‌යේෂණ වාර්තා අනාවරණය කර ඇත. ඩිජිටල්කරණය හා සමානව එම පහසුව වෙනුවෙන් විශාල ආරක්ෂණ පද්ධති අවශ්‍ය කෙරේ. මෙම පද්ධතිවල ආරක්ෂණ ක්‍රම, ඒවා සකස්කරන විශේෂඥ දැනුම සඳහා කරන ආයෝජනය හා අවශ්‍ය මානව සම්පත ඉතාම බරපතළ කරුණු බව සඳහන් කළ යුතුවේ. පසුගිය දා මෙරට ක්‍රමවේද අඩාලවීම ඉදිරියේ මෙම පැතිකඩ ගැන වෙනම කල්පනා කරන්නට සිදුවනු ඇත.
අනාගත පැතිකඩ ගැන විමසිම කාලෝචිතය
ලෝක ආර්ථික සංසදය දක්වන පරිදි ඉදිරි වසර පහ ඇතුලත ලෝක ආර්ථිකය ඉතා වේගයෙන් තොරතුරු තාක්ෂණ යුගයකට ඇතුළු වේ. දැනට පවතින කම්හල්වලින් සියයට හැත්තෑ පහක් පරිගණක පද්ධති, රොබෝ තාක්ෂණය හා ඩිජිටල් ක්‍රමවේදවලට ඇතුළු වේ. ඊ කොමස් හා ඩිජිටල් වෙළෙඳාම සාමාන්‍ය දෙයක් බවට පත්වනු ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව පවා ඩිජිටල් ගනුදෙනු සඳහා ජනතාව නැඹුරු කිරීමට සූදානම්ය. මෙම ගනුදෙනු සමග බැංකුවල අවශ්‍යතාව අවම වන තැනකට පත්විය හැකිය. ගවන්මන්පේ ඇප් හරහා රථවාහන දඩගෙවීමට ඉඩදීම මෙහි සාක්ෂියකි. පසුගිය මාස දෙක ඇතුළත බස්නාහිර පළාත, දඹුල්ල හා අනුරාධපුර දිස්ත්‍රික්කවල රථවාහන දඩ නිකුත් කිරීම් අවස්ථා විසි දහසක් පමණ තැපැල් කාර්යාලය භාවිත නොකර දඩ ගෙවා ඇත. එය මිලියන තිහකි. සාමාන්‍යයෙන් තැපැල් දෙපාර්තමේන්තුව දඩ මුදල් හැසිරවීම සඳහා කොමිස් අය කරන අතර එම ආදායම අහිමිවන ශ්‍රී ලංකා තැපැල් ආදායම තවත් වටයකින් අඩුවිය හැකිය.
ඩිජිටල් සේවා පවත්වාගෙන යෑම, පද්ධති නඩත්තුව සහ ආක්‍රමණිකයන්ගෙන් ගලවා ගැනීම පමණක් නොව ඩිජිටල් භාවිතයට එන පසු සාමාන්‍ය රජයේ සේවා මුහුණ දෙන ඉරණම ගැන සමාලෝචනයකට යා යුතුව තිබේ. මහජනතාව ඩිජිටල් ක්‍රමවේදවලට තල්ලු කරන පසු යාවත්කාලීන කර සූක්ෂමව පවත්වාගෙන යා යුතුවේ. ටින් අංකය සඳහා අන්තර් ජාලයෙන් ලියා පදිංචිවන සේ නියම කරන නමුත් විශාල ප්‍රවේශ ප්‍රමාණයක් සමග පද්ධති අවහිර විය. පසුව අංක නිකුත් කිරීම වෙනුවට බැංකුවල රඳවා ගැනීමේ බද්ද අය කිරීමේ දී පවා ගැටලු ඇති කෙරිණ. එකක් පහසුකරන අතර දෙකක් අවහිරතා නොවන පරිදි සැලසුම් කිරීමට රජය වගබලාගත යුතුවේ.
රජයේ සේවයේ අතිරික්තයක්
ආණ්ඩුව රාජ්‍ය සේවය කඩිනම් කිරීම හා එහි දුබලතා අවම කිරීමට වෑයම් කරමින් සිටී. රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරන අතර එය ඔවුන්ගේ කාර්යක්ෂමතාව නංවන උපාය මාර්ගයක් බව පැහැදිලිය. ඩිජිටල්කරණය සමග රජයේ සේවක අතිරික්තයක් ඇති විය හැකිය.
මහජනතාවට වැඩකටයුතු කරගත හැකි පරිදි සේවා අංශ අන්තර් ඩාල දොරටුවලට පවනුරන පසු කාර්යාලවලට එන රජයේ සේවකයන්ට කරන්නට දෙයක් නැත. දෙපාර්තමේන්තු හෝ සංස්ථාවල අංශ ගණනාවක් අනවශ්‍ය ඒකක බවට පත්වේ.
ලෝක ආර්ථික සංසදය අනාවරණය කරන පරිදි ඩිජිටල්කරණය හේතු කරගෙන විශේෂිත අංශවලට අයත් රැකියා මිලියන හැට නවයක් පමණ අවශ්‍ය විය හැකිය. එහෙත් මිලියන අසූ තුනක ගේ රැකියා ඉදිරිවසර පහක දී අවදානමකට පත්වේ. අවසානයේ දී දැනට රැකියා කරන පිරිසෙන් සියයට දෙකක පිරිසක සිය වෘත්තියෙන් සමුගන්නට සිදුවනු ඇත.
