ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) පවසන පරිදි 2024 වසරේ ඇඟලුම් අපනයනයෙන් ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 4.7කි. පෙර වසරට සාපේක්ෂව සියයට 5 කට ආසන්න වර්ධනයක් සනිටුහන් කරන එම ආදායමට මෙරට රෙදිපිළි ආනයනයද ඇතුළත් කළහොත් සමස්ත ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 5 ඉක්මවා යනු ඇත. මේ තුළින් පෙන්නුම් කරන්නේ දේශීය හා ගෝලීය අභියෝග මධ්‍යයේ වුව නොසැලී කටයුතු කිරීමට මෙරට ඇඟලුම් කර්මාන්තය සතු හැකියාවයි.
වර්ධන විශ්ලේෂණය
2019 වසර වසංගතයට හා ආර්ථික අර්බුදයට පෙර කර්මාන්තය පැවති සාමාන්‍ය තත්වයේ පදනම් වර්ෂය ලෙස සැලකුවහොත් 2024 වසරේදී අපනයන ආදායම සියයට 10.3 කින් පහළ ගියේය. අවසන් වරට 2019 වසරේදී ඇඟලුම් අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 5.3ක් උපයා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. ඒ තුළින් මනාව පැහැදිලි වන්නේ මෙරට ඇඟලුම් කර්මාන්තය නැවත යථා තත්වයට පත් කර ගැනීමට හා අහිමිව ගිය ජාත්‍යන්තර වෙළෙඳපොළ කොටස නැවත අත්පත් කර ගැනීම සියලු පාර්ශවවල ක්‍රියාකාරී මැදිහත් වීමක් අවශ්‍යව ඇති බවයි. කෙසේ වුවද ඒ සඳහා වන වෙළෙඳපොළ කාර්ය සාධනය යහපත් අනාගතයක් සඳහා වන ප්‍රතිචාර දක්වා තිබීම සතුටට කරුණකි.
ඇමරිකා එක්සත් ජනපද වෙළෙඳපොළ - ශ්‍රී ලංකාවේ විශාලතම ජාත්‍යන්තර වෙළෙඳපොළ වන එක්සත් ජනපදයට කළ අපනයනවල වාර්ෂික වර්ධනය සියයට 5.23 කින් ඉහළ යමින් ඇමරිකානු ඩොලර් බිලියන 1.9ක් දක්වා වර්ධනය වී ඇත. එහෙත් එය 2019 මට්ටම හා සැසැඳීමේදී සියයට 19.4ක පහළ යාමකි. ඉන් පැහැදිලි වන්නේ ඇමරිකා එක්සත් ජනපදය සඳහා වන අපනයන තව දුරටත් වර්ධනය කර ගැනීමේ හැකියාවක් ඇති බවයි.
එක්සත් රාජධානියේ වෙළෙඳපොළ - 2019 මට්ටමට ආසන්න තත්වයක් පෙන්නුම් කරමින් 2024 වසරේදී අපනයනය සියයට 7.65ක වර්ධනයක් සනිටුහන් කිරීමට සමත්ව ඇත.
යුරෝපා වෙළෙඳපොළ - සියයට 0.81ක මධ්‍යස්ථ වර්ධනයක් වාර්තා කර ඇති යුරෝපා වෙළෙඳපොළට කරන අපනයනයෙන් තරගකාරී හා දැඩි නියාමන සහිත වෙළෙඳපොළකට අවශ්‍ය ආරම්භක පියවර පවත්වා ගැනීමට හැකිවී තිබේ.
වර්ධනය වන වෙළෙඳපොළ - මෙරට ඇඟලුම් කර්මාන්තයේ විවිධ උපාය මාර්ගවල සාර්ථකත්වය ප්‍රදර්ශනය කරමින් අනෙකුත් වෙළෙඳපොළ වෙත කළ අපනයනයේ සියයට 10.13ක වර්ධනයක් දැකිය හැකි විය. මෙම ඉහළ යාමට හේතු වී ඇත්තේ වෙළෙඳපොළ අවශ්‍යතා හඳුනා ගැනීම, වෙළෙඳපොළ ග්‍රහණය කර ගැනීම හා අපගේ පාරිභෝගිකයන් වෙනුවෙන් තෙවැනි පාර්ශවීය රටවල් වෙත කරන ඍජු අපනයනයයි.
