
වෙල් යායට බැහැර කර ඇති කැළි කසළ

පුරන්වෙමින් පවතින කරිජ්ජපිටිය වෙල්යාය.
මේ වෙල් යාය දැන් හොඳයි පොල් සිටුවන්න. අවසරය දෙනවනම් ජනතාව ඒ සඳහාත් කැමැතියි
මේ වෙල් යාය හරහා ගලා බසින වේල්ලපිටිය ඇළ කාලයකින් ශුද්ධ කරලා නැහැ
කසළ ටොන් පිටින් ගෙනල්ලා දමන්නේ මේ වෙල්යායට වෙල්යාය උපයෝගී කරගෙන බලපිටියේ රැකියා නැති හාරපන්සියකට රස්සා දෙන්න පුළුවන්
ඇළ ප්‍රයෝජනයට ගෙන සංචාරක ව්‍යාපෘතියක් ආරම්භ කරන්නත් පුළුවන්
කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
එදා බලපිටිය සෑම අංශයකින්ම සිටියේ ඉදිරියෙනි. රට ආපස්සට යන ඕනෑම අවස්ථාවකදීම බලපිටියේ අය ඊට එරෙහිව පෙරමුණ ගත්තෝය. රට සහලින් ස්වයංපෝෂිත කිරීමට කර උරදින් නායකයෝද එදා බලපිටියේ සිටිහ. මේ නිසාම එදා බලපිටිය සිටියේ සංවර්ධනයේ හිනිපෙත්තේමය. අද බලපිටිය ඇත්තේ සංවර්ධනයේ ඉබි ගමනේය.
බලපිටිය සංවර්ධනය කළ හැකි සම්පත් බොහෝය. මාදු ගඟ ඉන් එකකි. අක්කර නවසීයක පමණ වපසරියක් ඇති කරිජ්ජපිටිය වෙල් යාය අනෙකය. තවත් ස්වාභාවික සම්පත් නැත්තේද නොවේ. අද අපේ ඇල්ම බැල්ම අක්කර නමසීයක පමණ වපසරියක් ඇති කරිජ්ජපිටිය වෙල් යායටය.
මීට දශක කිහිපයකට උඩදී බලපිටියේ ඇත්තන්ට සහලින් හිඟ පාඩුවක් නොවීය. ඒ කරිජ්ජපිටිය වෙල් යායට පින්සිදුවන්නටය. එදා කරිජ්ජපිටිය වෙල් යාය දිස්වූයේ නිලට නිලේ නිල්වන් ගොයමිනි. එදා නිල්ල නිලට නීල ගොයමින් දිස්වූ කරිජ්ජපිටිය අද දක්නට ලැබෙනුයේ මහා රූස්ස ගස් වලිනි. මේ ආකාරයට මේ වෙල්යාය වසර ගණනාවක්ම තිබේ. කුඹුරු භාෂාවෙන් කියතොත වෙල් යාය පුරන් වෙමින් තිබේ.
දශක ගණනාවක් තිස්සේ පුරන් වෙමින් පවතින අක්කර නවසීයක පමණ වපසරියක් ඇති බලපිටියේ කරිජ්ජපිටිය වෙල් යාය පිළිබඳව කතා බහට ලක්වන කාලයක් ඇත. ඒ මැතිවරණ කාලයයි. මැතිවරණ කාලයට එක එක පක්ෂවල අයගේ බලපිටියේ සංවර්ධනය කිරීමේ අංක එක යෝජනාව කරිජ්ජපිටිය වෙල් යාය අස්වැද්දීමය. බලපිටියෙන් විවිධ නිෂ්පාදන රට පැටවීමය. නැතහොත් සංචාරක ව්‍යාපෘති ආරම්භ කර මුළු ලෝකයේම සංචාරකයන් බලපිටියට අද්දවා ගැනීමටය. මැතිවරණය නිමාවීමත් සමගම ඒ ඒ පක්ෂවල ඒ ඒ අයට බලපිටියේ කරිජ්ජපිටිය වෙල්යායක් තිබුණේදැයි නැද්ද යන්නවත් මතක නැද්ද.
