IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


කොටස් වෙළෙඳපොළ ආයෝජනය පියවරෙන් පියවර - 3

 
මෙම ලිපිය ආයෝජකයන්ගේ මූල්‍ය සාක්ෂරතාව වැඩි දියුණු කිරීම සහ දැනුවත් මූල්‍ය තීරණ ගැනීමට අවශ්‍ය මග පෙන්වීමක් ලබාදීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් සකස් කරන ලද ලිපියකි.
 
ප්‍රාග්ධන වෙළෙඳපොළක් යනු රටක ආර්ථිකය පිළිබිඹු කරන කැඩපතකි. ආර්ථිකයක වෙසෙන ව්‍යාපාරික ප්‍රජාවටත් සාමාන්‍ය ජනතාවටත් සමසේ ප්‍රතිලාභ ලැබිය හැකි වටපිටාවක් කොටස් වෙළෙඳපොළ ඇතුළු ප්‍රාග්ධන වෙළෙඳපොළකින් නිර්මාණය කරන බව එහි මූලික අදහසයි. මෙම ප්‍රධාන පාර්ශ්ව දෙක අතුරින් සාමාන්‍ය ජනතාවට කොටස් වෙළෙඳපොළ වැදගත් වන්නේ ඵලදායී ආයෝජන මාර්ගයක් සපයන බැවිනි. එය ඵලදායී ආයෝජනයක් බවට පත් කර ගැනීමට ආයෝජකයකු කටයුතු කළ යුතු ආකාරය අප පසුගිය සතිවල ඉදිරිපත් කළ ලිපිවලින් පැහැදිලි කළෙමු. ආයෝජකයකු සලකා බැලිය යුතු තවත් එවැනි කරුණු ගණනාවක් තිබේ. මෙම කරුණු ප්‍රථම වරට කොටස් වෙළෙඳපොළ ආයෝජනයට යොමු වන්නකුට මෙන්ම දැනට ආයෝජනය කරන්නන්ටද වැදගත් විය හැකිය. 
 
මූලිකව අවධානය යොමු කළ යුතු කරුණු සහ CDS ගිණුමක් ආරම්භ කර ගැනීම
 
කොටස් වෙළෙඳපොළ ආයෝජනයේ පියවරෙන් පියවර ලිපි මාලාවේ පළමු ලිපියෙන් අප ඉදිරිපත් කළ මූලික තොරතුරු අතර කොටස් වෙළෙඳපොළ ආයෝජනයට යම්කිසි ආයෝජකයකු ප්‍රවිශ්ඨ වීමේදී කොටස් වෙළෙඳපොළ ආයෝජනය පිළිබඳව මනා වූ අධ්‍යයනයක් කිරීමේ වැදගත්කම, ඔහුගේ ආයෝජන අරමුණු තීරණය කිරීම, එම අරමුණු අනුව තම ආයෝජන පෙළ ගස්වා ගන්නේ කෙසේද, ඔහු හෝ ඇය කොටස් වෙළෙඳපොළෙහි ආයෝජනය කිරීමට අපේක්ෂා කරන්නේ නම්, ඒ සඳහා කොටස් ගිණුමක් (CDS ගිණුමක්) කොළඹ කොටස් හුවමාරුවේ මධ්‍යම තැන්පතු ක්‍රමය තුළ ආරම්භ කර ගන්නේ කෙසේද, CDS ගිණුමක් ආරම්භ කර ගැනීම සඳහා ආයෝජකයා විසින් සූදානම් කරගත යුතු විස්තර මොනවාද, මධ්‍යම තැන්පතු ක්‍රමය යනු කුමක්ද, මුදල් ගනුදෙනු සිදුකරන්නේ කෙසේද යන්න සහ කොටස් මිලදී ගැනීමට කොටස් ගැනුම් ඇණවුම් තම ආයෝජන උපදේශකවරයා වෙත ලබා දෙන්නේ කෙසේද යන්න ආදී කරුණු පිළිබඳව අවධානය යොමු කරන ලදි. 
 