එරාවුර් ඇඟලුම් කලාපය
ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය නිරන්තරයෙන් අවධාරණය කර සිටින්නේ කර්මාන්තයේ දිගු කාලීන පැවැත්ම හා තරගකාරීත්වය වෙනුවෙන් දේශීය රෙදිපිළි නිෂ්පාදනය සඳහා යොමු වීම ඉතා වැදගත් වන බවයි. අක්කර 300කට අධික භූමි භාගයක පිහිටා ඇති එරාවුර් සැකසුම් කලාපයෙන් රෙදිපිළි නිෂ්පාදනයට අදාළ නිෂ්පාදන අවස්ථා උදා කර දීමට අරමුණු කොට ගෙන ඇත. මෙම කලාපයේ සිට රෙදිපිළි වර්ණ ගැන්වීම, සේදීම, ගෙතුම් හා රෙදි විවීම මෙන්ම කර්මාන්තශාලා ආශ්‍රිතව සිදුකරන අනෙකුත් දේ කළ හැකිය. සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් ඉතිරි කර ගැනීමේ අවස්ථාව සලසා දෙන මෙම සුවිශේෂී ව්‍යාපෘතියෙන් නිෂ්පාදන සඳහා වන කාලය අවම කර ගැනීමටත්, ශ්‍රී ලංකාව ගෝලීය ගැනුම්කරුවන් වෙත කරන අපනයනවල වටිනාකම් දාම ප්‍රවේශය තව දුරටත් වර්ධනය කරමින් ඔවුන් නිරතුරුව ඉල්ලා සිටින තිරසාරභාවය සහ ඇඟලුම් නිෂ්පාදනයේ සිට පාරිභෝගිකයා අතට පත්වන තෙක් පවතින ක්‍රියාවලියේ විනිවිදභාවය ඉහළ නැංවීමටත් හැකියාව උදා වේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ මහ ලේකම් යොහාන් ලෝරන්ස් මහතා මෙසේ පැවසීය.
ඇඟලුම් කර්මාන්තයේ හෙට දවස වෙනුවෙන් සිදු කළ හුදු ආරම්භයකට එහා ගිය ව්‍යාපෘතියක් වන එරාවුර් රෙදිපිළි කලාපය කර්මාන්තයේ ජීවගුණය පවත්වාගෙන යාමටද වැදගත් වනවා. වර්ධනය වෙමින් පවතින තරගකාරීත්වය ඉහළ නැංවීමට මෙන්ම ගෝලීය වෙළෙඳපොළ ඇති ඉල්ලුම සපුරාලීමට දේශීය වශයෙන් රෙදිපිළි නිෂ්පාදනය කිරීම අනිවාර්ය වේ. ”
ප්‍රවණතා සහ උපාය මාර්ග
ගෙවුණු වසර 5 තුළ වර්ධන ප්‍රවණතා විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ ඇඟලුම් ක්ෂේත්‍රයේ කැපී පෙනෙන ඔරොත්තු දීමේ හැකියාවක් පවතින බවයි. 2020 වසරේදී වසංගත තත්වය හේතුවෙන් ඇඟලුම් අපනයනය ඩොලර් බිලියන 4.1 දක්වා පහත වැටුණි. එය 2019 වසර හා සැසැඳීමේදී සියයට 22ක පහළ යාමකි. 2022 වසරේදී කොවිඩ් වසංගතයෙන් පසුව සමාගම් විසින් පුරෝකථනය කළ අධි තක්සේරුව හේතුවෙන් ඇඟලුම් අපනයන ආදායම තාවකාලිකව ඉහළ යන ලදී.