කරිජ්ජපිටිය වෙල් යාය සංවර්ධනය කර මුළු බලපිටියම බලවත්ව නැගිටුවාලිය හැකි බවට බලපිටියේ බොහෝ දෙනා කියති. මේ ඔවුන් ඒ වෙනුවෙන් නැගූ හඬය.
බලපිටිය විහාරාධිපති හිමිවරුන්ගේ සංගමයේ හිටපු සභාපති බලපිටියේ ධම්මික හිමි: කරිජපිටිය වෙල් යාය බලපිටියට තියෙන බලවත්ම සම්පතක්. අක්කර නවසීයකය කිට්ටු බිමක් වැඩකට නොගෙන කැළෑවට ඇරීම ජාතික අපරාධයක්. මේ වෙල් යායෙන් මුළු බලපිටියම සංවර්ධනය කරන්න පුළුවන්. අද බලපිටියට වෙලා තියෙන්නේ හරිහමන් නායකත්වයක් නැති එකයි. එදා බලපිටිය හදන්න නායකයෝ හිටියා. ඒ නායකයන් බලපිටිය විතරක් නෙමෙයි ලංකාවත් හැදුවා. හැබැයි කරිජ්ජපිටිය වෙල් යායෙන් බලපිටියට වැඩක් ගන්න බලපිටි පුතෙක් තවම බිහිනොවීම කණගාටුවට කරුණක්.
කරිජ්ජපිටිය වෙල් යාය මතක් වෙන්නේ ඡන්ද කාලෙට විතරයි. එක එක අය මේ වෙල් යාය පිළිබඳව එක එක කතා කියලා ජනතාව රවට්ටනවා. දැන්වත් අදාළ ඇත්තන්ගේ අවධානය මේ සඳහා යොමුවෙනවනම් හොඳයි.
ආර්. එල්. එස්. ද සොයිසා මහතා: අපි කාලයක් මේ වෙල් යාය අස්වැද්දුවා. දැන් අස්වද්දන්න බැහැ. කරිජ්ජ වෙල් යායට මුසු වෙලා. මම ගිය පාරත් උත්සහා කළා. ලක්ෂ පහක් විතර වියදම් කරලා මගේ කොටස කළා. වැඩක් වුණේ නැහැ. ගොයම හරි ගියේ නැහැ. ඔක්කෝම කරිජ්ජට විනාශ වෙලා ගියා. රජයෙන් ඇවිල්ල කියනවා අස්වද්දන්න කියලා. නැත්නම් අපේ කුඹුරු රජයට ගන්නවා කියලා නිලධාරිණියක් කියලා ගියා. දැන් තියෙන තත්වයත් එක්ක අපි කොහොමද මේ වෙල් යාය අස්වද්දන්නේ. අපිට ඒ සඳහා අවශ්‍ය පරිසරය රජයෙන් සකසලා දෙනවානම් ඕනෑම වෙලවක සූදානම් මේ වෙල අස්වද්දන්න. හැබැයි මේ වෙල් යාය දැන් හොඳයි පොල් සිටුවන්න ඒ සඳහා අවසරය දෙනවනම් අපි ඒ සඳහාත් කැමැතියි.
මේ වෙල් යාය හරහා ගලා බසින වේල්ලපිටිය ඇළ කාලයකින් ශුද්ධ කරලා නැහැ. මේ වෙල් යායෙන් ප්‍රයෝජනයක් ගන්න නම් ඇළ ශුද්ධ කරලා වතුර බහින විදිහට සකස් කරන්න ඕන. ඒ එක්කම මේ වෙල්යායට දැන් කසළ ටොන් පිටින් ගෙනැල්ලා හලනවා. අපද්‍රව්‍ය නිසා වෙල් යායේ සරු බවත් නැති වෙලා යනවා. බලන්න කිසි කෙනෙක් නැහැ.