කොටස් මිලදී ගැනීම හා විකිණීම හා ගනුදෙනු තහවුරු කර ගැනීම
 
කොටස් වෙළෙඳපොළ ආයෝජනය පියවරෙන් පියවර ලිපි මාලාවේ දෙවැනි ලිපියෙන් අවධානය යොමු කළේ, CDS ගිණුමක් ආරම්භ කර ගැනීම සඳහා ක්‍රම දෙකක් ඇති බව තේරුම් ගැනීම, ආයෝජන උපදේශකවරයකු ලබා ගැනීම, කොටස් මිලදී ගැනීමේ සහ විකිණීමේ ඇණවුම් ඉදිරිපත් කිරීම සඳහා අන්තර්ජාල ගනුදෙනු පහසුකම් යොදා ගැනීම (Internet Trading Facility), අභිමතය පරිදි ගනුදෙනු කිරීමේ ගිණුමක් (Discretionary Account) පවත්වා ගැනීම, යනාදී කරුනු පිළිබඳවයි. තවද, ආයෝජකයකු විසින් ඉදිරිපත් කරන ලද කොටස් ගැනුම් හෝ විකුණුම් ඇණවුමක් සාර්ථකව සිදුවූවාද යන්න තහවුරු කර ගැනීම සඳහා මධ්‍යම තැන්පතු ක්‍රමය (CDS) වෙතින් ලැබෙන කෙටි පණිවුඩ සහ කොටස් ගැනුම් සටහන් හා විකුණුම් සටහන් (Bought Note & Sold Note) ගනුදෙනු තහවුරු කිරීමේ ලේඛනය - (Trade Confirmation) ආදිය භාවිත කළ හැකි බවද එම ලිපියෙන් පෙන්වා දුන්නෙමු. 
 
කොටස් ගැනුම් සටහන් /විකුණුම් සටහන් සහ ගනුදෙනු තහවුරු කිරීමේ ලේඛනයක අන්තර්ගත තොරතුරු කොටස් වෙළෙඳපොළෙහි ආයෝජනය කරන සමහර ආයෝජකයන් තමා විසින් සිදුකළ ගනුදෙනු පිළිබඳ තහවුරු කර ගැනීමට ලැබෙන ලේඛනවල අන්තර්ගතය ගැන එතරම් සැලකිල්ලක් නොදක්වයි. ඒවා එතරම් වැදගත්කමක් ඇති තොරතුරු සේ නොසලකයි. එහෙත් එය එසේ නොවේ. ආයෝජකයකුට තමා විසින් සිදුකළ කොටස් ගනුදෙනු පිළිබඳව තහවුරු කර ගැනීමට ගනුදෙනු දිනය අවසානයේ ලැබෙන කොටස් ගැනුම් / විකුණුම් සටහන්වල අන්තර්ගත තොරතුරු මොනවාද යන්න තේරුම් ගැනීම ඉතා වැදගත්වේ. එහි අන්තර්ගත කරුණු අතර ගනුදෙනුකරුගේ නම සහ CDS ගිණුම් අංකය, ගනුදෙනුව සිදුකළ දිනය සහ වේලාව, කොටස් නාමය / සංකේතය (Symbol), ඇතුළත් වේ. කොටස් ගනුදෙනුවලදී මෙම සමාගම් හඳුනාගැනීම සඳහා භාවිත කරන සංකේත ගැන ආයෝජකයන්ට අවබෝධයක් තිබීම ඉතා වැදගත්ය. 
 
