
04 වන කොටස
මෙම ලිපිය ආයෝජකයන්ගේ මූල්‍ය සාක්ෂරතාව වැඩි දියුණු කිරීම සහ දැනුවත් මූල්‍ය තීරණ ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීමක් ලබාදීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් සකස් කරන ලද ලිපියකි.
කොටස් හෝ ණයකර, ඒකක භාර (CIS) ඇතුළු ආයෝජනවලින් යුත් ප්‍රාග්ධන වෙළෙඳපොළක් රටකට වදගත්වන ආකාරය පිළිබඳව අප පසුගිය ලිපිවලදී කෙටියෙන් පැහැදිලි කර දුන්නෙමු. එවැනි ප්‍රාග්ධන වෙළෙඳපොළක් තුළ ක්‍රියාත්මක වන ප්‍රධානතම ආයෝජනය කොටස් වෙළෙඳපොළ ආයෝජනය වන අතර රටක ආර්ථික පද්ධතියේ ඉතාමත් වැදගත් ස්ථානයක් එයට හිමිවේ. කොටස් වෙළෙඳපොළක් සමාගම්, ආයෝජකයන්, රජය, මූල්‍ය ආයතන සහ පොදු ජනතාවට විවිධ ආකාරවලින් වැදගත් වන අතර, රටේ සමස්ත ආර්ථික වර්ධනයටද විශාල දායකත්වයක් ලබා දෙයි.
බොහෝ පාර්ශවවලට කොටස් වෙළෙඳපොළ වැදගත්
කිසියම් රටකට එම රටේ කොටස් වෙළෙඳපොළ වැදගත් වන්නේ, රටේ ආර්ථිකය සංවර්ධනයට ඉන් විශාල සහයෝගයක් ලැබෙන බැවිනි. ඒ අනුව රජයක් උත්සාහ කරන්නේ වෙළෙඳපොළ මනාව පාලනය කරමින් ආයෝජකයන්ගේ ආරක්ෂාව සහ විශ්වාසය පවත්වා ගැනීම තහවුරු කිරීමටයි. කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවලින් රජයට බදු හා ගාස්තු මගින් ආදායම් ලැබීමද සිදුවේ. එසේම සමාගම් පැත්තෙන් සලකා බලන විට කොටස් වෙළෙඳපොළ වැදගත් වන්නේ ඔවුන්ගේ ව්‍යාපාර විකාශනයට මාර්ගයක් සපයන බැවිනි. නව ව්‍යාපෘති ආරම්භ කිරීමට හෝ ව්‍යාපාර පුළුල් කිරීමට අවශ්‍ය මුදල් එකතු කර ගැනීමට සමාගම් කොටස් නිකුත් කරයි. එසේ නව අරමුදල් රැස්කර ගනිමින් නව ආයෝජන අවස්ථා වලට යොමුවීමෙන් සිය නිෂ්පාදන ක්‍රියාවලි සක්‍රීය කර ගැනීමටත් ඒ හරහා නව රැකියා අවස්ථා බහුල වීමත් සිදු වේ. එය රජය පැත්තෙන් සලකා බැලූවද ධනාත්මක සාධකයකි. කොටස් වෙළෙඳපොළක් හරහා සමාගම් අරමුදල් රැස්කර ගන්නා විට ඔවුන්ට බැංකු ණය ගැනීමේ අවශ්‍යතාවද අඩු වේ. තවද කොටස් වෙළෙඳපොළේ ලයිස්තුගත වීමෙන් සමාගම්වල කීර්තිනාමය හා විශ්වාසය ඉහළ නංවා ගැනීමටත් හැකි වේ.