ශ්‍රී ලංකාවේ තත්වය සමග සසඳන පසු දැනට රජයේ හා පෞද්ගලික අංශයේ සේවය කරන සියයට දෙකකට අවස්ථාව අහිමි වුවහොත් විරැකියාව සියයට හය දක්වා වැඩිවිය හැකිය.
විදේශගතව රැකියා කරන පිරිස ද මෙම අවදානමට ගොදුරුවනු නිසැකය. ඔවුහු ආපසු පැමිණීම රට තුළ සංකීර්ණ තත්ව ඇති කරන්නට ඉඩ ඇත. රටට විනිමය ආදායම අඩුවන අතර මෙරටට එන අය සඳහා රැකියා උත්පාදනය කරන්නට සිදුවේ.
ඩිජිටල් ක්‍රමවේද ගැන නිසි පුහුණුවක්
ශ්‍රී ලංකාවට පරිගණක හඳුන්වා දූන් මුල් කාලයේ එතෙක් ටයිප් රයිටර්වලින් කටයුතු කරමින් සිටි පිරිසට පුහුණුවක් සැපැයිය යුතු විය. එහි දී මූලික ආකෘතිය වෙනස් කිරීම සඳහා අලුත් පරම්පරාවක් බඳවාගැනීම තෙක් කල් ගිය බව මතක් කළ හැකිය.
ඩිජිටල් ආර්ථිකයකට ඇතුළුවන පසු දැනට සේවය කරන වෘත්තිකයන්ට නවීන සේවය ගැන පුහුණුවක් දෙන්නට සිදුවේ. ඉදිරි වසර පහ ඇතුළත වෙනස්වන තත්ව සලකාබලන පර්‌යේෂණ අංශ ඔවුන්ගේ සමීක්ෂණ වාර්තා පදනම් කරගනිමින් අලුත් අනාවරණයක් කර ඇත.
වෘත්තිකයන් දහ දෙනකුගෙන් හය දෙනකුට වසර 2027ට කලින් ඩිජිටල් වැඩකිරීම ගැන පුහුණුවකට සූදානම් කළ යුතුවේ. එදිදෙනා රාජකාරි කරන අතරවාරයේ මෙම ඉලක්ක සාක්ෂාත් කරගත නොහැකි බව ආයතන 803ක් ඇසුරෙන් කරන ලද සමීක්ෂණයක් හෙළිදරව් කරයි.
දත්ත විශ්ලේෂණය, නිර්මාණාත්මක හැකියාව, කෘතිම බුද්ධිය හා බිග්ඩේටා වැනි අංශවල දැනුම ලබාගැනීමට සිදුවන අතර දැනට සිටින පිරිසකගෙන් හරි අඩකට වඩා මෙම කාලය තුළ පුහුණු වැඩසටහන් අවසන් නොකරනු ඇති බව ද අනාවරණය කරයි.
දියුණු රටවල දියුණු කර්මාන්ත හා ව්‍යාපාරික අංශ සිය තරගකාරීත්වය සලකා වේගයෙන් පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරන්නට ඉඩ තිබේ. ඒ සඳහා ආයෝජනය කිරීමට ප්‍රමාණවත් සම්පත් ඇත.
විශේෂ ව්‍යාපෘති සේ සලකා අරමුදල් නිදහස් කරනුඇතැයි සැලකේ. දියුණුවෙමින් හා නොදියුණු රටවල් නැවත වතාවක් ඩිජිටල් දරිද්‍රතාවකට ගොදුරුවිමට ඉඩ තිබේ. එය ඉතා කර්කෂ තත්ව නිර්මාණය කරනු ඇත.
ශ්‍රී ලංකාවට ඩිජිටල් ක්‍රමවේද සඳහා ආයෝජනය කරන්නට සිදුවන අතර ඒවායේ අවදානම නතරකිරීමට, පද්ධති ආරක්ෂාව හා අක්‍රමණිකයන්ගෙන් ගැලවීම අරමුණු කරගෙන ආයෝජනයක් අවශ්‍ය කෙරේ. අනෙක් පැත්තකින් දැනට සේවයේ නිරත පිරිස පුහුණු කරන අභියෝගයක් තිබේ.
ඩිජිටල් තත්ව යටතේ රැකියා අහිමිවන පිරිසට සමාජ ආරක්ෂණ ක්‍රමවේද සකස් කිරීම ද පහසු කටයුත්තක් නොවේ. ඩිජිටල් ක්‍රමවේදවල අනෙක් පැත්ත ද සලකා බැලිය යුතුය. වසර හතරක් තුළ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට දොළහ දක්වා ඩිජිටල් ආර්ථිකයක් සකස් කරන පසු එයට කැප කරන්නට සිදුවන පැතිකඩ විශේෂ අවධානයකට ගැනීම සුදුසුය.
ඩිජිටල් අවදානම අවම කරන පියවරක අවශ්‍යතාව