IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


ආර්ථික වර්ධනයේ පදනමකට පළාත් පාලන ආයතන


සාරා කන්දෙගොඩ


ජාත්‍යන්තර ප්‍රවණතා අනුව කසළ යනු වටිනාකමක් ඇති දෙයක් සේ සැලකේ. පළාත් පාලන ආයතන කසළ එකතුකර විනාශ කරන නමුත් ඒවායේ ඇති සම්පත් ප්‍රයෝජනයට ගත යුතුය. 2024 වසරේ ජපානය ඔලිම්පික් පදක්කම් සඳහා අවශ්‍ය ලෝහ කසළ ප්‍රතිචක්‍රීයකරණයෙන් ලබාගෙන ඇත.  ලෝකයේ සෑම රටක්ම පාහේ ඉවතලන ද්‍රව්‍යවලින් නැවත අමුද්‍රව්‍ය සකස් කරන අතුරු කර්මාන්ත දියුණු කරයි. පළාත් පාලන ආයතන කසළ බැහැර කිරීමේ ක්‍රමවේදය තුළ කොම්පෝස්ට් බඳුන් හා ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි ද්‍රව්‍ය එකතුකරන සැලැස්මක් ක්‍රියාත්මක කළහොත් වඩා ඵලදායී ආර්ථිකයකට ඇතුළු විය හැකිය.

 

පළාත් පාලන ආයතන නියෝජිතයන් තෝරා ගැනීමේ මැතිවරණය සඳහා දින නියම කර තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී රටක මහජන මතය ප්‍රකාශයට පත් කිරීම වැදගත්ය. ආර්ථික අර්බුදය හේතු කොට ගෙන පළාත් පාලන ඡන්ද කල් දැමිණ. පසුගිය වසරේ අගෝස්තු 24 වැනි දා අධිකරණය විශේෂ ප්‍රකාශයක් කරන ලද අතර ඡන්ද ප්‍රමාදය සුදුසු නැති බවට රජයට පෙන්වා දී තිබේ. වත්මන් රජයේ කැබිනට් තීරණයකට අනුව නගර සභා, සුළු නගර සභා සහ ප්‍රාදේශීය සභා 336 ක් සඳහා නාම යෝජනා කැඳවීමට තීරණය කෙරිණ.

ඡන්ද පවත්වන සූදානම තිබුණ නමුත් නාම යෝජනා භාරගන්නා දිනයේ දී දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වල ලැයිස්තු 400 ක් පමණ ප්‍රතික්ෂේප  විය. සාක්ෂරතාව අතින් ඉහළ සහ නීතිඥවරු ඇතුළු පළපුරුදු පිරිස් සකස් කරන නාම යෝජනා ලැයිස්තු අතරින් මෙපමණ විශාල කොටසක් බැහැර කරන්නට සිදුවීම සැලකිය යුතු කරුණකි. කෙසේ වෙතත් ප්‍රතික්ෂේපිත කණ්ඩායම් අධිකරණයට ගිය අතර ශ්‍රේෂ්ඨාධිකරණය ලැයිස්තු 37 ක් හා අභියාචනාධිකරණය තවත් ලැයිස්තු 35 ක් පිළිගන්නා ලෙස මැතිවරණ කොමිසමට නියම කර ඇත. අනතුරුව දේශපාලන කණ්ඩායම් ලබාගත් වාරණ නියෝග හෙයින් කොළඹ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන ගණනාවක ඡන්දය පැවැත්වෙන්නේ නැත. මහජනතාවට වඩාත් සමීප පරිපාලන ඒකකයේ නියෝජිතයන් තෝරා ගැනීම සඳහා පැවැත්වෙන මැතිවරණය සමග රට පුරා අලුත් දේශපාලන උනන්දුවක් හටගෙන ඇත.