කොළඹ කොටස් හුවමාරුවේ ලයිස්තුගත සියලු‍ සමාගම් හඳුනාගැනීමට ඉංග්‍රීසි අක්ෂර කිහිපයක් භාවිත කරයි. උදාහරණ ලෙස XYZ.N0000, ABC.X0000 ආදී ලෙස පෙන්වා දිය හැකිය. මෙම උදාහරණයේ XYZ සහ ABC යනු සමාගම හඳුනාගැනීමට භාවිත කරණ සංකේතය වන අතර කැපිටල් N සහ X අක්ෂර වලින් පිළිවෙළින් ඡන්ද බලය සහිත හා ඡන්ද බලය රහිත සාමාන්‍ය කොටස් හඳුන්වනු ලබයි. ඉහත තොරතුරුවලට අමතරව මිලදී ගත් / විකුණනු ලැබූ කොටස් ගණන (උදා, 1,000 shares), එක් කොටසකට ගෙවූ / ලැබූ මිල (Price per share) සහ මුළු වටිනාකම (Gross Amount), ආදි විස්තරද එහි ඇතුළත් වේ. කොටස් ගනුදෙනුවට අදාළ ගනුදෙනු පිරිවැය ද එහි ඇතුළත් වන අතර කොටස් තැරැව්කාර ආයතනයට,කොළඹ කොටස් හුවමාරුවට, මධ්‍යම තැන්පතු ක්‍රමයට, නිෂ්කාශන ආයතනයට (CSE Clear Pvt Limited), ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවට, රජයට ගෙවන ලද මුදල කොපමණද යන්න ඊට අයත් වේ. මෙහිදී ආයෝජකයකු මතක තබා ගත යුතු වැදගත් කරුණක් වන්නේ තමන් විසින් දැනට භාවිත කරන ජංගම දුරකථන අංක, (වට්ස්ඇප් අංක) ඊ-මේල් ලිපිනයන්, කොටස් තැරැව්කාර ආයතනය වෙත ලබා දිය යුතු බවයි. තමා කලින් ලබා දී ඇති දුරකථන අංක වෙනස් වුවහොත් වහාම එම නව අංක සහ ඊ-මේල් ලිපිනයන් ආදිය ලබා දී කොටස් තැරැව්කාර ආයතනය දැනුවත් කළ යුතුය. එසේ නොවුවහොත් අදාළ ගනුදෙනු විස්තර ඔබගේ ජංගම දුරකථනයට නොලැබි යා හැකිය. 
 
කොටස් ගැනුම් සටහන් /විකුණුම් සටහන් සහ ගනුදෙනු තහවුරු කිරීමේ ලේඛන සම්බන්ධ දෝෂ නිවැරදි කර ගැනීම
 
යම් කිසි ආයෝජකයකුට තමා විසින් සිදුකළ ගනුදෙනු තහවුරු කර ගැනීම සඳහා ලැබී තිබෙන කොටස් ගැනුම් සටහන් හා විකුණුම් සටහන් සහ ගනුදෙනු තහවුරු කිරීමේ ලේඛන සම්බන්ධ දෝෂයක් නිවැරදි කර ගැනීමට අවස්ථාව ඇත. ඔබගේ ආයෝජන උපදේශකවරයා, ඔබගේ උපදෙස්වලට අනුකූලව මිලදී ගැනීම්/ විකිණීම් සිදුකර ඇති බවට සහතික කර ගැනීම සඳහා ඔබට ලැබෙන සියලු‍ මිලදී ගැනීම්/විකිණීම් හොඳින් පරීක්ෂා කර බැලිය යුතුය. අවසරයකින් තොරව ඔබගේ CDS ගිණුමට කොටස් මිලදී ගැනීම්/විකිණීම් කර ඇත්නම් ගනුදෙනුව සිදුවී දින 7ක් ඇතුළත එම පැමිණිළි කොටස් තැරැව්කාර ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී හෝ අනුකූලතා නිලධාරීවරයා (Compliance Officer) වෙත වහාම දැන්විය යුතු බව අදාළ ගනුදෙනු තහවුරු කිරීමේ ලේඛනයේම සඳහන් කර ඇත. 
 
