අනුර කුමාර දිසානායක, 2024 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකා ජනාධිපති ලෙස තේරී පත් වූ දා සිට, ඔහු රාජ්‍ය සංචාර හතරක් සිදු කර ඇත. ඒ පළමුව ඉන්දියාවට, පසුව චීනයට, එක්සත් අරාබි එමීර් රාජ්‍යයට සහ වියට්නාමයට යි. මෙම ගමන් විස්තරයෙන් ජාත්‍යන්තර ආර්ථිකයේ තත්වය සහ ඒ තුළ ණය බරින් මිරිකී ඇති ශ්‍රී ලංකාවේ විකල්ප පිළිබඳව බොහෝ දේ කියයි.
මෙම රටවල්වලින් දෙකක් වන ඉන්දියාව සහ චීනය 2009 දී BRICS පිහිටුවීමේ ආරම්භක සාමාජිකයන් විය. එක්සත් අරාබි එමීර් රාජ්‍යය 2024 දී නිල වශයෙන් BRICS සංවිධානයට සම්බන්ධ වූ අතර, එම වසරේම හවුල්කාර රටක් වීමට වියට්නාමයට ආරාධනා ලැබුණි. මෙම රටවල් ජාත්‍යන්තර ආර්ථික වර්ධනයේ එන්ජින් වේ. ජාත්‍යන්තර ශ්‍රම විභජනය නැවත හැඩගැස්වීමට පටන් ගෙන ඇති ඔවුන්, සෙමින් සෙමින් එහි ආයතනික උපරිව්‍යුහය නැවත හැඩගැස්වීමට උත්සාහ කරමින් සිටී.
දිසානායකගේ ගමන් විස්තරයේ ඇතැම් රටවල් නොමැති වීම ද කැපී පෙනෙන අතර, උදාහරණයක් ලෙස න්‍යාය පත්‍රයේ ජී 7 රටවල් නොතිබුණි. ඇමරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ අපනයනවලින් සියයට 50කට වඩා වැඩි ප්‍රමාණයක් සිදු කරයි. නමුත් ආරක්ෂණවාදය, පාරිභෝගික විශ්වාසය පහත වැටීම සහ සැබෑ ආයෝජන නොමැතිකම ශ්‍රී ලංකාවට එහි සංවර්ධනය සඳහා දකුණට හැරවීමට බල කරයි.
සුළං හමන දිශාවට නැමීම
1967 වසරේදී සිංගප්පූරු ජනාධිපති ලී ක්වාන් යූ සඳහන් කළේ, අලුතින් ස්වාධීන වූ බොහෝ රාජ්‍යයන්හි, දැඩි බලය හමුවේ “ප්‍රතිරෝධය දැක්වීමේ කැමැත්ත” බොහෝ විට දියවන බවයි. කෙසේ වෙතත්, මෙම රාජ්‍යයන් බොහොමයක් “උණ බම්බුව මෙන් සුළඟ සමඟ නැමෙනු ඇත... නැගෙනහිර සුළඟ බටහිර සුළඟට වඩා තදින් නැමෙන බව පෙනේ නම්, සුළඟ පැමිණීමට පෙර පවා මිනිසුන් ඒ ආකාරයෙන් නැමීමට පටන් ගනී...” යනුවෙනි.