අලුත් ඡන්ද ක්‍රමයකට අලුත් ඡන්දදායක පිරිසක්

1991 වසරේ දී පළාත් පාලන මැතිවරණ හා මෙම නගර සභා හා සුළු නගර සභා ක්‍රමය රටට හඳුන්වා දී ඇත. පැරණි ක්‍රමය යටතේ හය වතාවක් දැනට පළාත් පාලන ඡන්දය පවත්වා තිබේ. 2025 පළාත් පාලන ඡන්දය පවත්වන හා සභිකයන් තෝරා ගැනීමේ ක්‍රමවේදය විශේෂ වන අතර පසුගිය වසරේ පවත්වන ලද ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද ප්‍රතිඵලය එයට සාක්ෂියකි. මනාප හා සෘජු ඡන්ද පමණක් නොව පක්ෂයට ද බලපෑමක් කළ හැකි මෙම ක්‍රමය අනුව ඉතාම සංකීර්ණ මහජන මතයක් ප්‍රකාශයට පත්වනු ඇත. ඡන්ද අපේක්ෂකයන්ට වියදම් කළ හැකි මුදල සම්බන්ධ නව නීති ක්‍රියාත්මක පළමු පළාත් පාලන මැතිවරණය මෙය වන අතර කාන්තා නියෝජනයට වැඩි ඉඩක් සැපයෙන හෙයින් අලුත් අත්දැකීමක් වනු ඇත. පළාත් පාලන ඡන්දයක දී සිය මනාපය පළ කර නැති තරුණ ඡන්ද ලක්ෂ ගණනක් මෙවර භාවිත කෙරෙනු ඇතැයි සැලකේ. අලුත් අදහස් අලුත් මතවාද හේතුකොටගෙන තීරණාත්මක ප්‍රතිඵලයක් අපේක්ෂා කළ හැකිය.

ජාතික මැතිවරණවල දී පක්ෂයකට බලය ලැබෙන නමුත් පළාත් පාලන මැතිවරණයක දී පක්ෂ බලය හා සමානව තම නියෝජිතයා පත් කිරීමේ දී සලකා බලන පැති ගණනාවකි. නිතර හමුවෙන සහ පොදු පහසුකම් ගැන අවධානය යොමු කරන පුද්ගලයන් අපේක්ෂකයන් අතරින් තෝරා ගැනීමට ඉඩ තිබේ. 

පළාත් පාලන ආයතනය මෙරට ජනතාවට සමීප රජයේ කුඩාම පාලන අධිකාරියයි. එහි වගකීම බල ප්‍රදේශයේ කැළි කසළ ඉවත් කිරීම, වීදි හා අතුරු මාර්ග සුළු නඩත්තුව, සෞඛ්‍ය හා සනීපාරක්ෂක පහසුකම් ගැන අවධානය, දේපොළ ලියාපදිංචිය, බලපත්‍ර නිකුත් කිරීම, නිවාස ඉදිකිරීම් හා එයට ඉඩම් සැලසුම් අනුමත කිරීම ඇතුළු කාර්ය ගණනාවකි. මෙවැනි දේ මහජනතාවට ඉතාමත් වැදගත්ය. රටක ආර්ථිකයට බලපාන සාදක වශයෙන් සැලකිය හැකිය. එහෙයින් පළාත් පාලන ආයතනවල නියෝජිතයන් තෝරා ගැනීමේ දී දේශපාලන බලය හා සමානව ප්‍රාදේශීය මහජන අවශ්‍යතා නිසි ලෙස පවත්වාගෙන යාම උවමනා කෙරෙන මහජන නියෝජනයක් ඇති කිරීම අවශ්‍යය.

පළාත් පාලන මැතිවරණය හා ආර්ථිකය

පළාත් පාලන මැතිවරණය සමග තාවකාලික මැතිවරණ ආර්ථිකයක් බිහිකර තිබේ. ජාතික මටට්මේ මැතිවරණ හා සමානව සභිකයන්ට ද වියදම් කරන්නට සිදුවී තිබේ. එය පාලනය කරගත නොහැකි තරමට පුළුල් වූ පසු මැතිවරණ කොමිසම එක් ඡන්දදායකයකුට වැය කළ හැකි සීමා ගැන තොරතුරු ප්‍රකාශයට පත් කොට තිබේ. දේශපාලනයේ දී ඡන්ද සඳහා වැය කරන ධනය විශාලය. ආර්ථික අර්බුදයක් සහිත රටකට ඔරොත්තු දෙන්නේ නැත. 