ආයෝජකයන්ගේ පාර්ශවයෙන් සලකා බැලූවද කොටස් වෙළෙඳපොළ විශාල වැදගත්කමක් ඇත. ඔවුන් තම මුදල් කොටස් මිලදී ගෙන කාලයක් ළඟ තබා ගැනීම හරහා මිල ඉහළ යන විට ප්‍රාග්ධන ලාබයක් ලබා ගනී. තවද සමාගම් විසින් ගෙවනු ලබන ලාභාංශ ලබා ගැනීමට හැකි නිසා ඔවුන්ට අමතර ආදායමක් ලැබේ. නොමිලේ කොටස් ලැබීම, හිමිකම් කොටස් ලැබීම ආදී තවත් විවිධ ප්‍රතිලාභද ආයෝජකයන්ට හිමිවේ. කොටස් වෙළෙඳපොළ දිගුකාලීන ආයෝජන සැලසුම් කර ගැනීමටත්, විශ්‍රාම දිවිය සාර්ථකව ගත කිරීමටත්, තමාට ගැළපෙන ආදායම් මාර්ගයක් වශයෙන් යොදා ගැනීමටත් උපකාරී වේ. මේ අනුව රජයකට, සමාගම්වලට සහ ආයෝජකයන්ට පමණක් නොව, පොදු ජනතාවගේ පැත්තෙන් බැලූවද කොටස් වෙළෙඳපොළක් පුළුල් වැදගත්කමක් දක්වන බව කිව හැකිය. එනම් කොටස් වෙළෙඳපොළ සාර්ථකව ක්‍රියාත්මක වීම සමාගම්වල ව්‍යාපාර කටයුතු වැඩිදියුණු වීමටත් එතුළින් නව රැකියා අවස්ථා බහුල වීමත්, නිෂ්පාදනය හා සේවා ගුණාත්මකභාවය වැඩිවීමත් සමඟ ජනතාවගේ ජීවන මට්ටම් උසස් වීමත් සිදුවේ. එයින් අදහස් වන්නේ සමස්ත ආර්ථිකයම ශක්තිමත් වීමටත්, ජනතාව සතු අරමුදල් නිසි ලෙස කළමනාකරණය කර ගැනීමටත්, මූල්‍ය ක්ෂේත්‍රය ශක්තිමත්ව පවත්වා ගැනීමටත් කොටස් වෙළෙඳපොළක් වැදගත් වන බවය.
මෙලෙස ඉහළ වැදගත්කමක් ඇති කොටස් වෙළෙඳපොළ තමාට ගැළපෙන ආයෝජන මාර්ගයක් බවට පත් කර ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු කාරණා බොහෝ තිබේ. ඒවා එකිනෙක සරලව පියවරෙන් පියවර පැහැදිලි කර දීම මෙම පියවරෙන් පියවර ලිපි මාලාවේ අරමුණයි. ඒ අනුව අප ඉදිරිපත් කළ පසුගිය ලිපිවලින් කොටස් වෙළෙඳපොළ ආයෝජනයේදී මූලිකව සලකා බැලිය යුතු කරුණුවල සිට කොටස් ගිණුමක් ආරම්භ කර ගෙන කොටස් මිලදී ගන්නා ආකාරයත්, කොටස් තෝරාගන්නා ආකාරයත් සරලව පැහැදිලි කර දුන්නෙමු. මෙම ලිපියෙන්ද අප උත්සාහ කරනුයේ කොටස් මිලදී ගැනීමේදී ආයෝජකයන් ප්‍රධානවම අවධානය යොමු කළ යුතු වැදගත් කරුණු කිහිපයකින් ඔබව දැනුවත් කිරීමටයි. එනම් ආයෝජකයකුට කොටස් වෙළෙඳපොළෙන් කොටස් මිලදී ගැනීමට ඇති අවස්ථා දෙක වන ප්‍රාථමික හා ද්විතියීක කොටස් වෙළෙඳපොළ පිළිබඳව පියවරෙන් පියවර පැහැදිලි කර දීමයි.
ප්‍රාථමික වෙළෙඳපොළ සහ ද්විතියීක වෙළෙඳපොළ
ප්‍රාථමික වෙළෙඳපොළ යනු සමාගමක් පළමු වරට නව සුරැකුම්පත් (කොටස්, ණයකර) නිකුත් කරනු ලබන අවස්ථාවයි. උදාහරණයක් ලෙස මූලික මහජන නිකුතුවක් (IPO) සිදුකරමින් ප්‍රාග්ධනය රැස් කිරීම සඳහා සමාගම විසින් ආයෝජකයන්ට සෘජුවම කොටස් හෝ ණයකර විකුණනු ලැබේ. ද්විතියික වෙළෙඳපොළ යනු ආයෝජකයන් මෙම ප්‍රාථමික වෙළෙඳපොළ හරහා නිකුත් කරන ලද සුරැකුම්පත් කොටස් හුවමාරුවක් හරහා එකිනෙකා අතර ගනුදෙනු කරන ස්ථානයයි. එහිදී සුරැකුම්පත් නිකුත් කරන සමාගම මෙම ගනුදෙනුවලට සම්බන්ධ නොවේ. ද්විතියීක වෙළෙඳපොළක් ප්‍රාථමික වෙළෙඳපොළ තුළ මුලින් විකුණන ලද සුරැකුම්පත් සඳහා ද්‍රවශීලතාව සහ මිල සොයා ගැනීම සපයයි. ද්විතියීක වෙළෙඳපොළ පිළිබඳව අප පසුවට වැඩිදුර සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමු.
