IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ඉසව් කළමනාකරණ කර්මාන්තයට පිළිගැනීමක් රජයෙන් ඉල්ලයි

ඍජ‌ු රැකියා 30,000ක් සහ වක්‍ර රැකියා 80,000ක් පමණ උත්පාදනය කිරිමට සමත් වෙලා
අද වනවිට මේ කර්මාන්තයේ වටිනාකම  බිලියන 32ක්


භානුක අමරසිංහ 


රට තුළ රැකියා දහස් ගණනක් උත්පාදනය කරමින්, ආර්ථිකය වෙත විශාල දායකත්වයක් ලබා දෙන ඉසව්, මංගල අවස්ථා සහ විනෝදාස්වාදන කර්මාන්තය වෙත පිළිගැනීමක් ලබා දීමට කටයුතු කරන ලෙස  ඉසව් කළමනාකරණ සංගමය (Event Management Association) රජයෙන් ඉල්ලා සිටියි.  
ඒ අනුව, අදාළ ව්‍යාපාර ලියාපදිංචි කිරීම සහ සිය සංගමය වෙත රජයේ නිල පිළිගැනීමක් ලබාදීමට කටයුතු කිරීම ඇතුළු කාරණා කිහිපයක් සම්බන්ධයෙන් එම සංගමයේ ප්‍රධානීන් පසුගියදා වත්මන් රජයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වන ටිල්වින් සිල්වා මහතාද හමු වූ බවද පවසයි.  
මේ සම්බන්ධයෙන් ලංකාදීපFT වෙත අදහස් දැක්වූ සභාපති නිසල් කල්දේරා මහතා, මෙරට තුළ විවිධ ඉසව් සංවිධානය කිරීමේ ආයතන 70 කට ආසන්න සංඛ්‍යාවකගේ එකමුතුවකින් මෙම ඉසව් කළමනාකරණ සංගමය  සැදුම්ලත් වන බව පවසා සිටියේය.  
“අද වෙන කොට මෙම කර්මාන්තයෙන් ඍජු රැකියා 30,000ක් සහ වක්‍ර රැකියා 80,000ක් පමණ උත්පාදනය කිරිමට සමත් වෙලා තිබෙනවා. අද වනවිට මේ කර්මාන්තයේ වටිනාකම  බිලියන 32ක්. ඒත් තවමත් මේ කර්මාන්තය ගැන රජයේ පිළිගැනීමක් ලැබිලා නැහැ. ඒ නිසා අපිට සංස්කෘතික අමාත්‍යාංශය හරි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ හරි පිළිගැනීමක් ලබා ගැනීම තමයි අරමුණ.”  
එසේම කර්මාන්තය සඳහා දැනට පවතින වැට් බදු ගෙවීමේ (Accrued VAT)  ක්‍රමය මුදල් ගිණුම්කරණ වැට් ගෙවීමේ (Cash Accounting VAT) ක්‍රමයට  වෙනස් කිරීම මෙන්ම සිය කර්මාන්තයත් MICE කර්මාන්තයක් ලෙස සලකමින් එම කර්මාන්තයට අවශ්‍ය උපාංග ආනයනයේදී අය කරන බදු සඳහා සහනයක් ලබාදීමත් ඔවුන්ගේ ඉල්ලීම් අතර පවතී.  
මීට අමතරව කර්මාන්තයේ වත්මන් අවශ්‍යතාව අනුව සලකමින් දැනට පවතින විනෝදාස්වාදන බදු අය කිරිම  පිළිබඳව නැවත සිතා බැලීමක් සිදු කරන ලෙසත් එම සංගමය රජයෙන් ඉල්ලා සිටි බවත් සභාපති නිසල්  කල්දේරා මහතා වැඩිදුරටත් පවසා සිටියේය. 



අදහස් (0)

ඉසව් කළමනාකරණ කර්මාන්තයට පිළිගැනීමක් රජයෙන් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site