ප්‍රාථමික කොටස් වෙළෙඳපොළ හා ද්විතියික කොටස් වෙළෙඳපොළ හඳුනා ගැනීම
 
කොටස් වෙළෙඳපොළෙහි ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන ආයෝජකයන්ට මෙම අවස්ථා දෙකෙන්ම කොටස් මිලදී ගත හැකිය. ප්‍රාග්ධනය රැස්කර ගැනීමේ අරමුණින් සමාගම් විසින් නව සුරැකුම්පත් වෙළෙඳපොළට ඉදිරිපත් කොට ඒවා මිලදී ගැනීමට මහජනතාවට ඇරයුම් කරයි. ආයෝජකයන් විසින් කොටස් නිකුත් කරන සමාගමෙන් සෘජුවම කොටස් මිලදී ගැනීමේ ක්‍රියාවලිය ප්‍රාථමික වෙළෙඳපොළ යනුවෙන් හඳුන්වයි. එය මූලික මහජන නිකුතුවක් ලෙසද (Initial Public Offer) හඳුන්වයි. 
 
ප්‍රාථමික වෙළෙඳපොළෙන් මිලදී ගත් කොටස් නැවතත් විවිධ ආයෝජකයන් අතර ගනුදෙනු වීම ද්විතීයික වෙළෙඳපොළ ලෙස හැඳින් වේ. මෙහිදී මතක තබා ගත යුතු වැදගත් කරුණක් වන්නේ ප්‍රාථමික වෙළෙඳපොළේදී කොටස් මිලදී ගැනීම පමණක් සිදු වුවද ද්විතීයික වෙළෙඳපොළේදී කොටස් මිලදී ගැනීම හා විකිණිම යන අංශ දෙකම ක්‍රියාත්මක වේ. මෙම ප්‍රාථමික කොටස් වෙළෙඳපොළ හා ද්විතියික කොටස් වෙළෙඳපොළ පිළිබඳ වැඩිදුර විස්තර අපගේ ඉදිරි ලිපිවලින් තවදුරටත් පැහැදිලි කරනු ඇත.
 
කොටස් තෝරා ගන්නා ආකාරය
 
කොටස් වෙළෙඳපොළෙහි ආයෝජනය කිරීමේදී බොහෝ ආයෝජකයන්ට කොටස් තෝරා ගැනීම සඳහා භාවිත කළ යුතු ක්‍රමවේද පිළිබඳව ඇති අවබෝධය ඉතා අඩුය. ශ්‍රී ලංකාවේ ද්විතීයික වෙළෙඳපොළ ලෙස ක්‍රියාත්මක වන කොළඹ කොටස් වෙළෙඳපොළෙහි මේ වන විට ලයිස්තුගත සමාගම් 286ක් තිබෙන අතර එම සමාගම් විවිධ ව්‍යාපාර ක්ෂේත්‍ර 20ක් යටතේ ලයිස්තුගතව ඇත. එම සමාගම් අතර විශාලත්වය අතින් වැඩි මධ්‍යස්ථ සහ කුඩා ප්‍රමාණයේ සමාගම් දැකිය හැකි අතර ආයෝජනය සඳහා කොටස් තෝරා ගැනීමේදී එයද සලකා බැලිය යුතුය. විශේෂයෙන්ම ප්‍රධාන පුවරුව, දිරිසවි පුවරුව සහ එම්පවර් පුවරුව යන පුවරු යටතේ ලයිස්තුගතව ඇත්තේ ඉහත කී ආකාරයේ විශාලත්වයෙන් යුත් සමාගම්ය. එපමණක් නොව මෙම සමාගම් විසින් නිකුත් කර ඇති විවිධ කොටස් වර්ගද දැකිය හැකි අතර සාමාන්‍ය කොටස් (ඡන්දබලය සහිත/ඡන්දබලය රහිත), වරණීය කොටස් වශයෙන් ඒවා අතර වෙනස්කම් දැකිය හැකිය. 
 
කොටස් තෝරා ගැනීමේදී තමන් ආයෝජනය කිරීමට කැමති ව්‍යාපාර ක්ෂේත්‍ර මොනවාද යන්න පළමුව තීරණය කර ඉන් අනතුරුව එම ව්‍යාපාර ක්ෂේත්‍ර යටතේ ලයිස්තුගතව ඇති සමාගම් මොනවාද යන්න විමසා බලා තමන් කැමැති සමාගම් තෝරා ගැනීම කළ යුතුය. එහෙත් සමහර ආයෝජකයන් අන් අය අනුකරණය කරමින් ඔවුන් කොටස් මිලදී ගන්නා සමාගම් දෙස බලා තමන්ද එම සමාගම්වල කොටස් මිලදී ගැනීමට යොමු වීම දැකගත හැකි තත්වයකි. එසේ කිරීම කොටස් වෙළෙඳපොළෙහි ආයෝජනය කරන්නන්ට සුදුසු හැසිරීමක් නොවන බව මතක තබා ගත යුතු අතර තමාට ගැළපෙන කොටස් තෝරා ගැනීමට ආයෝජකයන් වගබලා ගත යුතුය. 
 
