IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


එයිට්කින් ස්පෙන්ස් ට්‍රැවල්ස් සමගින් එක්ව යොට් කලෙක්ෂන් කොළඹ - ගාල්ල වරායට


කොළඹ සහ ගාල්ල වරාය වෙත පසුගියදා පළමු වරට සේන්දු වූ ‘ද රිට්ස්-කාල්ටන් යොට් කලෙක්ෂන්’ The Ritz-Carlton Yacht Collectionයාත්‍රාවල කටයුතු හැසිරවීම සිදු කරමින් එයිට්කින් ස්පෙන්ස් ට්‍රැවල්ස් සමාගම තවත් එක් සුවිශේෂී කඩඉමක් පසු කළේය. මෙම නෞකාවල කුලුඳුල් පැමිණිම මගින් මනාව පෙන්නුම් කළේ එයිට්කින් ස්පෙන්ස් ට්‍රැවල්ස් සමාගම ලෝක ප්‍රසිද්ධ, අතිසුඛෝපභෝගී යාත්‍රා සන්නාම ශ්‍රී ලංකාවට හඳුන්වා දීම වෙනුවෙන් සිදුකරන අඛණ්ඩ වෑයමයි.

 ඒ හරහා සමාගම අපේක්ෂා කරන්නේ, විවිධ වරායවලින් සමන්විත ශ්‍රී ලංකාව සුඛෝපභෝගී සංචාරකයන්ට වඩාත්ම සුදුසු, මුල් පෙළේ ගමනාන්තයක් බව පෙන්වා දෙමින් ගෝලීය චාරිකා යාත්‍රා අංශයෙන් සංචාරක ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවේ නාමය ඉහළින්ම ඔසොවා තැබීමටයි.

ජාත්‍යන්තර වශයෙන්  The Ritz-Carlton Yacht Collection වෙත අසම සම නාමයක් හිමිව ඇත්තේ ඒවායෙහි පවතින නවීනතම සුවපහසුව හා අතිශය සුඛෝපභෝගී තත්වය නිසාවෙනි. එසේම, සේවා සම්බන්ධයෙන්  Ritz-Carltonසන්නාමයට හිමි විශිෂ්ටත්වයේ අත්දැකීම් Ritz-Carlton Yacht Collectionවිසින් ද සිය සේවාදායකයන් වෙත පිරිනමනු ලබයි. මෙකී සන්නාමයට අයත් නෞකාවන් ශ්‍රී ලංකා මුහුදු සීමාවට සේන්දු වීම, නෞකාවලින් සංචාරයේ යෙදෙන ඉහළ තලයේ නවතම ජන සමාජයක් අප රටට ආකර්ෂණය කරගැනීම වෙනුවෙන් ගනු ලැබූ වැදගත් පියවරකි.

කොළඹ සහ ගාල්ල වරාය වෙත පැමිණි මෙම සුවිශේෂී නෞකාවල සිටින සංචාරකයන්ට චාරිකා පහසුකම් සලසන නිල චාරිකා සහකරු වන්නේ එයිට්කින් ස්පෙන්ස් ට්‍රැවල්ස් සමාගමයි. සුඛෝපභෝගී නෞකා චාරිකා අංශය වැඩිදියුණු කිරීම පිළිබඳව සමාගම මෑත කාලයේ දී වැඩි අවධානයක් යොමු කළේ, චාරිකා සංචාරක ක්ෂේත්‍රයේ කීර්තිය දිනූ සන්නාම සමග සබඳතා ඇති කරගැනීම කෙරෙහි උනන්දු වෙමිනි. එහිදී සාගර චාරිකා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කදිම ගමනාන්තයක් බව පෙන්නුම් කිරීමට ද සමාගම සමත් වී ඇත. ශ්‍රී ලංකා මුහුදු සීමා වෙත The Ritz-Carlton Yacht Collectionයාත්‍රා ළඟාවීම යනු ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නගා සිටුවීම උදෙසා සමාගම විසින් ගනු ලැබූ අඛණ්ඩ වෑයම පිළිබඳ කදිම නිදසුනකි.

 The Ritz-Carlton Yacht Collection නෞකා ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්තවීමේ ඓතිහාසික සිදුවීම ගැන අදහස් දක්වමින්, එයිට්කින් ස්පෙන්ස් ට්‍රැවල්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, නලින් ජයසුන්දර මහතා මෙසේ කියා සිටියේය. “ශ්‍රී ලංකාව කරා සිය කුළුඳුල් චාරිකාවේ යෙදුණු The Ritz-Carlton Collection නෞකා සාදරයෙන් පිළිගැනීමේ අවස්ථාව අපට හිමි වීම සැබැවින්ම ඉමහත් සතුටට කාරණාවකි. සුඛෝපභෝගී නෞකා චාරිකා අංශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඉහළින්ම ඔසොවා තැබීම පිණිස අපේ කණ්ඩායම කෙතරම් කැපවීමෙන් හා උත්සාහයෙන් කටයුතු කරන්නේද යන්න මෙයින් මනාව පෙන්නුම් කෙරෙනවා. ගමනාන්තයන් පිළිබඳව ඉහළ තලයේ සංචාරකයන්ගේ පළමු තේරීමක් ලෙසට අප රටට උදා වනු ඇති අගනා අවස්ථාව එමගින් තහවුරු වෙනවා. අප රට යම් කිසි තීරණාත්මක වාතාවරණයකට පත්ව ඇති මෙවන් මොහොතක, ඉහළින් වැජඹෙන සංචාරකයන්ට නෞකා සංචාරය හරහා දිවයිනේ සුන්දරත්වය නරඹමින්, විවිධත්වය අත්විඳිමින් සදා මතකයේ රැඳෙන මිහිරි අත්දැකීම් සමූහයක් ලබාගැනීමේ හැකියාව දිගින් දිගටම සලසන්නට අපට හැකියාව ලැබෙනු ඇත” 

“ශ්‍රී ලංකාවේ ගමනාන්ත කළමනාකරණ සමාගම්වල ප්‍රමුඛයා වශයෙන් එයිට්කින් ස්පෙන්ස් ට්‍රැවල්ස් සමාගම සාර්ථක ගමනක යෙදී සිටිනු දක්නට ලැබීම අපට මහත් සතුටකි. ඉහළ තලයේ නෞකා සංචාරක අංශය කරා තැබූ මේ පළමු පියවර මගින් අද දින සනිටුහන් වුණේ සාර්ථක දිගු ගමනක ආරම්භයයි. ශ්‍රී ලංකාව නමැති මේ පාරාදීසය වෙතින් නොමියෙන සොඳුරු මතක සටහන් රැසක් සංචාරකයන්ට රැගෙන යාමේ හැකියාව ලැබෙන බව සහතික කිරීම අපගේ ඒකායන ප්‍රාර්ථනයයි” යනුවෙන් එයිට්කින් ස්පෙන්ස් පීඑල්සී හි සභාපතිනි, ස්ටෂානි ජයවර්ධන මෙනෙවිය සිය අදහස් දැක්වූවාය.

 



අදහස් (0)

එයිට්කින් ස්පෙන්ස් ට්‍රැවල්ස් සමගින් එක්ව යොට් කලෙක්ෂන් කොළඹ - ගාල්ල වරායට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site