
එම ව්‍යාපාර වෙත අඩු පොලී සහන ණයක් ලබා දීමට සියලුම බැංකුවල කැමැත්ත
භානුක අමරසිංහ
දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට පත් කර්මාන්ත සහ ව්‍යාපාර ලබා ගෙන ඇති ණය සඳහා මාස 03ත් 06 ත් අතර කාලයක් සඳහා ණය ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කිරීමක් කඩිනමින් ලබා දීමට සියලුම බැංකු එකඟතාව පළ කළ බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව අමාත්‍යාංශය පවසයි.
බලපෑමට ලක්ව ඇති ව්‍යාපාර කඩිනමින් නඟා සිටුවීම සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව අමාත්‍යාංශය, සියලුම බැංකුවල ඉහළ නිලධාරීන්, ණය අංශ වල නිලධාරීන්, මහා බැංකුවේ නියෝජිතයන් සහ මුදල් අමාත්‍යාංශයේ සංවර්ධන අංශය සමඟ පැවැත් වුණු සාකච්ඡාවකදී මෙම එකඟතාවට පැමිණ තිබේ.
මහ බැංකුව මගින් පසුගියදා නිකුත් කළ චක්‍ර ලේඛය අනුව අර්බුදයට ලක්ව ඇති සියලුම ව්‍යාපාරිකන් සඳහා මෙම සහනය හිමි වීමට නියමිතව තිබේ. මෙහිදී අදාළ සහනය ලබා දීමේදී කිසිදු අමතර ගාස්තුවක් හෝ අමතර පොලියක් එකතු නොවනු ඇතැයිද අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම තීරණය සියලුම බැංකු ශාඛා වෙත දැනුම් දී ඇති අතර අදාළ ව්‍යාපාරිකන් විසින් තම බැංකුවෙන් ඒ සඳහා ඉල්ලීමක් කළ යුතුව ඇතැයි අමාත්‍යාංශය පවසයි.
බැංකු නියෝජනය කරමින් ලංකා බැංකුව, මහජන බැංකුව, ප්‍රදේශීය සංවර්ධන බැංකුව, හැටන් නැෂනල් බැංකුව, සෙලාන් බැංකුව, සම්පත් බැංකුව, DFCC බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව, සණස සංවර්ධන බැංකුව, යූනියන් බැංකුව, පෑන් ඒෂියා බැංකුව සහ කාගීල්ස් බැංකුවේ නිලධාරීන් ඊට එක්ව සිට ඇත.
ආපදාවට පත් ව්‍යාපාරවලට ණය ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කෙරේ