කොටස් තෝරා ගැනීම හා ආයෝජනය රඳවා තබා ගත හැකි කාලය 
 
ආයෝජනය සඳහා සමාගම් තෝරා ගැනීමේදී ඔබ විසින් මිලදී ගන්නා කොටස් කොපමණ කාලයක් රඳවා තබා ගත හැකිද යන්න කල් ඇතිව තීරණය කර තිබීම ඉතා වැදගත්ය. ආයෝජන කාල පරාසය යනුවෙන් හඳුන් වන්නේද මෙයයි. කොටස් මිල දිනෙන් දින වෙනස් වන නමුත්, දිගුකාලීනව (උදාහරණ ලෙස වසර 5ක්) කොටස් රඳවා තබන විට, සමාගමේ වර්ධනය සමඟම කොටස් මිල වර්ධනය වීමේ හැකියාව වැඩි වේ. ලාබ බෙදාදීමේදීද (Dividends) දිගුකාලීනව කොටස් රඳවා තබන ආයෝජකයන්ට, සමාගම් වසරකට එක් වරකට වැඩි වාර ගණනක් වුවද ලාබ ලබාදීමට හැකියාව ඇත. දිගුකාලීනව ආයෝජනය කරන විට කෙටි කාලීන අස්ථායිතාවන්ගේ (Short-term Volatility) බලපෑමද අඩු වේ. සමාගමේ ආදායම් වැඩිවීම, නව ව්‍යාපාර ආරම්භ කිරීම, නව වෙළෙඳපොළකට පිවිසීම වැනි ව්‍යාපාරමය වැඩිදියුණුවීම් සඳහා අවම වශයෙන් වසර කිහිපයක් අවශ්‍ය වේ. මේ නිසා ආයෝජනය රඳවා තබා ගත හැකි කාලය වැඩි වන තරමට කොටස් වෙළෙඳපොළෙන් ලබන ප්‍රතිලාභය ඉහළ නංවා ගත හැකිය. 
 
මුලික විශ්ලේෂණය සහ කොටස් තෝරා ගැනීම
 
මූලික විශ්ලේෂණය යනු සමාගමක සත්‍ය වටිනාකම (intrinsic value) තක්සේරු කිරීමක් ලෙස හඳුන්වා දිය හැකිය. මෙය ආයෝජකයන් විසින් කොටස් මිලදී ගැනීමට හෝ විකිණීමට පෙර කරන විශ්ලේෂණ ක්‍රමයකි. මූලික විශ්ලේෂණයක අඩංගු ප්‍රධාන කරුණු වලින් එකක් වන්නේ සමාගමේ මූල්‍ය වාර්තා (Financial Statements) කෙරෙහි අවධානය යොමු කිරීමයි. එම මූල්‍ය වාර්තා අතර සමාගමේ ලාභාලාභ ප්‍රකාශනය (Income Statement), ශේෂ පත්‍රය (Balance Sheet), මුදල් ගැලීම් ප්‍රවාහය (Cash Flow Statement) ප්‍රධාන තැනක් ගන්නා අතර ඒවා සමාගමේ සත්‍ය වටිනාකම තක්සේරු කිරීමට උපකාරී වේ. ලයිස්තුගත සමාගම්වල වාර්ෂික වාර්තා සහ මූල්‍ය ප්‍රකාශන www.cse.lk යන කොළඹ කොටස් හුවමාරුවේ වෙබ් අඩවියට පිවිසීමෙන් පහසුවෙන් ලබාගත හැකිය. 
මූලික විශ්ලේෂණයක් සිදු කරන විට අවධානය යොමු කරන තවත් වැදගත් කරුණක් වන්නේ සමාගමක ගුණාත්මක හා ක්ෂේත්‍රමය සාධක (Qualitative & Sector Factors) කෙරෙහි අවධානය යොමු කිරීමයි. එනම් සමාගමේ කළමනාකාරීත්වය, තරඟකාරී තත්වය, කර්මාන්තයේ වර්ධනය යන සාධකයන්ය. මෙවැනි සාධකයන්ද සමාගමක කාර්යසාධනය ඉහළ නැංවීමට බලපානු ලබයි. අනෙක් සමාගම් සමඟ සැසඳීමේදී මෙම සාධක අනුව ඉදිරියෙන් සිටින සමාගම්වල කොටස් තෝරා ගැනීම ඉතා වැදගත් වේ. 
 
