IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානයේ කවුන්සිල අසුනක් දිනාගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවටත්


ජාත්‍යන්තර වශයෙන් සිවිල් ගුවන්සේවා කර්මාන්තය නියාමනය කරනු ලබන ආයතනය වන ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානයෙහි (ICAO) කවුන්සිලයේ ආසනයක් වෙනුවෙන් ප්‍රථම වරට තරග වැදීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවන බව සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා පවසයි.

පසුගිය දා කැනඩාවේ මොන්ට්‍රියෝල් හි දී නිමාව දුටු, ICAO හි 42 වන මහා සභා සැසිවාරය අතරතුර දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම අවස්ථාවට සහභාගී වූ වරාය සහ ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු ජනිත රුවන් කොඩිතුවක්කු, සිවිල් ගුවන්සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් දමින්ද රඹුක්වැල්ල යන මහත්වරුන් ICAO සංවිධානයේ මහා ලේකම් ජුවාන් කාලෝස් සලසාර් මහතා හමුවීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම අවස්ථාව ඉදිරි මහා සභා සැසිවාරයේ දී හිමිවනු ඇත.

මෙම හමුවේ දී ශ්‍රී ලංකාව ගුවන්සේවා ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් ගෙනයන ප්‍රශස්ථ වැඩපිළිවෙළ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බඳුන් වී ඇති අතර ගුවන් නිරුපද්‍රිතතාව වෙනුවෙන් ශ්‍රී ලංකාව කලාපයේ ඉදිරියෙන්ම කටයුතු කිරීම පිළිබඳව මහා ලේකම්වරයා සිය ප්‍රසංසාව පළකර ඇත. 

එමෙන්ම වෙනත් රටවලට මෙන් ICAO ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ ශ්‍රී ලංකාව සඳහා ද කාර්යාල පරිශ්‍රයක් වෙන්කිරීම, ජාත්‍යන්තර ගුවන්සේවා වෘත්තීය විශේෂඥයන්ගේ සම්පත් දායකත්වය පුහුණු වැඩසටහන් සඳහා ලබාගැනීම, ඉදිරියේ දී ශ්‍රී ලංකාව අරමුණු කර එම සංවිධානය විසින් පැවැත්වීමට සැලසුම් කරන ජාත්‍යන්තර විගණනය සඳහා අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබාගැනීම කෙරෙහි ද මෙම හමුවේ දී අවධානය යොමුවිය. 

මෙම අවස්ථාවේ දී මහ ලේකම්වරයා විසින් ICAO විසින් ඉදිරි වසර 25 වෙනුවෙන් නිකුත් කර ඇති උපායමාර්ගික සැලසුම සහිත ග්‍රන්ථය නියෝජ්‍ය ඇමැතිවරයා වෙත ප්‍රදානය කරන ලද අතර මෙම සාකච්ඡාවට ICAO සංවිධානයේ ආසියානු සහ ශාන්තිකර කලාපීය කාර්යාලයේ කලාපීය අධ්‍යක්ෂ ටාඕ මා මහතා ද එක්විය.

 



අදහස් (0)

ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සංවිධානයේ කවුන්සිල අසුනක් දිනාගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවටත්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site