ප්‍රාථමික වෙළෙඳපොළ අවස්ථාව හරහා සමාගමක් කොටස් නිකුත් කරන්නේ ඇයි?
සමාගමක් විසින් මහජනතාවට කොටස් නිකුත් කරන්නේ විවිධ අරමුණ ඉටු කර ගැනීම පිණිසය. එවැනි අරමුණු අතර සමාගමට නව ව්‍යාපෘති ආරම්භ කිරීමට, යන්ත්‍රසූත්‍ර සපයා ගැනීමට, තාක්ෂණික සංවර්ධනය, හෝ ව්‍යාපාර පුළුල් කිරීම සඳහා වැනි අරමුණු ප්‍රධාන වන අතර ඊට අතිරේක මුදල් අවශ්‍ය වෙයි. එමෙන්ම සමාගමේ ණය බර වැඩි නම් එය අඩු කිරීම (Reduce debt burden) සඳහාද කොටස් නිකුත් කර මුදල් රැස්කර ගනිමින් ණය ප්‍රමාණය අඩු කළ හැකිය. සමාගමේ ප්‍රසිද්ධිය වැඩි කර ගැනීමද (Increase public image) තවත් අරමුණක් විය හැකිය.
උදාහරණ ලෙස සමාගමක් කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලයිස්තුගතවීම හරහා සමාගමේ විශ්වාසනීයත්වය හා ප්‍රසිද්ධිය වැඩි කරගැනීමට අපේක්ෂා කළ හැකිය. තවද, නව ආයෝජකයන් ආකර්ෂණය කර ගනිමින් සමාගමේ මූල්‍ය ස්ථාවරත්වය වැඩිකර ගැනීමත් තම සමාගමේ සේවකයන් ධෛර්යමත් කිරීම වෙනුවෙන් සමහර සමාගම් තම සේවකයන්ට කොටස් ලබාදෙමින් (Employee Share Ownership Plans (ESOPs) කොටස් නිකුතු සිදු කිරීමත්, සමාගමක් කොටස් නිකුත් කිරීමට හේතුවක් විය හැකිය. මෙම කරුණු අතුරින් වැඩි වශයෙන් දැකගැනීමට ලැබෙන්නේ සමාගමක් අරමුදල් සපයා ගැනීමට බැංකු ණයක් නොගෙන, ජනතාවගෙන් අරමුදල් එකතු කරගැනීමට පෙළඹිමයි. ඒ සඳහා කොටස් නිකුත් කිරීමට හෝ ණයකර නිකුත් කිරීමට තීරණය කරයි.
කොටස් නිකුතුවට සූදානම්වීම හා අනුමැතිය ලබා ගැනීම
සමාගමක් කොටස් නිකුත් කිරීමට අපේක්ෂා කරන්නේ නම්, කොපමණ කොටස් නිකුත් කරන්නේද, එක් කොටසක් විකිණීමට බලාපොරොත්තු වන්නේ කුමන මිලකටද, (උදා: රු.10ක්), කොටස් හිමිකම (ownership) බෙදා හරින්නේ කෙසේද (එක් පුද්ගලයකුට ලබා දෙන කොටස් ප්‍රමාණය) ආදී කරුණු සළකා බලමින් කොටස් නිකුතුව සිදු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරයි. ණයකර සම්බන්ධයෙන්ද මේ ආකාරයෙන්ම කරුණු සොයා බලා ණයකර නිකුතුවක් කිරීමටද සමාගමක් තීරණය කළ හැකිය. මෙය මූලික කොටස් නිකුතුවක් හෙවත් IPO (Initial Public Offering) එකක් ලෙසද හඳුන්වයි. එසේ කොටස් නිකුත් කිරීමට සමාගමක් අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා කොළඹ කොටස් හුවමාරුවෙන් අනුමැතිය ලබා ගැනීමද කළ යුතු වේ. ඒ සඳහා සකස් කළ අයදුම්පත කොටස් හුවමාරුව වෙත ඉදිරිපත් කළ යුතුය. එම අයදුම්පත සහ අදාළ ලේඛනවලට ප්‍රධාන