IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ග්‍රාමීය ප්‍රදේශ නගාසිටුවීමට Deep Tec වෙතින් තිරසර ජල සහ සූර්ය බල විසඳුම්

ලංකාව තුළ තිරසර ජල සම්පාදන විසඳුම් සැපයීමේ ප්‍රමුඛයකුවන Deep Tec Engineering පුද්ගලික සමාගම ග්‍රාමීය ප්‍රදේශ ආවරණයවන පරිදි නවෝත්පාදන සහ පරිසර හිතකාමී නව ජල සම්පාදන විසඳුම් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. පිටිසර සහ ගොවි ප්‍රජා වෙත ජල විසඳුම් ලබාදීමේ අරමුණින් 2015 වසරේදී ආරම්භ කළ Deep Tec Engineering සමාගම මේ වනවිට මෙරට පුනර්ජනනීය ජල සම්පාදන ක්ෂේත්‍රයේ දැවැන්ත කාර්යභාරයක් ඉටුකරමින් සිටී.


වර්තමානය වනවිට ලංකාවේ සමස්ත සූර්ය බලැති ජල පොම්ප වෙළෙඳපොළෙන් සියයට 28ක පංගුවක් හිමිකරගෙන සිටින සමාගම, එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර සහයෝගීතා ආයතන සමග එක්ව වාර්ෂිකව අමෙරිකානු ඩොලර් මිලියන 2කට ආසන්න වටිනාකමකින් යුත් සූර්ය බලැති ජල පොම්ප සැපයීමට සමත්ව තිබේ. 
එවැනි දිගුකාලීන ජාත්‍යන්තර සබඳතා තුළින් ද සමාගමේ විශ්වාසනීයත්වය, පාරදෘශ්‍යතාව මෙන්ම ජාත්‍යන්තර තිරසර සහ ප්‍රජා සංවර්ධන ප්‍රමුඛතාවලට ඇති කැපවීම ද හොඳින් පිළිබිඹු වේ. 
ගෙවුණු දශකය තුළ දිවයින පුරා තම සේවා ව්‍යාප්ත කිරීමට සමාගමට හැකිවූ අතර, ඒ හරහා දහස් ගණන් පවුල් ඒකක වෙත පානීය ජලය මෙන්ම කෘෂිකර්මාන්තය සහ ජිවනෝපාය සංවර්ධන වෙනුවෙන් ජලය සැපයීමට ද අවස්ථාව උදාවිය. විශේෂයෙන්ම සූර්ය බලශක්තිය භාවිතයෙන් ජල පොම්ප ක්‍රියාත්මක කරවීම නිසා වැඩි කාර්යක්ෂමතාවකින් මෙන්ම අඩු මිලට ජලය සැපයීමට හැකිවී තිබේ. තව ද එය පරිසර හිතකාමී තිරසර ක්‍රියාන්විතයකි. 
Deep Tec Engineering සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තිළිණ හෙට්ටිආරච්චි මහතාගේ දැක්ම වන්නේ ද සිය ව්‍යාපාර මෙහෙවර තුළින් ග්‍රාමීය ලංකාව නගාසිටුවීම ය. ඔහුගේ මෙම දැක්ම සහ වැඩපිළිවෙළ විවිධ අවස්ථා ගණනාවකදීම ඇගයුමටද පාත්‍රවිය. පසුගියදා පැවැති ෂ Iconic Awards 2025 සම්මාන උළෙලේදී ද ඔහු 20025 වසරේ හොඳම ව්‍යවසායකයා ලෙස සම්මාන දිනාගැනීමට සමත්විය. පානීය ජලය ලබාගැනීමට ඇති මහජන ප්‍රවේශය වැඩිකිරීම, ගොවි පවුල් සවිබලගැන්වීම, පුනර්ජනනීය බලශක්ති භාවිතය දිරිගැන්වීම ආදිය ඊට මඟපෑදීය. 
දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දෙන යටිතල පහසුකම් සංවර්ධනයට ඇති වර්තමාන ඉල්ලු‍මට සමගාමීව තවදුරටත් නවෝත්පාදන, ප්‍රජා සහභාගීත්ව සහ අරමුණු මත ගොඩනැගුණු සබඳතා වෙනුවෙන් Deep Tec සමාගම ක්‍රියාශීලීව පෙරමුණ ගනු ඇත. එහිදී තම සූර්ය බලැති ජල සම්පාදන විසඳුම් ප්‍රසාරණය කිරීමත්, ජාතික පරිසර ඉලක්ක වෙත සහාය වීමත්, ග්‍රාමීය පවුල් ඒකක නගාසිටුවීමත් සමාගමේ අරමුණු වී තිබේ. 



අදහස් (0)

ග්‍රාමීය ප්‍රදේශ නගාසිටුවීමට Deep Tec වෙතින් තිරසර ජල සහ සූර්ය බල විසඳුම්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site