IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ජපානයේ Terra Motors සමාගමෙන් ලංකාවට විද්‍යුත් ත්‍රිරෝද රථයක්

එක්වරක් බැටරිය ආරෝපණය කිරීමෙන් පසු කි.මී. 200ක් දක්වා ධාවනයක්

පැය හතරකදී බැටරිය සම්පූර්ණයෙන් ආරෝපණය කිරීමේ හැකියාව


ජපානයේ ප්‍රමුඛතම විද්‍යුත් වාහන නිෂ්පාදන සමාගමක් වනTerra Motors සමාගම විද්‍යුත් ත්‍රිරෝද රථයක් සමගින් මෙරට වෙළෙඳපොළට පිවිසෙන බව පසුගියදා නිවේදනය කළේය. කියෝරෝ (Kyoro) ලෙසින් නම්කර ඇති මෙම විද්‍යුත් ත්‍රිරෝද රථය මගී ගමනාගමනය මෙන්ම භාණ්ඩ ප්‍රවාහනයට ද ගැලපෙන ලෙස නිමවා තිබේ. 

පැයට කි.මී. 55කට වැඩි උපරිම වේගයක් සහිත මෙම ත්‍රිරෝද රථයට, එක්වරක් බැටරිය ආරෝපණය කිරීමෙන් පසු කි.මී. 200ක් දක්වා ධාවනය කළ හැක. කිලෝ වොට් 11.7 ධාරිතාවක් එහි බැටරියක් සතු අතර වේග දෙකේ ගියර් කට්ටලය මගින් පහසුවෙන් කඳු තරණය කිරීමට සමත්ය. එමෙන්ම පැය හතරකදී බැටරිය සම්පූර්ණයෙන් ආරෝපණය කළ හැකි බැවින් අඩු මෙහෙයුම් වියදමක් සමගින් ත්‍රිරෝද රථය මගින් ආදායම් ඉපැයීමේ කාලය වැඩිකර ගැනීමට ද අවස්ථාව තිබේ. 

Kyoro යනු විශේෂයෙන්ම ආසියානු සහ අප්‍රිකානු කලාපය තුළ තිරසර, පිරිමැසුම්දායී සහ උසස් ප්‍රමිතියේ ප්‍රවාහන විසඳුම් හඳුන්වාදීමට Terra Motors සමාගම විසින් ගනු ලැබූ උත්සාහය මල්ඵල ගැන්වීමක් ලෙස පෙන්වා දිය හැක. මෙම වර්ධනීය ගමන්මඟේ තවත් එක් සුවිශේෂී පියවරක් ලෙස Kyoro වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ බෙදාහැරීම් නියෝජිතයන් පත් කිරීමට ද සමාගම මේ වනවිට කටයුතු කරමින් සිටී. 

පිරිමැසුම්දායී බව, කාර්යක්ෂමතාව සහ ගතිකත්වය සමගින් Kyoro ත්‍රිරෝද රථය ලංකාවේ ද විවිධ ප්‍රවාහන අවශ්‍යතා වෙනුවෙන් කදිම විසඳුමක් බවට පත්වනු නිසැකය. සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් පරිසර හිතකාමී ත්‍රිරෝද රථයක් ලෙස ද, භාණ්ඩ ප්‍රවාහන රථයක් ලෙස ද, විද්‍යුත් වාණිජ අංශයේ ප්‍රවාහන විසඳුමක් ලෙස ද නාගරික සහ වාණිජ ප්‍රවාහනයට Kyoro දැවැන්ත දායකත්වයක් සපයනු ඇත. 

“ජපන් සමාගමක් ලෙස අප සතු නවීන තාක්ෂණය සහ විශ්වසනීය ඉංජිනේරුවේදය තුළින් නිර්මාණය කළ Kyoro ත්‍රිරෝද රථය ලංකාවට හඳුන්වාදීමට ලැබීම ගැන අපි මහත් සතුටට පත් වෙනවා. ආසියාවේ තිරසර ප්‍රවාහන කර්මාන්තය ප්‍රතිනිර්මාණය කිරීමේදී, ලංකාව එහි සුවිශේෂී වෙළෙඳපොළක් ලෙස අපි හඳුනාගෙන තිබෙනවා. Kyoro ත්‍රීරෝද රථය එළිදැක්වීමත්, දේශීය හවුල්කරුවන් සමග එක්වීමෙන් අපි, රැකියා උත්පාදනයටත්, ඉන්ධන මත රඳාපැවැත්ම අඩු කිරීමටත්, පිරිසුදු සහ කාර්යක්ෂම ප්‍රවාහන පද්ධතියක් බිහි කිරීමටත් අපේක්ෂා කරනවා,” යනුවෙන් Terra Motors සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ගෝ සුසුකි මහතා ප්‍රකාශ කළේය. 



අදහස් (0)

ජපානයේ Terra Motors සමාගමෙන් ලංකාවට විද්‍යුත් ත්‍රිරෝද රථයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site