අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළ ආයෝජන අංශවල උනන්දුව සාමාන්‍ය තත්වයක පවතින්නට ඉඩ තිබේ. පසුගිය සතිය තුළ උච්ඡාවචන ගණනාවක් ඇති කරන ලද නමුත් මෙම සතිය තුළ ආර්ථික ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සීමිත අවකාශයක් පැවැතීම එයට හේතුවනු ඇත. වතු සේවකයන් ගේ වැටුප් වැඩි කිරීමට අත්සන් කරන ලද ගිවිසුම එපමණ අවධානයට නොගැනේ. ඉන්ධන මිල රුපියල් ගණනකින් අඩු කිරීමට ගත්තීරණය ද සමාගම්වල අවසාන ප්‍රතිලාභ සඳහා විශාල බලපෑමක් නොවන අතර මිලදී ගැනීමට පෙළැඹවීමක් ඇතිකරන්නේ නැත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝජිතයන්ගේ සංචාරය පවා වෙනස් දායකත්වයක් ඇති කරන තැනකට පරිවර්තනය නොවීම ඉදිරියේ ආයෝජන අංශ සන්සුන්ව සිටිනු ඇත.
ඉකුත් සිකුරාදා ( ජන 30) වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ දී සියළු කොටස් මිල දර්ශකය ඒකක 23,812.31 ක් තෙක් පහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 88.58 ක පසුබෑමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 6,641.15 ක් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 14.51 ක පහත වැටීමක් විය. දෛනික පිරිවැටුම රු. බිලියන 9.192 ක් සේ සනිටුහන්ය. ගනුදෙනු 41,037 ක් වාර්තා වී තිබුණි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 211.56 ක් විය. සමාගම් 99 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 156 කි. දිනය ආරම්භයේ සිට දුර්වල වූ බව සටහන්ය. මෙදින විදේශ ගනුදෙනුවල දී තව දුරටක් විකිණීම් බහුල වූ අතර ගැනුම් රු. මිලියන 152.4 ක් වන විට විකිණීම් රු. මිලියන 7,327.4 කි. විදේශික ආයෝජන ඉවත් කරගැනීමේ ප්‍රවණතාව තවමත් පවතී. මෙදින පමණක් මිලියන 1,275 ශුද්ධ අවාසියක් රටට සිදු වී තිබේ.
හැටන් නැෂනල් බැංකුව රු. මිලියන 2,006 ක්, ඩොක්යාඩ් (එන්)රු. මිලියන 1,168 ක්, ඩොක්යාඩ් (සි)රු. මිලියන 994ක්, හේමාස් හෝල්ඩිං .රු. මිලියන 298 ක්, ඒ.සී.එල්. කේබල් රු. මිලියන 274 ක්, සොෆ්ලොජික් රු. මිලියන 257 ක්, ප්‍රයිම් ලෑන්ඩ් (සී) රු. මිලියන 173, සම්පත් බැංකුව රු. මිලියන 149 ක්, සහ සෙන්ට්‍රල් ෆිනෑන්ස් රු. මිලියන 148 ක්, වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් විය.
නිරීක්ෂක
ආයෝජකයන්ගේ උනන්දුව සීමාසහිත වෙයිද