සීතල යුද්ධය අතරතුර යූ, අග්නිදිග ආසියාව ගැන කතා කළ නමුත්, ඔහුගේ වචන අද නව සීතල යුද්ධයේදී ශ්‍රී ලංකාව වැනි රටවලට හොඳින් අදාළ විය හැකිය. ගෝලීය දකුණේ ක්‍රියාකාරීන් සමඟ ශ්‍රී ලංකාවේ වත්මන් සම්බන්ධතාව බැන්ඩුං ආත්මයේ උසස් පරමාදර්ශවලට වඩා ද්‍රව්‍යමය අවශ්‍යතා මගින් සංලක්ෂිත වේ. 2022 දී ශ්‍රී ලංකාව බාහිර ණය ගෙවීම පැහැර හැරීමෙන් පසු රටේ ආර්ථිකය දුර්වලව පවතී. නිෂ්පාදන අංශය එකතැන පල්වෙමින් පවතින අතර, විදේශීය ආයෝජන පහත වැටෙමින් තිබේ. තම පක්ෂය විසින් නැවත සාකච්ඡා කරන බවට ප්‍රචාරය කළ ජාත්‍යන්තර මූල්‍ය වැඩසටහනට යටත් වූ ජනාධිපතිවරයා දැන් සැබෑ ආර්ථික ස්වෛරීභාවයක් නොමැති බව පුනරුච්චාරණය කරයි. විදේශ විනිමය සංචිත හිඟ වීම සහ මූල්‍ය හා මුදල් බලතල සීමා කිරීමත් සමඟ, ආර්ථිකය වර්ධනය වීමට හැකි වන පරිදි ආයෝජන සඳහා රජය බාහිර මූලාශ්‍ර සොයමින් සිටී.
බීජිංහිදී, අවබෝධතා ගිවිසුම් පහළොවක් අත්සන් කරනු ලැබුණි. මෙයින් එකක් වන්නේ දකුණු හම්බන්තොට වරායේ තෙල් පිරිපහදුවක් සඳහා චීන රජය සතු සිනොපෙක් සමාගමෙන් දිගු කලක් තිස්සේ යෝජනා කර තිබූ ඩොලර් බිලියන 3.2 ක ආයෝජනයකි. එය සාර්ථක වුවහොත්, මෙම ආයෝජනය සිනොපෙක් සමාගමේ පළමු විදේශීය පිරිපහදුව වනු ඇත. එමගින් පහළ මට්ටමේ රසායනික කර්මාන්ත කිහිපයක් සඳහා අවස්ථා නිර්මාණය වන අතර, රටට දැරිය හැකි බලශක්ති ප්‍රභවයක් සපයනු ඇත (ශ්‍රී ලංකාව දැනට පිරිපහදු මධ්‍යස්ථානවලින් අවශ්‍ය ඉන්ධන බොහොමයක් ආනයනය කරන්නේ සිංගප්පූරුවෙනි).
නවදිල්ලියේදී, නිවාස, පුනර්ජනනීය බලශක්තිය සහ සිවිල් සේවා ධාරිතා වර්ධනය යන ව්‍යාපෘති ඇතුළුව අවබෝධතා ගිවිසුම් ගණනාවක් අත්සන් කරනු ලැබුණි. මාස කිහිපයකට පසු, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවට පැමිණි විට, තවත් අවබෝධතා ගිවිසුම් හතක් අත්සන් කළේය. මෙයින් එකක් වූයේ ශ්‍රී ලංකාවේ නැගෙනහිර පිහිටි නගරයක් වන ත්‍රිකුණාමලයේ බලශක්ති සැපයුම් මධ්‍යස්ථානයක් සංවර්ධනය කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු ත්‍රෛපාර්ශ්වික ගිවිසුමකි. ගනුදෙනුව ගැන එතරම් දැනුමක් නොතිබුණද, ත්‍රිකුණාමලය භූ දේශපාලනික වශයෙන් වැදගත් වන්නේ එය දෙවැනි ලෝක යුද්ධ යුගයේ තෙල් ටැංකි සංකීර්ණයකට නිවහන වන අතර, ලෝකයේ හොඳම ස්වාභාවික වරායන්ගෙන් එකක් වන නිසාය.
