භානුක අමරසිංහ
නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය මේ වසරේ අප්‍රේල් මාසයේදී දර්ශකාංක 40.1ක් ලෙස සටහන්ව තිබේ. මෙය මාර්තු මාසයේදී වාර්තා කළ දර්ශකාංක 63.9 හා සැසඳීමේදී කැපී පෙනෙන පහළ වැටීමකි.
ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය 2025 අප්‍රේල් තුළ මේ පිළිබඳව සඳහන්ව තිබේ.
විශේෂයෙන්ම නිෂ්පාදන, නව ඇණවුම්, තොග මිලදී ගැනුම් සහ සේවා නියුක්තිය යන ප්‍රධාන උප දර්ශක පිළිවෙළින් 30.0ක්, 36.5ක්, 41.0ක් සහ 44.9ක් ලෙස පහත වැටීම ඊට බලපා තිබේ.
එහිදී උත්සව සමයේ පැවැති ඉලුල්ම අඩුවීමත් සමගින්ම, ආහාර හා පාන අංශයේ නව ඇණවුම් පහත වැටීම ප්‍රධානව හේතු වී තිබේ. එසේම සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේදී බොහෝ කර්මාන්තශාලා සිය මෙහෙයුම් තාවකාලිකව නවතා දැමීමෙන් අප්‍රේල් මාසයේ වැඩ කරන දින ගණන අඩුවීමත් ඊට හේතු වී ඇත.
නව ඇණවුම් සහ නිෂ්පාදනය පහත වැටීමත් සමග අප්‍රේල් මාසයේදී තොග මිලදී ගැනුම් උප දර්ශකය ද පහත වැටුණි. මේ අතර, ප්‍රධාන වශයෙන් උත්සව සමයේදී සැපයුම් දාමයන්ට ඇති වූ බාධා හේතුවෙන්, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය මාර්තු මාසයේදී පැවැති 56.3 හා සාපේක්ෂව අප්‍රේල් මාසයේ දී 57.00 ක් දක්වා තවදුරටත් ඉහළ ගොස් තිබේ.
මේ අතර ඉල්ලුම් තත්වයන්හි අපේක්ෂිත වර්ධනය හේතුවෙන්, ඉදිරි මාස තුනක කාලය සඳහා නිෂ්පාදන ක්‍රියාකාරකම් සඳහා වන අපේක්ෂා ඉහළ මට්ටමක පවතින බවත් මහ බැංකුව සඳහන් කරයි.
ඇණවුම් පහත වැටීමෙන් නිෂ්පාදන අංශයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය පහළට