වශයෙන් සමාගමේ සංස්ථා ප්‍රකාශය (Prospectus) සමාගමේ මූල්‍ය විස්තර, වාර්ෂික ගිණුම් වාර්තා, ණය තත්වය, නාමය, ලියාපදිංචි ලිපිනය, අධ්‍යක්ෂ මණ්ඩල විස්තර, නිකුත් කිරීමට අපේක්ෂා කරන කොටස් ප්‍රමාණය හා මිල ආදිය ඇතුළත් විය යුතුවේ. මෙම තොරතුරු සලකා බලා අනුමැතිය ලබා දෙන අතර එසේ අනුමැතිය ලැබුණු පසු සමාගම විසින් කොටස් නිකුතුව ප්‍රකාශයට පත් කළ යුතුය. එය සිදු කරන්නේ සංස්ථා ප්‍රකාශය (Prospectus) නැමති ලියවිල්ල ප්‍රසිද්ධ කරමින්ය. මෙවැනි කොටස් නිකුතුවක් සිදුකිරීමේදී ඒ සඳහා යම් පිළිවෙළක් ඇති අතර එම පිළිවෙළ සහ සංස්ථා ප්‍රකාශයක වැදගත්කම ගැන අවබෝධයක් තිබීමද කොටස් වෙළෙඳපොළෙහි ආයෝජනය කරන්නකුට බෙහෙවින් වැදගත් වේ.
අනුමැතිය ලැබීම හා නිකුතුව ක්‍රියාත්මක කිරීම
සකස් කළ අයදුම්පත් කොටස් හුවමාරුව වෙත ඉදිරිපත් කර අනුමැතිය ලැබුණු පසු, සමාගම IPO ප්‍රචාරණය ආරම්භ කරයි. සමාගමක් විසින් සිදු කරන මූලික කොටස් නිකුතුවක් පිළිබඳව ප්‍රවාරණයක් ලබා දෙනු ලබන්නේද විවිධ අරමුණු ඉටු කර ගැනීමට වන අතර ඉන් ප්‍රධානම අරමුණ සමාගම නිකුත් කරනු ලබන සියලු කොටස් මහජනතාවට අලෙවි කර ගැනීමේ අපේක්ෂාව විය හැකිය. මූලික කොටස් නිකුතුවක් සිදුකිරීම ආරම්භයේ සිට අවසානය දක්වා වූ පියවර ගණනාවකින් යුත් ක්‍රියාවලියකි. මෙවැනි මූලික කොටස් නිකුතූන් සිදු කරන සමාගම් මොනවාද යන්න පහසුවෙන් දැනගත හැකි ක්‍රමය වන්නේ කොළඹ කොටස් හුවමාරුව වෙබ් අඩවිය වන www.cse.lk වෙත පිවිසීමයි.
එහි “New Listings” කොටසෙහි කොටස් හෝ ණයකර සම්බන්ධ මූලික නිකුතු ගැන සඳහන් වේ. ඊට අමතරව ගුවන් විදුලි, රූපවාහිනී ඇතුළු විදූත් මාධ්‍ය, පුවත්පත් වැනි මුද්‍රිත මාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා ද කොටස් නිකුතු පිළිබඳව ප්‍රචාරණයන් සිදුවේ. අලුතින් කොටස් හෝ ණයකර නිකුත් කිරීමට නියමිත සමාගම් සහ ඊට අදාළ සංස්ථා ප්‍රකාශ කොටස් වෙළෙඳපොළ වෙබ් අඩවිය, අදාළ සමාගමේ වෙබ් අඩවිය හෝ කොටස් නිකුතුවට සම්බන්ධ ආයෝජන බැංකුවේ වෙබ් අඩවිය තුළ අන්තර්ගත කර තිබේ. කොටස් මිලදී ගැනීමට පෙර එම කොටස් මිලදී ගැනීමට සුදුසුද යන්න තීරණය කිරීම ආයෝජකයාගේ වගකීමක් වන අතර සංස්ථා ප්‍රකාශයක අඩංගු කරුණු කියවා අවබෝධකරගෙන කොටස් අයදුම්පත සම්පූර්ණ කර භාරදීමෙන් කොටස් මිලදී ගැනීම සාර්ථකව අවසන් කිරීමට හැකියාව ලැබේ.
මෙම ලිපියෙහි ඉතිරි කොටස ලබන සතියේ බලාපොරොත්තු වන්න.
කොටස් වෙළදපොල ආයෝජනය පියවරෙන් පියවර