ඩුබායිහිදී, දෙරට අතර ආයෝජන සඳහා පහසුකම් සැලසීම සඳහා ගිවිසුමක් ඇති කර ගත් අතර, ඒකාබද්ධ ව්‍යාපාරික කවුන්සිලයක් ස්ථාපිත කරනු ලැබුණි. හැනෝයිහිදී, යන්ත්‍රෝපකරණ සහ උපකරණ නිෂ්පාදනය, කෘෂිකර්මාන්තය සහ වෙළඳාම යන ක්ෂේත්‍රවල සහයෝගීතාව ඇතුළු අවබෝධතා ගිවිසුම් හතරක් අත්සන් කළේය. හැනෝයිහිදී, ශ්‍රී ලංකාවේ දේපළ වෙෙළඳාම් සහ සංචාරක අංශවල ආයෝජනය කිරීමට පෞද්ගලික වියට්නාම සමූහ ව්‍යාපාරයක් වන වින්ග්‍රූප් වෙත ද දිසානායක ආරාධනා කළේය.
ගාසා තීරයේ සිදුවෙමින් පවතින ඊශ්‍රායල ජන සංහාරය වැනි පුළුල් දේශපාලනික හා සදාචාරාත්මක ප්‍රශ්න සම්බන්ධයෙන් වත්මන් ශ්‍රී ලංකා රජය වඩාත් ගතානුගතිකව කටයුතු කරයි. ගෝලීය උතුර ආයුධ සහ පතොරම් සැපයීම මගින් සහාය දක්වයි. ඊශ්‍රායල ආක්‍රමණික හමුදාවේ හිටපු සොල්දාදුවන් ඇතුළු ඊශ්‍රායල සංචාරකයින් 2023 වසරේ සිට රට තුළට ගළා එමින් සිටින අතර, ඔවුන් නීති විරෝධී ව්‍යාපාර පවත්වාගෙන යාම, අනවසර පූජනීය ස්ථාන පිහිටුවීම සහ සාමාන්‍යයෙන් ජාතිවාදී සහ ආක්‍රමණශීලී හැසිරීම් හේතුවෙන් බොහෝ විට ප්‍රදේශවාසීන් සමඟ ගැටුම්ද ඇති කර ගනී. රජය ඊශ්‍රායලයට සංක්‍රමණික සේවකයන් යැවීම දිගටම කරගෙන යන අතර, කෘෂිකාර්මික සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කරමින් සිටී.
මෑතකදී කොළඹ පැවති නක්බා අනුස්මරණ උත්සවයකදී, ඊශ්‍රායලය සමඟ සබඳතා අත් නොහරින්නේ මන්දැයි රජයෙන් ප්‍රශ්න කරනු ලැබුණි. පලස්තීනය සමඟ ශ්‍රී ලංකා සහයෝගිතා කමිටුවේ සම සභාපතිවරයෙකු ද වන ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මෙසේ ප්‍රතිචාර දැක්වූයේ “ශ්‍රී ලංකාව හදිසියේම ඊශ්‍රායලය සමඟ සබඳතා අවසන් කළහොත් ආර්ථිකය කඩා වැටෙනු ඇත... පලස්තීනය සමඟ සිටින නමුත් රාජ්‍ය තාන්ත්‍රික හා ආර්ථික අරමුණු සඳහා ඊශ්‍රායලය සමග සබඳතා දිගටම කරගෙන යන සෞදි අරාබිය, චීනය සහ රුසියාව ඇතුළු රටවල් කිහිපයක් මෙන් ශ්‍රී ලංකාව ක්‍රියා කරනු ඇත” යනුවෙනි.