කොට්ඨාසයේ ප්‍රාදේශීය සභා මන්තී එම්. ඩබ්ලිව්. සෙනරත් මහතා: කරිජ්ජපිටිය වෙල්යාය පිහිටලා තියෙන්නේ මගේ කොට්ටාසයේ. එදා එක්සත් ජාතික පක්ෂ බලපිටියේ ප්‍රධාන සංවිධායක අශෝක ධනවංශ මහතා මේ වෙල්යාය ප්‍රයෝජනයට ගෙන සූර්ය බලයෙන් විදුලිය නිපදවීමේ සහ මිරිදිය මත්ස්‍ය වගාවක් ආරම්භ කිරීමට කටයුතු කළා. එහෙත් අවසානයේදි ආණ්ඩුමාරුවීමත් සමගම එය කර ගන්න බැරිව ගියා. ඒ වයාපෘතිය දියත් කළානම් කරිජ්ජපිටිය වෙල් යායම බලපිටියට සම්පතක් වෙනවා. මේ වෙල්යාය උපයෝගී කරගෙන බලපිටියේ රැකියා නැති හාරපන්සියකට උනත් රස්සා දෙන්න පුළුවන්.
මේ වෙල්යාය හරහා ඇති ඇළ වැටෙන්නේ මාදු ගඟට. ඒ නිසා මේ ඇළ ප්‍රයෝජනයට ගෙන සංචාරක ව්‍යාපෘතියක් ආරම්භ කරන්නත් පුළුවන්. තව ඉස්සන් වගා කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන්න කියාපු තැන මෙතන. ඒ සඳහා පියවර ගන්නවනම් පාට පක්ෂ බලනේ නැතිව රජයට අපේ සහාය දෙන්න අපි සූදානම්. අපිට අවශ්‍ය බලපිටිය දියුණු කිරීමයි. අපි අදාළ වගකිවයුත්තන්ගෙන් ඉල්ලන්නේ කරිජ්ජපිටිය ප්‍රයෝජනවත් ව්‍යාපෘතියකට ගන්න කියලා.
නිමල් ඒ. ද එස්. කණකරත්න මහතා: කරිජ්ජපිටිය වෙල් යායට එක එක ව්‍යපෘති ගෙන ආවත් තවම බැරිවුණා සාර්ථක ව්‍යාපෘතියක් ආරම්භ කරන්න. එදා බලයේ සිටි සමහරු පලතුරු වර්ගයක් සිටවලා රට යවන්න පුළුවන් කියලා විශේෂ ව්‍යාපෘතියක් දියත් කළා. ඒක අතර මග නතර කෙරුණා. මේ ආකාරයට තව තව ව්‍යාපෘති දියත් කෙරුණා. ඒ හැම ව්‍යාපෘතියම අතරමග නතර කෙරුණා. ඒ ව්‍යාපෘති නතර කෙරුණු හේතුනම් තවම දන්නේ නැහැ. පළමුවෙන්ම කළ යුත්තේ මේ සම්බන්ධ විශේෂඥයන් ගෙනැල්ල්ලා මේ වෙල්යාය පිළිබඳව ස්ථානීය පරීක්ෂාවට ලක් කළ යුතුයි. ඊට පස්සේ හඳුන ගන්න ඕන මේ වෙල්යාය මොන ව්‍යාපෘතියටද ගැළපෙන්නේ කියලා. එතකොට ප්‍රශ්නය ඉවරයි.
මේ සම්බන්ධයෙන් බලපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති අනුරුද්ධ මහවැලි මහතාගෙන් විමසූවිට ඒ මහතා මෙසේ කීය.
මේ වෙල්යාය මේ විදිහට පුරන්වීම පිළිබඳ ඇත්තටම අපිට ඇත්තේ කණගාටුවක්. අපි අරයට මෙයාට ඇඟිලි දික්කකරලා දැන් වැඩක් නැහැ. ඒක තේරුමක් නැති වැඩක්. අපේ පාලන කාලය තුළදීවත් කරිජ්ජපිටිය වෙල් යායෙන් ප්‍රයෝජනයක් ගන්න සැලසුම් කරලයි තියෙන්නේ. බලපිටිය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපතිනි, පාර්ලිමේන්තු මන්ත්‍රිනී හසාරා ලියනගේ මහත්මියගේත් සහයෝගය හා අනුබලය අරගෙන මේ වෙල්යාය සංවර්ධනය කළ හැකි දැවැන්ත ව්‍යාපෘතියක් නුදුරු දිනවලදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ ව්‍යාපෘතිය පැළ වෙන ව්‍යාපෘතියක් නොවන ආකාරයටම කිරීමට තමයි අපේ වෑයම.
කිසිදු ව්‍යාපෘතියක් ඵල නොදැරූ බලපිටියේ අක්කර 900ක්