අනෙක් අතට මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා මුදල් උපයා ගන්නා ක්‍රම ගැන චෝදනා තිබේ. අතිශය දූෂිත ගනුදෙනු ගැන කියැවේ. හිතවත් පිරිස් ආධාර කරන නමුත් ආපසු ගෙවන ක්‍රමවේද තුළ පිරිසුදු ආර්ථිකයක් ගොඩ නැගෙන්නේ නැත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවා සිය සැලැස්ම තුළ දූෂණ හා අක්‍රමිකතා වළක්වන පියවර සඳහා තැනක්  දී තිබුණි. 2025 පළාත් පාලන මැතිවරණයේ දී පවා අපේක්ෂකයකුට එක ඡන්දයක් සඳහා  රුපියල් 74-160 අතර  මුදල් වැයකළ හැකි බව මැතිවරණ කොමිසම දක්වයි. ඡන්දය අවසානයේ දී වියදම් කරන ලද මුදල හා ඒවා උපයාගත් ආකාරය පැහැදිලි  කළ යුතුව තිබේ.

මෙතෙක් පැවැති ඡන්දවලදී පක්ෂ හා අපේක්ෂකයන් එකතු වූ විට කෙටි කාලයක් තුළ හුවමාරු වන ධනය විශාල එකකි. මේ ධනය අලුතින් උපද්දන මුදලක් නොවේ. ධනවතුන්ගේ සිට සාමාන්‍ය පුද්ගලයකු දක්වා මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ආධාර කෙරෙන ක්‍රම ඇත. මුදල ඔවුන් අවසානයේ දී එම පිරිවැය ගෙවන්නේ ආර්ථික ක්‍රමය තුළ සිදුවීම්වලින් බව පෙන්වා දිය යුතුය. පළාත් පාලන මැතිවරණය මහජනතාවගේ සහභාගීත්වයෙන් ඔවුනගේ ආර්ථිකයට බලපෑමක් කිරීමෙන් පවත්වන එකක් හෙයින් විශේෂ අවධානයට ලක්විය යුත්තකි.

පළාත් පාලන ආයතනයක වගකීම, එයින් ඉටු කරන කාර්ය භාරය ශක්තිමත් විය යුතුය. ලාංකික පවුල්වලින් සියයට හතකට නිවාස නැත. නිවාස ඇති පිරිසෙන් තුනෙන් එකක් ජීවත්වන්නේ අඩක් සම්පූර්ණ කළ නිවාසවලය. තවත් සියයට හයක් ජීවත් වන්නේ වතු නිවාස ලැයිම් කාමර හා අටවාගත් පැල්පත්වල බව ලෝක බැංකුව මෑතක දී ශ්‍රී ලංකාවේ නිවාස සම්බන්ධව සකස් කළ වාර්තාවක් කියයි. කුඩා නිවසක් ඉදිකර ගැනීමට විශාල වියදමක් දරන්නට සිදුවේ. ඉඩම ඉතාම අධික මිලක් දක්වා ඉහළ ගොස් ඇත. ඉඩම් කැබැලි කිරීම, නිවාස ඉදිකිරීමට අනුමැතිය වැනි කටයුතු සඳහා පළාත් පාලන ආයතන ක්‍රමය තුළ ප්‍රතිපාදන පවතී, 

බදු අය කරගැනීම ඉදිරියේ වැඩි වගකීමක්

පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය සමග බලයට පත්වන පුංචි ආණ්ඩුවල වගකීම පුලුල් වී තිබේ. දැනට කර ඇති බදු සංශෝධන අනුව ඉඩමක් මිල දී ගැනීම හා නිවාසයක් තැනීම සඳහා දේශීය ආදායම්හි බදු ලිපිගොනු අංකය අනිවාර්ය කර තිබේ. සාමාන්‍ය පුරවැසියකු බදු ගෙවන්නට සුදුසුකම් ලබන තද පියවරක් වශයෙන් මූලික අවශ්‍යතා සඳහා නිවාසයක් යන කරුණ ඇතුළත් කර තිබේ. අනෙක් අතට 2025 අප්‍රියෙල් මාසයේ සිට මුද්දර ගාස්තු දෙගුණ කර ඇත. එය අයවැය යෝජනාවකි. ඉඩම් හා දේපොළ මිල දී ගන්නා පසු ඒවා සහතික කරන ලියැවිලි අතර වටිනාකම අනුව බදු ගෙවා මුද්දර ඇලවීම අවශ්‍යතාවකි. එම ආදායම පළාත් සභාවලට ලැබෙන අතර කොටසක් පළාත් පාලන ආයතනවලට හිමිවේ. රථවාහන දඩවලින් කොටසක් ද පළාත් පාලන ආයතනවලට ලැබේ. වාහන ගාල් කරන ස්ථාන වලින් ලැබෙන ගාස්තු යනාදිය ද තවත් ආදායම් අංශයකි. කාර්ය බහුල නගර හා සුළු නගරවලට මෙම ආදායම සැලකිය යුතු ධනයක් උත්පාදනය කරයි. මෙකී වාර්ෂික ආදායම සලකා බලා පළාත් පාලන ආයතන ඉදිරිපත් කරන යෝජනා අනුව ප්‍රදේශයේ සුළු සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාවට නැංවේ.