නොබිඳුණු අවුල
දකුණු-දකුණු ආර්ථික සහයෝගීතාව ගෝලීය උතුර ආධිපත්‍යය දරන ආර්ථික පිළිවෙළකින් බිඳී යාමේ හැකියාව ලබා දෙයි. කෙසේ වෙතත්, ගෝලීය දකුණේ රාජ්‍යයන් අතර පරස්පරතා ගැටලු ඇත. නිදසුනක් වශයෙන්, බොහෝ ශ්‍රී ලාංකිකයින්ට හැඟෙන්නේ රට බෙදී යන බවයි. උතුරේ සහ නැගෙනහිර භූමි ප්‍රදේශ බොහෝ විට ඉන්දියානු ආයෝජන සඳහා වෙන් කර ඇති අතර, දකුණේ භූමි ප්‍රදේශ ප්‍රධාන වශයෙන් චීන ආයෝජන සඳහා වන අතර, එය රටේ ජනවාර්ගික ජන විකාශනවල වෙනස්කම් පිළිබිඹු කරයි. එපමණක් නොව, උතුරු ප්‍රාග්ධනය වෙනුවට දකුණු ප්‍රාග්ධනය ආදේශ කිරීම මගින් එවැනි ආයෝජන උපදේශාත්මක, පාරිසරික වශයෙන් තිරසාර සහ ස්වෛරීභාවය ආරක්ෂා කරන ප්‍රමාණය පිළිබඳ ප්‍රශ්න විසඳෙන්නේ නැත. උදාහරණයක් ලෙස, ශ්‍රී ලංකාවේ විදුලිබල ජාලය ඉන්දියාවට සම්බන්ධ කිරීමේ යෝජනාවක් ආර්ථික ස්වෛරීභාවය පිළිබඳ සංවාද සඳහා ප්‍රධාන උත්ප්‍රේරකයක් බවට පත්ව ඇත.
ගෝලීය ආර්ථිකයේ ගුරුත්වාකර්ෂණ කේන්ද්‍රය ආසියාව දෙසට මාරු වන විට, ශ්‍රී ලංකාව වැනි කුඩා රාජ්‍යයන් අවස්ථා සොයමින් එම දිශාවට ගමන් කිරීම ස්වාභාවිකය. ගෝලීය දකුණේ ක්‍රියාකාරීන්ට සංවර්ධනය සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය, තාක්ෂණය සහ වෙෙළඳපොළ වැනි සාධක සැපයිය හැකිය. කෙසේ වෙතත්, සමාජ ආර්ථික පරිවර්තනය සඳහා අවශ්‍ය ආත්මීය කොන්දේසි නිර්මාණය කිරීම සඳහා දේශීය සමාජ ක්‍රියාවලීන්ට මැදිහත් වීමට ඔවුන්ට නොහැකිය. දෙවැන්න සඳහා දේශීය ක්‍රියාකාරීන්ගෙන් මුලපිරීමක් අවශ්‍ය වන අතර, එහි ඌනතාවය දේශපාලන කැමැත්තේ හිඟයක් හෝ වඩාත් නරක අතට, නව ලිබරල්වාදය ඉක්මවා යා හැකි වැඩසටහනක් කෙරෙහි දේශපාලන විශ්වාසයේ හිඟයක් පිළිබිඹු කරයි.
සමාජයේ බදුකරුවන් සහ කොම්ප්‍රදෝරු කොටස්වලට අභියෝග කිරීමේ වෙහෙස මහන්සි වී වැඩ කිරීම රට තුළ තවමත් පවතී. යටත් විජිත සමයේ සිට ආර්ථිකය ආධිපත්‍යය දැරූ වෙළඳ ප්‍රාග්ධන අවශ්‍යතා බොහොමයක් ද ඌන සංවර්ධනයේ රටාව මූලික වශයෙන් වෙනස් නොකර “සුළඟට නැමෙයි”. පැරණි වෙළඳ සමාගම් දැන් බ්‍රිතාන්‍ය, ජර්මානු හෝ ජපන් භාණ්ඩ වෙනුවට ඉන්දියානු සහ චීන භාණ්ඩ ආනයනය කරයි. රට තුළදී අවශ්‍ය වන සංයුක්ත ප්‍රතිසංස්කරණ වර්ග සම්බන්ධයෙන් ගත් කල, උදාහරණ දෙකක් සාකච්ඡා කිරීම වටී: එ කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ සහ මූල්‍ය ප්‍රතිසංස්කරණ යි.
