IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


ආර්ථික අහේනියට මැදිවූ තඹුත්තේගම වඩේ වෙළෙන්දෝ

ඒ කාලේ රුපියලකට වඩේ එකක් විකුණලත් දවසකට රුපියල් තුන්දාහක් හොයා ගත්තා

දැන් රුපියල් දහයට වඩේ එකක් විකුණලත් දවසකට රුපියල් දාහක් හොයා ගන්නෙත් අමාරුවෙන්

අනූව දශකය වන විට තඹුත්තේගම නගරයේ වඩේ වෙළෙඳාමෙන් පන්සියයක් දෙනා දිවි සරිකර ඇතත්, අද එම පිරිස සියයකටත් අඩුයි

තවමත් රටේ රසම වඩේ හදන්නේ තඹුත්තේගම

වඩේ හදන අමුද්‍රව්‍ය මිල අහස උසට

කව්පි කිලෝවක් රුපියල් දහසකට ආසන්නයි. පොල් තෙල් ලීටරයක් රුපියල් හයසියය ඉක්මවලා


බුල්නෑව ප්‍රදීප් රණතුංග 


වඩේ එකක් කා තේ හෝ වතුර බී වේලක් පිරිමසා ගැනීම අදත් සමහරකුගේ දින චර්යාව වී තිබේ. පරිප්පු වඩේ, කව්පි වඩේ, කඩල වඩේ, උළුඳු වඩේ, ඉස්සෝ වඩේ, උම්බලකඩ වඩේ යනාදී වශයෙන් දෛනිකව විවිධ වඩේ වර්ග නිෂ්පාදනය කර එමගින් දිවි ගෙන යන පිරිස එකෙකු දෙන්නකු නොවේ. එම පිරිස දහස් ගණනකි. එක්තරා කාලයකදී රටේ වැඩිම පිරිසක් වඩේ වෙළෙඳාමේ යෙදෙන නගරය ලෙස ද තඹුත්තේගම නගරය ප්‍රසිද්ධියට පත්ව තිබිණි. එවක මෙහි නිෂ්පාදනය කෙරුණු අමුතුම රසයකින් යුතු වඩේ කාගෙත් සිත් ගත්තේය.

අනූව දශකයේ මැද භාගය පමණ වන විට තඹුත්තේගම නගරය ආශ්‍රිතව පන්සියයක් පමණ වඩේ වෙළෙඳාමෙන් ජීවිකාව ගෙන ගිය බව සඳහන් වේ. එහෙත් අද වන විට එම පිරිස සියය නොඉක්මවන බව පැවසේ. ඒ අතරින් ද ඍජුවම මහ මගට වී වෙළෙඳාමේ යෙදෙන වෙළෙඳුන් ගණන හතළිස් දෙනකු දක්වා අඩුවී තිබේ. වඩේ අලෙවිය දැඩි ලෙස පහත වැටීමත්, මතුව ඇති දැඩි ආර්ථික අහේනිය හේතුවෙන් වඩේ වෙළෙඳුන් ද එහි ගොදුරක් බවට පත්ව තිබේ. 

1995 වර්ෂයේ සිට තඹුත්තේගම නගරය ආශ්‍රිතව වඩේ වෙළෙඳාමේ නියැලෙමින් දිවි සටන ගෙන යන චන්දන ජගත් කුමාර මහතා සිදුකළේ මෙවැනි හෙළිදරව්වකි.

“මං මේ වෙළෙඳාම කරන්නේ වඩේ එකක් රුපියලට විකුණන කාලේ ඉඳලා. ඒ කාලේ එච්චර ගාණකට වඩේ එකක් විකුණලත් හවස් වෙනකොට රුපියල් තුන්දාහක විතර ආදායමක් හොයා ගත්තා. දැන් වඩේ එකක් රුපියල් දහයට විකුණලත් දවසට රුපියල් දාහක්, එක්දහස් පන්සීයක් හොයාගන්නේ බොහොම අමාරුවෙන්. සමහර දවස්වලට ඒකත් නෑ. මිනිස්සු තියෙන ප්‍රශ්නත් එක්ක වඩේ කන එකත් අතෑරලා දාලා වගේ පේන්නේ. මේ විදිහට ඉස්සරහට මේකත් අතඅරින්න වෙයි වගේ.” 

ලොකු ලූනු හෝ රතු ලූනු, බදින ලද අමු හෝ වියළි මිරිස්, කරපිංචා ආදිය ද වඩේ සමග මුසු කරති. පාම් තෙල් හෝ පොල්තෙල්, තිරිඟු පිටි, උළුදු පිටි, ලු‍ණු ආදිය ද මේ නිෂ්පාදන ක්‍රියාවලියේ අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය ලෙස සැලකේ. වත්මනෙහි කවුපි කිලෝවක් රුපියල් දහසකට ආසන්න වී තිබේ. පොල්තෙල් ලීටරයක් රුපියල් හයසියය ඉක්මවා ඇත. කලකදී ලොකු ලූනු හිඟ වෙයි. විටෙක අමුමිරිස් කිලෝව ද රුපියල් දහස ඉක්මවා යයි. මේ පසුබිම ද තඹුත්තේගම වඩේ නිෂ්පාදකයන් අර්බුද රැසකට මැදිකර තිබේ.

වසර විස්සකට ආසන්න කාලයක් තිස්සේ වඩේ වෙළෙඳාමේ නිරත වසන්ත කුමාර මෙසේ කරුණු කීවේය. 