සුළු යෝජනා ක්‍රම වශයෙන් දක්වන නමුත් ඒවා ඉතා ප්‍රයෝජනවත්ය. අතුරු මාර්ගයක් වැඩි දියුණු කරන පසු එය සැලකිය යුතු වාසි අත්පත් කර දේ. ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවගේ නිෂ්පාදන වෙ​ෙළඳපොළට ගෙන යන පහසුව ඇති කරයි. මාර්ග ආලෝකවත් කිරීම, කානු පද්ධති නඩත්තුව හා කසළ බැහැර කිරීම යනාදිය අත්‍යවශ්‍ය කාර්යයන් වේ. කැළි කසළ බැහැර කිරීම හා ජලාපවාහනය නිසි පරිදි සකස් කළහොත් සෞඛ්‍ය පහසුව ඇති වේ. මදුරුවන් බෝ කිරීම ගැන ජනතාවට දඩ නියම කරන නමුත් පළාත් පාලන ආයතනවල වගකීම පසෙක තබා තිබේ. දුමායනය වැනි දේ සිදු කරන්නේ නැත. පොදු ක්‍රීඩාංගණ නඩත්තු නොකරන අතර ඒවායේ කසළවලින් විශාල විපත් ඇති කරන බව සෑම ප්‍රදේශයකින්ම ලැබෙන වාර්තා පෙන්වයි. බලයට පත්වන පළාත් පාලන ආයතන සභිකයන් ජාතික ප්‍රශ්න වෙනුවට ප්‍රදේශයේ ගැටලු නිරාකරණයට අවධානය යෙදවිය යුතුවේ. 

සේවා කටයුතු කාර්යක්ෂම කිරීම අවශ්‍යය. පළාත් පාලන ආයතන ගණනාවක සේවා අන්තර් ජාලයෙන් කරගත හැකි බව කියන නමුත් වැසියන්ගේ වරිපනම් බදු ගෙවීමට හෝ නිසි ක්‍රමවේද නැත. වැඩ කරන ජනතාව නිසිකලට වරිපනම් ගෙවීම සඳහා පෝලිම්වල සිටින ආකාරය පසුගිය දිනවල දැකගත හැකි විය. පළාත් පාලන ආයතනවල ආදායම එක්රැස්කරගන්නා ක්‍රම පවා පහසු පරිදි දියුණු කළ යුතු යුගයකි. මැතිවරණ ප්‍රචාරණය පැවැත්වෙන මෙම කාලයේ දී එම පරිවර්තනය ගැන අවධානය යොමු කරන්නට අපේක්ෂකයන් වගබලාගත යුතුව තිබේ.   

සාම්ප්‍රදායික රාමුව වෙනස් කරන ක්‍රමවේද

ප්‍රදේශයේ නිෂ්පාදන හා සේවා බළකාය පළාත් පාලන ආයතන සමග සම්බන්ධය. මෙම පාර්ශ්වයන්ට අවශ්‍ය පහසුකම් ගැන අවධානය ලොකු ආර්ථිකයක් කරා ගමන් කරන පදනම වේ. වගාකරුවන්, නිෂ්පාදකයන් සඳහා සති පොළ සංවිධානය විය යුතු අතර එම සතිපොළ තුළ සෞඛ්‍ය විධිවිධාන හා ප්‍රමිතිය සහතික කිරීම සඳහා අලුතින් පත්වන පළාත් පාලන ආයතන නැඹුරුවීම අවශ්‍යය. පළාත් පාලන ආශ්‍රිතව සති පොළ ක්‍රමය ජනප්‍රිය කරවීමෙන් දැනට මහත් ගැටලුවක් වී ඇති නිෂ්පාදන අලෙවියට ඇති බාධා තුරන් කරනු ඇත. නිෂ්පාදකයන් අතරමැදියන්ට හසු වී ඇති අතර අඩු මිලට මුදල් පසුව ගෙවන  ක්‍රම අනුව විකිණීම වෙනුවට කෙළින්ම නිෂ්පාදකයා හා පාරිභෝගිකයා සම්බන්ධවන පොළ ක්‍රම සංවිධානයෙනි. වෙෙළඳපොළ ග්‍රහණයෙන් සාමාන්‍ය ජනතාව ගලවා ගත හැකි වේ. මෙහි දී සෞඛ්‍යාරක්ෂිත නිෂ්පාදන හා නිසි ප්‍රමිතිය ගැන කරුණු අවබෝධ කරන දෙන නිලධාරීන් යෙදවීමෙන් මෙම සංකල්පයට අලුත් ජවයක් ලබාදිය හැකිය. 