සමාගම් හා සම්බන්ධ විශ්ලේෂණයන් සිදු කරන විට මූල්‍ය අනුපාත වර්ග පිළිබඳවද ආයෝජකයන් අවධානය යොමු කළ යුතුය. සමාගමක සත්‍ය වටිනාකම කුමක්ද යන්න සොයා බලන විට සමාගම මෙම මූල්‍ය සංඛ්‍යාත්මක පරීක්ෂණ (Ratios & Metrics) කෙරෙහි අවධානය යොමු කිරීමද ඉතා වැදගත්ය. කොටසක ඉපයුම් (Earnings Per Share - EPS), මිල-ඉපයුම් අනුපාතය (Price to Earnings Ratio - P/E Ratio), හිමිකම් ප්‍රතිලාභ අනුපාතය (Return on Equity - ROE), ණය-හිමිකම් අනුපාතය (Debt to Equity Ratio) වැනි අනුපාත කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම හරහා සමාගමක කොටස් වටිනවාද නැද්ද යන්න තීරණය කිරීම පහසුය. 
 
සමාගමක කොටසක මිල අධිත්‍යක්සේරු වී තිබේද, එසේ නොවේනම් අවත්‍යක්සේරු වී තිබේද (overvalued/undervalued) යන්න හඳුනා ගැනීමට එය උපකාරී වේ. මේ අනුව සමාගමක කොටසක් තෝරා ගන්නා විට හෝ මිලදී ගැනීමට පෙර, එම සමාගම් පිළිබඳ මූලික විශ්ලේෂණයක් සිදුකිරීම අත්‍යවශ්‍ය බව වැටහේ. අදාළ සමාගමේ පසුගිය වසරවල ලාබ සහ ආදායම් වර්ධනය වී ආකාරය, සමාගම සතු සම්පත් හා ණය ප්‍රමාණය කෙසේද, ආදිය පිළිබඳව හොඳින් නිරීක්ෂණය කරමින් කොටස් මිලදී ගැනීම සාර්ථක ආයෝජකයකුගේ ලක්ෂණයකි. 
 
උදාහරණයක් ලෙස සමාගමක ණය ප්‍රමාණය වැඩි නම් අවදානමත් ඉහළ විය හැකිය. හිමිකම් ප්‍රතිලාභ, මිල ඉපයුම් අනුපාත, වැනි අනුපාත දෙසද ආයෝජකයන් අවධානය යොමු කරන්නේ නම් කොටසක මිල එහි අභ්‍යන්තර වටිනාකමට අනුව නිවැරදිද යන්න තේරුම් ගැනීමට පහසු වේ. කොටස් තෝරා ගැනීමේදී ආයෝජකයන් සෑම විටම අවතක්සේරු වී ඇති කොටස් කෙරෙහි අවධානය යොමු කළ යුතුය. තවද සමාගමක පරිපාලන කාර්යක්ෂමතාව (Management quality), නායකත්වය සහ තරගකාරී වාසි (Industry & competitive advantage) ආදී කරුණුද කොටස් තෝරා ගැනිමේදී වැදගත් වේ. 
 
