බදු පරිපාලනය කාර්යක්ෂම නොවීම සහ බදු එකතු කරන ආයතනවල දූෂණ ක්‍රියා සිදුවීම මෙරට බදු ආදායම තවත් අඩුකරලා
2032 වනවිට රජයේ ණය, දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 95 ක් දක්වා අඩුකර ගැනීමට ශ්‍රී ලංකාව කැපවී සිටිනවා
රජයේ ආදායමෙන් වැඩි ප්‍රතිශතයක් අඛණ්ඩව ඉදිරි වසරවලදී පොලී ගෙවීම්වලට
පසුගිය වසරේ රජයේ සමස්ත ආදායමෙන් සියයට 57 ක් වියදම් කර ඇත්තේ පොලී ගෙවීම්වලට විශාල වශයෙන් ණය පොලී ගෙවීම රජයේ අයවැයටද බලපෑමක්. එය දැඩි අවදානම් සහ දුප්පත් පවුල් වෙනුවෙන් වියදම් කළහැකි මුදලද සීමා කිරීමක්
බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15 ක ප්‍රතිශතයක් විය යුතුයි
රජයේ ආදායමෙන් සියයට 90ක් ලැබෙන්නේ බදු ආදායමෙන්
රජය සෞඛ්‍යයට සියයට 5 ක් සහ අධ්‍යාපනයට සියයට 4ත් 6ත් අතර වැයකළ යුතු වුවත් මානව හිමිකම් ඇසින් එය කිසිසේත් ප්‍රමාණවත් නෑ
මිලියන 22 ක ජනතාවක් සිටින ශ්‍රී ලංකාවේ 2022 වසරේදී බදු ලිපිගොනු තිබී ඇත්තේ 204,467 ක්
විමුක්ති එස් රුද්‍රිගු
මෙරට ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීම සඳහා එකඟ වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අරමුදල් වැඩසටහනට අනුව 2032 වසර වන විට මෙරට රජයේ ණය, දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 95 ක් දක්වා අඩුකර ගැනීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බවත්, ඒ හේතුවෙන් රජයේ ආදායමෙන් වැඩි ප්‍රතිශතයක් අඛණ්ඩව ඉදිරි වසරවලදී පොලී ගෙවීම් සඳහා වෙන්කිරීමට මෙරට රජයට සිදුවනු ඇති බවත් හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි.
ශ්‍රී ලංකාව පසුගිය වසරේ රජයේ සමස්ත ආදායමෙන් සියයට 57 ක් වියදම් කර ඇත්තේ පොලී ගෙවීම් සඳහා බවද එම සංවිධානය පෙන්වා දුන්නේය. ඇතැම් ආර්ථික විද්‍යාඥයන් මෙය දැඩිව විවේචනය කර තිබෙන බවත් මෙම කැපවීම මෙරට ණය හිමියන්ට වාසිදායක වන කැපවීමක් බව ඔවුන් පෙන්වා දී තිබෙන බවත් හියුමන් රයිට්ස් වොච් සංවිධානය ප්‍රකාශ කළේය.
මෙරට ඇතිවූ ආර්ථික අර්බුදයත් සමග 2022 වසරේදී මෙරට රජයේ ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 114 ක ප්‍රතිශතයක් දක්වා ඉහළ ගිය බවත් එය පහළ මට්ටමේ මැදි ආදායම් රටකට නිර්දේශ කළ හැකි ප්‍රතිශතයක් නොවූ බවත් එම සංවිධානය පැවැසුවේය.
මෙලෙස විශාල වශයෙන් ණය පොලී ගෙවීම රජයේ අයවැයටද බලපෑමක් එල්ල කරනු ඇති බවත්, දැඩි අවදානම් සහ දුප්පත් පවුල් වෙනුවෙන් වියදම් කළහැකි මුදලද සීමා කරනු ඇති බවත් හියුමන් රයිට්ස් වොච් සංවිධානය ප්‍රකාශ කළේය. එසේම එය මානව හිමිකම් ආරක්ෂා කිරීමටද බලපෑමක් එල්ල කරනු ඇතැයි එම සංවිධානය පැවැසුවේය.
ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයකට ඇදවැටීමට මෙරට බදු ප්‍රතිපත්තියද හේතුවක් වූ බවත් 2022 වසරේදී මෙරට බදු දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 7.4 ක් වූ බවත් එම සංවිධානය ප්‍රකාශ කළේය. බදු ආදායම පිළිබඳව ජාත්‍යන්තර කඩඉමක් නොමැති වුවත් ලෝක බැංකුවේ අධ්‍යයනයකට අනුව බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15 ක ප්‍රතිශතයක් විය යුතු බවද හියුමන් රයිට්ස් වොච් සංවිධානය පැවැසුවේය.
මෙරට රජයේ ආදායමෙන් සියයට 90 පැමිණෙන්නේ බදු ආදායමෙන් බවත් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15 ක් දක්වා බදු ආදායම ඉහළ නංවා ගැනීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනේද කැපවීමක් බවත් එම සංවිධානය ප්‍රකාශ කළේය. එම කඩඉම් යටතේ රජය සෞඛ්‍යයට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5 ක් සහ අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4ත් 6ත් අතර ප්‍රමාණයක් වැයකළ යුතු වුවත් මානව හිමිකම් ඇසින් එය කිසිසේත් ප්‍රමාණවත් නොවන බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පැවැසුවේය.
මිලියන 22 ක ජනතාවක් සිටින ශ්‍රී ලංකාවේ 2022 වසරේදී බදු ලිපිගොනු තිබී ඇත්තේ 204,467 ක් පමණක් බවත්, මෙරට බදු ප්‍රතිපත්තිය ආර්ථිකය කඩා වැටීමට ප්‍රධාන හේතුවක් වූ බවත් එම සංවිධානය ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව සෘජු බදුවලට වඩා වැඩිවශයෙන් යැපෙන්නේ එකතු කළ අගය මත බද්ද වැනි වක්‍ර බදු මත බවද එම සංවිධානය පැවැසුවේය.
බදු පරිපාලනය කාර්යක්ෂම නොවීම සහ බදු එකතු කරන ආයතනවල දූෂණ ක්‍රියා සිදුවීම මෙරට බදු ආදායම තවත් අඩුකර තිබෙන බවද හියුමන් රයිට්ස් වොච් සංවිධානය ප්‍රකාශ කළේය.
ආර්ථිකය කඩා වැටීමට බදු ප්‍රතිපත්තිය ප්‍රධාන හේතුවක්