ඉඩමක් මිලදී ගැනීම, නිවාසයක් ඉදිකිරීම සෑම පුද්ගලයකුගේම සිහිනයකි. වාර්තා දක්වන පරිදි මෙරට දරු පවුල්වලින් සියයට අසූවකට නිවාස ණයක් අයැදුම් කළ නොහැකිය. ණය සපයන ආයතන ඉදිරිපත් කරන කොන්දේසි සපුරන්නට හැකියාවක් නොමැත. හැකියාවක් ඇති අය මෙවැනි නිවාස ණයක් ගන්නට අවශ්‍ය කරන ලියැකියැවිලි හා ඒ නීතිමය තත්වය සම්පූර්ණ කර ගැනීමට සැලකිය යුතු පිරිවැයක් දරන්නට සිදුවේ. පළාත් පාලන ආයතනයක වීථි රේඛා, පවරා නොගැනීමේ සහතික හා තක්සේරු වටිනාකම වැනි සරල දේ සඳහන් නීත්‍යනුකූල ලිපියක් පළාත් පාලන ආයතන නිකුත් කරන අතර මෙම ලිපිය ගන්නට ඒ වෙනුවෙන් ගෙවන ගාස්තුව මෙන් දහස් ගුණයක හිරිහැරයක් මහජනතාවට විඳින්නට සිදු වී තිබේ. මේවා ගැන සූක්ෂ්ම ක්‍රමවේද සකස් කිරීම සුදුසුය. කාලානුරූපව වේගයෙන් හා කාර්යක්ෂමව මුල්‍ය ආයතනවලට අවශ්‍ය තොරතරු සැපැයීම හා ඒ සඳහා දෙපාර්තමේන්තු හා බැංකු අතර අන්තර් ජාල සම්බන්ධතා ගොඩනැගීම පළාත් පාලන ආයතනවල අලුත් සභිකයන් ගේ වගකීමකි. 

ජාත්‍යන්තර ප්‍රවණතා අනුව කසළ යනු වටිනාකමක් ඇති දෙයක් සේ සැලකේ. පළාත් පාලන ආයතන කසළ එකතුකර විනාශ කරන නමුත් ඒවායේ ඇති සම්පත් ප්‍රයෝජනයට ගත යුතුය. 2024 වසරේ ජපානය ඔලිම්පික් පදක්කම් සඳහා අවශ්‍ය ලෝහ කසළ ප්‍රතිචක්‍රීයකරණයෙන් ලබාගෙන ඇත. 

ලෝකයේ සෑම රටක්ම පාහේ ඉවතලන ද්‍රව්‍යවලින් නැවත අමුද්‍රව්‍ය සකස් කරන අතුරු කර්මාන්ත දියුණු කරයි. පළාත් පාලන ආයතන කසළ බැහැර කිරීමේ ක්‍රමවේදය තුළ කොම්පෝස්ට් බඳුන් හා ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි ද්‍රව්‍ය එකතුකරන සැලැස්මක් ක්‍රියාත්මක කළහොත් වඩා ඵලදායී ආර්ථිකයකට ඇතුළු විය හැකිය. පැරැණි ආකෘතියට එපිටින් හිතන්නට හැකි පිරිසක් පළාත් පාලන ආයතනවල ප්‍රධානීන් හා සභිකයන් වශයෙන් පත්කරගත හොත් ජාතික ආර්ථික සංවර්ධනයට පදනමක් වශයෙන් කාර්ය භාරයක් ආයතනවලට ඉටු කළ හැකිවේ.



අදහස් (0)

ආර්ථික වර්ධනයේ පදනමකට පළාත් පාලන ආයතන

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site