චීනයේ හෙක්ටයාර 0.08 ක් සහ ඉන්දියාවේ හෙක්ටයාර 0.11 ක් හා සසඳන විට, ආසියාවේ අඩුම ඒක පුද්ගල වගා කළ හැකි ඉඩම් අනුපාතයක් ඇත්තේ ශ්‍රී ලංකාවේ වන අතර, එය හෙක්ටයාර 0.06 කි. මෙම ගැටළුව තවත් උග්‍ර වන්නේ මෙම භූමියෙන් සැලකිය යුතු කොටසක් මුදල් බෝග සඳහා භාවිත කිරීම නිසා රට ආහාර අර්බුදවලට අතිශයින් ගොදුරු විය හැකි බැවිනි. ආහාර ස්වෛරීභාවය සහ පාරිසරික තිරසාරභාවය සහතික කිරීම සඳහා ඉඩම් තාර්කිකව භාවිත කිරීම සඳහා ශ්‍රී ලංකාවට ප්‍රතිපත්තියක් නොමැත. ණය, බීජ සහ පොහොර සැපයීමේ සිට නිමි භාණ්ඩ සැකසීම, ගබඩා කිරීම, ප්‍රවාහනය සහ අලෙවිකරණය දක්වා කෘෂිකාර්මික අංශයේ සෑම මට්ටමකම ඒකාධිකාරී අවශ්‍යතා පවතී.
ශ්‍රී ලංකාව ආසියාවේ සැබෑ රාජ්‍ය සංවර්ධන බැංකුවක් නොමැති රටවල් කිහිපයෙන් එකකි. ශ්‍රී ලංකාවේ සංවර්ධන බැංකු දෙකක් 1990 ගණන්වලදී පෞද්ගලීකරණය කරන ලද අතර, ඒවා දැන් වාණිජ පදනමක් මත ක්‍රියාත්මක වේ. බොහෝ පෞද්ගලික වාණිජ බැංකු අවදානම්-විරෝධී වන අතර, වෙළඳාම සහ පරිභෝජනය වැනි ඵලදායි නොවන අංශ වෙත ණය යොමු කරයි. එබැවින්, කෘෂිකර්මාන්තයේ සහ නිෂ්පාදනයේ නිෂ්පාදන ක්‍රියාකාරකම් සඳහා දැරිය හැකි දිගුකාලීන ණය හිඟයක් පවතී. වත්මන් රජයේ පළමු අයවැයෙන් ඇතුළුව සංවර්ධන බැංකුවක් පිළිබඳව දිගු කලක් තිස්සේ සාකච්ඡා කර ඇති අතර, එවැනි බැංකුවක් සඳහා ප්‍රාග්ධනය සොයා ගැනීම පිළිබඳ ප්‍රශ්න තවමත් පවතී.
අවසාන වශයෙන්, සමස්ත ගැළපීමේ අභියෝගය පවතී. සැබෑ සමාජ ආර්ථික පරිවර්තනයක් සිදුවීමට නම්, විවිධ ද්විපාර්ශ්වික හවුල්කරුවන්ගෙන් කොටස් වශයෙන් ලැබෙන ආයෝජන ඒකාබද්ධ හා අන්තර් සම්බන්ධිත සමස්තයකට එකතු විය යුතුය. නව ලිබරල් යුගයේ රාජ්‍ය ධාරිතාව පිරිහීම සැලකිල්ලට ගෙන එවැනි සැලැස්මක් පවතින බව පැහැදිලි නැත. අවසාන වශයෙන්, ඌන සංවර්ධනයේ ගැටලුව වන්නේ සම්පත් නොමැතිකම පමණක් නොව, නිෂ්පාදන බලවේග තවදුරටත් සංවර්ධනය වීම වළක්වන සමාජ සබඳතාවල අවහිරතාවකි.
“ඩේලි එෆ්ටී” පුවත්පතේ පළවූ ලිපිය සිංහලට පරිවර්තනය කළේ අනිල් කරුණාරත්න
ගෝලීය දකුණේ ආයෝජනවලින් ලංකාව දියුණු කළ හැකිද?