භානුක අමරසිංහ
මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන කොමර්ෂල් බැංකුව රුපියල් බිලියන 15 ක් වටිනා හරිත බැඳුම්කර නිකුතුවක් සිදු කිරීමට සූදානමින් සිටින බව පවසයි. බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලය පසුගිය ජනවාරි 30 වැනිදා ඊට අදාළ යෝජනාව ඉදිරිපත් කර තිබේ.
මෙහිදී බාසෙල් III අනුකූල, අදියර 2, ලැයිස්තුගත, සුරක්ෂිත නොවූ, උප ප්‍රධාන, පිරිමුදවාගත හැකි හරිත බැඳුම්කරයක් ලෙස මෙම නිකුතුව සිදු කිරීම සැලසුම වී තිබේ. එසේම මෙය ශක්‍ය නොවන හුවමාරු විශේෂාංගය සහිතව නිකුත් කෙරෙන බවත් බැංකුව පවසයි.
ඒ අනුව පළමු අවස්ථාව ලෙස හරිත බැඳුම්කර මිලියන 100 ක් නිකුත් කරන බව බැංකුව පවසයි. එහිදී එක් කොටසක් රුපියල් 100 ක් බැගින් මිල කෙරී ඇති අතර, එම නිකුතුවෙහි වටිනාකම රුපියල් බිලියන 10 කි. මෙම බැඳුම්කර වසර 5 කින්, වසර 7 කින් සහ වසර 10 කින් කල් පිරෙන ලෙස නිකුත් කිරීම සැලසුම වී ඇත.
මෙම නිකුතුවට හිමිවන අධි ඉල්ලුමත් සමගින්ම තවත් බැඳුම්කර මිලියන 50 ක් නිකුත් කිරීමටත් බැංකුව සැලසුම් කර ඇත. එම නිකුතුවෙහි වටිනාකම රුපියල් බිලියන 5 කි.
මේ අතර, කොමර්ෂල් බැංකුව පසුගිය වසරේ අගෝස්තු 30 වැනිදා සිදුකළ නිවේදනයකට අනුව සැලසුම් කළ රුපියල් බිලියන 5 ක් වටිනා බැඳුම්කර නිකුතුව සිදු නොකරන බව බැංකුව සඳහන් කරයි.
කොමර්ෂල් බැංකුවෙන් රු. බි. 15ක හරිත බැඳුම්කර නිකුතුවක්