2023 වසරේදී එය නැවත පසුබෑමට ලක් වූයේ ගෝලීය උද්ධමනය ඉහළ යාම හා පාරිභෝගික මිලදී ගැනීමේ හැකියාව පහළ යාම වැනි හේතු නිසාවෙනි. විවිධ අභියෝග හමුවේ 2024 වසරේදී නැවත සියයට 5ක වර්ධනයක් අත් කර ගැනීමෙන් පිළිබිඹු වන්නේ සැපයුමට සරිලන ඉල්ලුමක් නොපවතින හෙයින් මිල මත ඇති කර ඇති යටිකුරු පීඩනයයි.
මෙහිදී ඇඟලුම් කර්මාන්තය හා රජයේ පාර්ශවය අතර අඛණ්ඩ සහයෝගීතාවේ වැදගත්කමද ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය විසින් අවධාරණය කර සිටියි. වෙළෙඳපොළ ප්‍රවේශය ඉහළ නැංවීම, එරාවුර් රෙදිපිළි කලාපය වැනි යටිතල පහසුකම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, විදුලි බිලෙහි විනිවිදභාවය හා පුරෝතකනය, කොළඹ වරායේ වත්මන් මෙහෙයුම් බාධක ලිහිල් කිරීම වැනි ප්‍රතිපත්තිමය ක්‍රියා මාර්ග කර්මාන්තයේ දිගු කාලීන සංවර්ධනයට ඉතා වැදගත් වන බව එම සංගමයේ අදහසයි.
විශේෂයෙන් තරගකාරී රටවල් හා සැසඳීමේදී ශ්‍රී ලංකාවේ බලශක්ති වියදම ඉතා ඉහළ මට්ටමක පවතින වාතාවරණයක පසුගියදා සිදුකළ විදුලි ගාස්තු සංශෝධනය කර්මාන්තයට ඉතා වැදගත් වේ. ඇඟලුම් සංගම් සංසදය, සාධාරණ හා පිරිවැය ඵලදායී බදු ක්‍රමයක් සහිත විදුලි උත්පාදනයක් පාරිභෝගිකයන් වෙත ලබා දීමට අවශ්‍ය වඩාත් ලාබදායී ජනන ක්‍රමවේදයක් අනුගමනය සහතික කිරීමට මහජන උපයෝගීතා කොමිසමේ ස්වාධීනත්වය වෙනුවෙන් දිගු කාලයක් තිස්සේ පෙනී සිට ඇත.
ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට ඉන්දුනීසියානු රෙදි පිළි යොදා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා ඉන්දුනීසියාව එක්ව එක්සත් රාජධානියේ DCTS වරණීය තීරුබදු වැඩසටහන වෙතින් ඉල්ලීම් කර ඇති අතර එම ඉල්ලීම් අනුමත වුවහොත් ඉන්දුනීසියානු රෙදිපිළි භාවිතයෙන් නිපදනවන මෙරට ඇඟලුම් සඳහා තීරුබදු රහිතව එක්සත් රාජධානි වෙළෙඳපොළ ලබා දීමට හැකිවනු ඇත.
වැඩිදුරටත් අදහස් දැක්වූ ලෝරන්ස් මහතා සඳහන් කර සිටියේ “2019ට පෙර පැවති තත්වය නැවත උදාකර ගැනීමට නම් උපාය මාර්ගික ආයෝජන හා ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කළ යුතුයි. ඒ මඟින් ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයට ඩොලර් බිලියන 6ක අපනයන ඉපැයීමක් කළ හැකි අතරම ගුණාත්මක හා ආචාර ධාර්මික ඇඟලුම් නිෂ්පාදන ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා බවට පත් වෙමින් ඩොලර් බිලියන 6කට වැඩි අපනයන ආදායමක් අපට අත්කර ගත හැකියි. යනුවෙනි.
ඇඟලුම් කර්මාන්තයේ සියයට 5 ක අපනයන වර්ධනයක්