
කොළඹ වරාය නගරයේ සිට ගල්කිස්ස වෙරළ තීරය දක්වා මුහුදු කැස්බෑවන් ආරක්ෂා කිරීමට මෙන්ම වෙරළබඩ පරිසර පද්ධති යථා තත්වයට පත් කිරීමේ අරමුණින්, කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය (CICT), වනසත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය (WNPS) සමග හවුල්කාරිත්වයකට පසුගියදා එළැඹිණි. මෙම හවුල්කාරීත්වය යටතේ, කැස්බෑවන් සහ වෙරළබඩ සෞඛ්‍ය එක්සත් වැඩසටහන (TACHUP), 2025 සිට 2028 දක්වා වසර තුනක කාලයක් ක්‍රියාත්මක වනු ඇත.
දැනට ලෝකයේ සිටින මුහුදු කැස්බෑ වර්ග හතෙන් පහක් ශ්‍රී ලංකාව තම වාසභූමිය කරගෙන තිබේ. එහෙත් මේ සියලුම කැස්බෑවන් බිත්තර දමන්නේ, දැඩි නාගරීකරණයට ලක්වූ වෙරළ තීරයකයි. එනිසා මෙම කැස්බෑ බිත්තර ආරක්ෂා කර, සාර්ථකව පැටවුන් බිහිකරවීමට මෙම වැඩසටහන රුකුලක් වනු ඇත. එමෙන්ම වෙරළබඩ වෘක්ෂලතා ප්‍රතිස්ථාපනය, විද්‍යාත්මක දත්ත රැස් කිරීම සහ දිගුකාලීන සංරක්ෂණ කටයුතු සඳහා පුරවැසි ප්‍රාදේශීය ජනතාව, පාසල් ළමයින් සහ ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් අනෙකුත් අය සමග සක්‍රීයව සම්බන්ධව කටයුතු කිරීමටද මෙහිදී ප්‍රධාන අවධානය යොමු කරනු ඇත.
TACHUP වැඩසටහන, එක් බිත්තර දැමීමේ සමයක් තුළ කැස්බෑවන් 680ක පැමිණීම සහ 15,900කට අධික බිත්තර ආරක්ෂා කර පැටවුන් බිහිවීමේ අනුපාතය සියයට 80කට වඩා ඉහළ මට්ටමක පැවැත්ම වාර්තා කර ඇති, දැනට සිදු කරගෙන යන සංරක්ෂණ කටයුතු මත පදනම්ව ක්‍රියාත්මක වේ.
මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දැක් වූ CICT හි ප්‍රධාන විධායක නිලධාරී ජැන් ෂැන්ග් මහතා මෙසේ පැවසීය. CICT වෙළෙඳාමට පිවිසෙන දොරටුවක් වන නිසා, අප වටා ඇති පරිසරය ආරක්ෂා කිරීම සඳහා අප සතු වගකීම හොඳින් වටහා ගෙන කටයුතු කරනවා. WNPS සමග ඇති මෙම හවුල්කාරිත්වය, දිගුකාලීන පාරිසරික ස්ථාවරත්වය, ජෛව විවිධත්ව සංරක්ෂණය, මෙන්ම ශ්‍රී ලංකාවේ වෙරළබඩ උරුමය වගකීමෙන් රැකබලා ගැනීම වෙනුවෙන් අප කරන ආයෝජනයක්.”
කොළඹ වෙරළ තීරයේ මුහුදු කැස්බෑවන් ආරක්ෂා කිරීමට CICT හා WNPS එක්වෙයි