කොටසක් තෝරා ගැනීම පිළිබඳ සරල උදාහරණයක්
 
ප්‍රථමයෙන් සමාගමේ මූලික තොරතුරු සොයා බැලිය යුතුය. ඒ අනුව අප, සලකා බලන සමාගමේ නම XYZ Holdings PLC යැයි උපකල්පනය කරමු. මෙම සමාගම වාණිජ, හෝටල්, බෙදාහැරීම්, ජාත්‍යන්තර වෙළෙඳාම, ICT, ආහාර, වාණිජ දේපළ වැනි ව්‍යාපාරවල නිරතව ඇත. සමාගමේ විශාලත්වය හෙවත් වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය (Market Capitalization) අනුව ගත් විටද ශ්‍රී ලංකාවේ විශාලතම සමාගම් අතරින් එකකි. සමාගමේ කොටස් හඳුනාගන්නේ XYZ N0000 ලෙසයි. එනම් ඡන්දබලය සහිත සාමාන්‍ය කොටස් නිකුත් කර ඇති සමාගමක් ලෙස හඳුනාගත හැකිය. 
 
මූලික විශ්ලේෂණය පිළිබඳව අවධානය යොමු කිරීමේදී සමාගමේ පසුගිය වසරේ ශුද්ධ ලාබය (Net Profit) ඉහළ වර්ධනයක් පෙන්නුම් කර ඇත. මිල ඉපයුම් අනුපාතය (P/E Ratio) සාමාන්‍යයෙන් 10-15 අතර සාධාරණ වටිනාකමක් පෙන්නුම් කරන අතර ණය හිමිකම් අනුපාතයද සාපේක්ෂව නියමිත සීමාවට අඩු අගයක් පෙන්නුම් කරයි. එනම් ඉතා අධික ණය බරක් නොමැති බව ඉන් කියවේ. හිමිකම් ප්‍රතිලාභ මට්ටම සියයට 7-10 සාමාන්‍ය මට්ටමේ සිට ඉහළට පැමිණ තිබේ. එනම් සමාගම කොටස් හිමියන්ට සාධාරණ වශයෙන් ලාභාංශ ලබා දී තිබේ. එහි කළමානාකාරීත්වය පිළිබඳව ගත්විටද, වසර 100කට වැඩි ඉතිහාසයක් සහිත විශ්වාසනීය කළමනාකරණ කණ්ඩායමක් සමාගම සතුව ඇත. අනාගතයේදී විශාල ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීමටද සැලසුම් කර ඇත. 
 
සමාගමේ කොටසක මිලද සාධාරණ ලෙස ඉහළ ගොස් ඇති අතර තවදුරටත් අනාගත වර්ධන අවස්ථා ඇත. එසේම බහු නිෂ්පාදන සහිත සාර්ථක ව්‍යාපාර ආකෘතියක් සහිත නිසා තරගකාරීත්වයද ඉහළ ගොස් ඇත. මේ නිසා විශ්වාසනීය, තරඟකාරී සහ විවිධාංගීකරණය වූ සමාගමක් අවශ්‍ය නම් මෙම මෙවැනි සමාගමක කොටසක් සලකා බැලීම වඩාත් යුක්ති සහගත ආයෝජන තීරණයක් විය හැකිය. 
 
කෙසේ නමුත්, මෙම කරුණු සියල්ල කෙරෙහි අවධානය යොමු කර කොටස් තෝරා ගැනීම නවක ආයෝජකයකුට අපහසු විය හැක. කොටස් තැරැව්කාර ආයතනවල සිටින ආයෝජන උපදේශකවරු මෙම කරුණු ආයෝජකයාට තේරුම් කර දෙනු ඇත. ආයෝජකයකු මෙවැනි කරුණු පිළිබඳව කාලයකට පසුව තේරුම් ගන්නා අතර, එය යම්කිසි කාලයක් ගත වන ක්‍රියාවලියක් වේ.
 
(ඉතිරි කොටස ලබන සතියේ) 



අදහස් (0)

කොටස් වෙළෙඳපොළ ආයෝජනය පියවරෙන් පියවර - 3

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site