“ඇත්තටම ඉස්සර තරං වෙළෙඳාමක් දැන් නෑ. වඩේ හදන්න අත්උදව්වට ඇවිල්ලා ටික ටික මටම වෙළෙඳාමක් කරගන්න පුළුවන් විදිහට වැඩපිළිවෙළක් හදා ගත්තා. දැන් මේ කරන වෙළෙඳාමෙන් තමයි හැමදේම කරගන්නේ. ඉස්සර නම් අපෙන් ප්‍රාදේශීය සභාවෙන් බද්දක් ගත්තා. දැන් ඒකත් නවත්තලා තියෙන්නේ. මං හිතන්නේ අපි පාරේ රස්සාව කරන නිසා වෙන්න ඇති. අපෙන් කාටවත් කරදරයක් නෑ. කීයක් හරි හොයාගෙන අපේ දරු පවුල් ජීවත් කරවනවා. එච්චරයි. අපිට ස්ථිර විදිහට මේ රස්සාව කරගෙන යන්ඩ පුළුවන් තැනක් දෙන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක්.” 

වඩේ, වඩයි, වඩ, හෝ බෝරා යන නම්වලින් ද හඳුන්වන වඩේ ඉන්දියාවෙන් අපේ ආහාර සංස්කෘතිය හා මුහු වූ රසවත් බැදපු කෙටි ආහාර වර්ගයක් ලෙස සැලකේ. සමහර උත්සව අවස්ථාවලදී වඩේ නැතිවම බැරි කෙටි ආහාරයක් වී තිබේ. එය දැන් අපේම ආහාරයක් වී ඇත. අයෙක් එමගින් වේලක් පිරිමහන විට තවකෙක් ඉන් ආදායමක් උපයා සිය දරු පවුලේ ඕනෑ එපාකම් පිරිමසති. 

මෙපරිද්දෙන් වසර විසිපහකට වැඩි කාලයක් තිස්සේ සුනේත්‍රා කුමාරි තඹුත්තේගම නගරයට වී වඩේ වෙළෙඳාමෙන් දවසේ වියදම සොයන්නීය. ඇය මේ වෙළෙඳාමට අලු‍ත් වටිනාකමක් ද එකතු කර තිබේ. ඇය කඩල ටිකක් තම්බා, කුඩා මාළු කිහිප දෙනකු ද ගැඹුරු තෙලේ බැද වඩේ වෙළෙඳාමට එක් කර තිබේ. ඇය මෙසේ පැවසුවාය. 

“මං ජීවිතේ අමාරුම කාලෙක මේ වෙළෙඳාම පටන් ගත්තේ. මං උදේ එකොළහ වෙනකොට මෙතැනට එනවා. හවස හය හත වෙනකන් වෙළෙඳාම් කරනවා. ආයෙත් හෙට උදේට එනවා. මේක තමයි අපේ ජීවිතේ. මගේ දුවත් මේ වෙළෙඳාමට උදව් කරනවා. හොයන ආදායමෙන් කීයක් හරි අනිවාර්යෙන්ම ඉතුරු කරනවා. සාමාන්‍යයෙන් අපෙන්ම වඩේ ගන්න හුරු වෙච්ච කට්ටියක් ඉන්නවා. පිරිසුදුවට, පිළිවෙළට වඩේ ටික හදලා දෙන්න තමයි අපි හැම වෙලාවෙම බලන්නේ. මේ වෙළෙඳාමේ ලාබ, අලාබ හරියටම කියන්නම බෑ. සමහර දවස්වලට හොඳයි. සමහර දවස්වලට මොකුත්ම නෑ. අනිත් එක දැන් හැමදේම ගණන්. ඒවත් එක්ක මේ වෙළෙඳාමෙන් ලාබ හොයන එක ලේසි නෑ. ඒත් අමාරුවෙන් හරි කරගෙන යනවා.” 

මහ මග වෙළෙඳාම දුෂ්කරතා සපිරි එකකි. විටෙක දූවිල්ලත්, විටෙක වැස්සත් ඔවුනට පීඩා ගෙන දේ. දරු පවුලක අතෝරක් අපේක්ෂා මේ කුඩා වෙළෙඳාම මත රැදී පවතී. ඔවුන් සහල්, පොල්, එළවළු, තුනපහ ආදිය රැගෙන නිවෙසට එන තෙක් නිවැසියෝ මග බලති. 

කලක් තිස්සේ තඹුත්තේගම වඩේ වෙළෙඳාම සමග පදම් වී සිටින ක්‍රිෂාන්ත සංජීව මෙසේ පැවසුවේය. 

“අපි මේ දුක් විඳින්නේ දරුවෝ ජීවත් කරන්න. ලොකු වෙළෙඳාමක් නෑ මෙතැන. ඇත්තම කිව්වොත් සමහර දවස්වලට රුපියල් පන්සීයක්වත් නැතිව ගෙදර යනවා. මාත් දැන් අවුරුදු පහළොවක් විතර තිස්සේ කරන්නේ මේ රස්සාව. තඹුත්තේගම වඩේ කිව්වහම මිනිස්සු හොයාගෙන ආපු කාලයක් තිබුණා. දැන් වෙළෙඳාම අඩුයි. අර කොරෝනා කාලේ වැටිච්ච වැටිල්ල තාම ගොඩ ගියේ නෑ. අපිට දැන් වෙන රස්සාවක් කියලා කරන්න දේකුත් නෑ. අපිත් එක්ක මේ ටවුන් එකේ වඩේ විකුණපු ගොඩක් දෙනෙක් දැන් නෑ. ඒ අය මොනවා කරනවද කියලා දෙයියෝ තමයි දන්නේ. මේක පොඩි පොඩි වෙළෙඳාම් කරන අයට ඒ තරං හොඳ කාලයක් නෙමෙයි.”



අදහස් (0)

ආර්ථික අහේනියට මැදිවූ තඹුත්තේගම වඩේ වෙළෙන්දෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site