IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ආපදාවට පත් ගනුදෙනුකරුවන් ව්‍යාපාර නගාසිටුවීමට මහජන බැංකුවෙන් මූල්‍ය පහසුකම්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකුවක් වන මහජන බැංකුව, දිට්වා සුළිකුණාටුවෙන් බලපෑමට ලක්වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් නැවත සවිබල ගැන්වීමට අවශ්‍ය මූල්‍ය පහසුකම් පිරිනැමීමට පියවර ගෙන ඇත.
මෙරට ඇතිවූ සෑම ව්‍යසන අවස්ථාවකදිම පාහේ මහජන බැංකුව හුදෙක්ම ලාභය මත පදනම් නොවී, මෙරට ජනතාව නගා සිටුවීමට මහජන බැංකුව පියවර ගත්තේ වගකිය යුතු රාජ්‍ය බැංකුවක් ලෙස සිය වගකිම මනාව වටහාගනිමිනි.
ඒ අනුව, මෙම ආපදා තත්වයෙන් පීඩාවට පත් ගනුදෙනුකරුවන් හා ව්‍යාපාර නගාසිටුවීමට මුදල් අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදේශකත්වය සහ සහයෝගය ඇතිව මහජන බැංකුව විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත. ඒ පිළිබඳ මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (කුඩා හා මධ්‍ය පරිමාණ, සංවර්ධන සහ ක්ෂුද්‍ර මූල්‍ය) වික්‍රම නාරායන මහතා සමඟ සිදුකළ සාකච්ඡාවකි මේ.
දිවයිනට හදිසියේ බලපෑ දිට්වා සුළි සුළඟින් පුද්ගලයන් මෙන්ම ව්‍යාපාර රැසක් බලපෑමට ලක්වූණා. ඔබ දකින ආකාරයට, මේ තත්වය තුළ ව්‍යවසායකයන් හමුවේ ඇති ප්‍රධානතම අභියෝගය කුමක්ද?
අපේ රට මුහුණ දුන් මේ ආපදාව දෙස බැලුවොත්, දශක ගණනාවක් පැවති යුද ගැටුම හා කොවිඞ් අර්බුදයට වඩා වෙනස්. දැන් මෙය සිදුවී හමාරයි. මේ ව්‍යසනයෙන් පස්සේ දැන් අපිට පුළුවන් මෙතැන් සිට අරඹන්න. මෙහිදි ව්‍යාපාරවලට ක්‍රම කිහිපයකට හානිවෙලා තියෙන්න පු`ඵවන් එකක් තමා දේපල වලට සිදුවෙලා තියෙන හානිය. උදාහරණයක් විදියට සම්පූර්ණයෙන් සෝදාපාලුවට ලක්වෙලා ඇත්තම්, ගොඩනැගිල්ලට හානිවෙලා ඇත්තම්, ඒවා ආයේ ගොඩනගන්න වෙනවා. මිට අමතරව බහුතරයකට තියෙන්නේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතාව. උදාහරණයක් විදියට ඉදිරි කාලයට වියදම් ආවරණය කිරීමට, අමුද්‍රව්‍ය මිලදි ගැනීමට, ජල ගාස්තු, විදුලි බිල් ගෙවීමට අවශ්‍යයි. ව්‍යවසායකයන් දැන් තක්සේරු කරගන්න ඕන තමන්ට අවශ්‍ය ප්‍රාග්ධන හා කාරක ප්‍රාග්ධන අවශ්‍යතා ගැන. ඊළඟට එන ගැටලුව තමයි ණය ගත්තානම් ඒවා ගෙවන්න මුදල් තියෙනවාද කියන එක. ඉතින් ඒ ගැටලු බොහෝමයකට ශ්‍රී ලංකා මහ බැංකුවේ මාර්ගෝපදේශකත්වය මත මහජන බැංකුව විශේෂ වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා.
එසේ බලපෑමට ලක්වූ පුද්ගලයන් හා ව්‍යාපාර නගාසිටුවීමට මහජන බැංකුවෙන් පිරිනමන මූල්‍ය පහසුකම් ගැන සඳහන් කළොත්?
 මේ වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුව හඳුන්වා දී ඇති ක්‍රමවේදය තුළ විසඳුම් දෙකක් තිබෙනවා. ඒ අනුව වත්මන් ණය හිමියන්ගේ දැනට පවතින ප්‍රාග්ධන ණය මුදල සහ පොලිය මාස 3 සිට මාස 6ක කාලයක් දක්වා සම්පූර්ණයෙන්ම නොගෙවා සිටිය හැකියි. එසේත් නැතිනම් ප්‍රාග්ධන ණය මුදල නොගෙවා පොලිය පමණක් ගෙවිය හැකියි. මෙම ණය අත්හිටුවන කාලය තුළ අදාළ ගිවිසුම්ගත පොලී අනුපාතයට වඩා වැඩි පොලී අනුපාතයක් අය නොකෙරෙන අතර, කල් දැමූ පොලී අනුපාත සඳහා කිසිදු පොලියක් අය කරන්නේ නැහැ. එසේ කල්දැමූ ණය මුදල් ගෙවීමට අමතර මාස 6ක කාලයක් හිමිවෙනවා. පුද්ගල ණය සඳහාද මෙය අදාළ වෙනවා.
දෙවැන්න වන්නේ තම ව්‍යාපාරයට වූ හානිය පූරණය කිරීමට ප්‍රාග්ධන හෝ කාරක ප්‍රාග්ධන ණයක් ලබාගත හැකිවීමයි. මේ සඳහා සිදුවුන හානිය පිළිබඳ ගනුදෙනුකරුවාට හොඳ තක්සේරුවක් තිබිය යුතුයි. ණය ඉල්ලීම ලැබුණු පසු බැංකුවේ නිලධාරින් ඒ පිළිබඳව අධ්‍යයනය කර, ලබාදෙන ණය මුදල තිරණය කරනවා. මෙය උපරිම සියයට 9ක සහන පොලියකට පිරිනමන අතර, වසර දෙකක් තුළ ගෙවිය හැකියි.
මෙම ණය මුදල් සඳහා වන ඉල්ලිම් ණය හිමියන් විසින්, බැංකු වෙත ලිඛිතව හෝ විද්‍යුත් තැපැලෙන් 2026.01.15 දිනට පෙර ලබාදිය යුතුයි.
මීට අමතරව බලපෑමට ලක්වූ ගනුදෙනුකරුවන්ගේ සියලුම ණය පහසුකම්වලට අදාළව චෙක්පත් අගරු වීමේ ගාස්තු, ගෙවීම් නැවතීම සඳහා වන ගාස්තු, ප්‍රමාද ගාස්තු, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ/ ප්‍රතිලේඛන ගාස්තු හා දඩ පොලිය අයකිරීම 2026.01.31 දක්වා අත්හිටුවා තිබෙනවා.


මහජන බැංකුවෙන්ද අපදාවට පත්වූ ව්‍යවසායකයන්ට විශේෂ ණය යෝජනා ක්‍රමයක්ද හඳුන්වා දී තිබෙනවා නේද?
ශ්‍රී ලංකා මහ බැංකුවේ උපදේශනවලට අමතරව, රජය විසින් මුදල් අමාත්‍යංශයේ අරමුදල් වෙන්කර ණය ක්‍රමයක් හඳුන්වා දි තිබෙනවා. මහජන බැංකුව ඇතු`ඵ රාජ්‍ය බැංකු තුනකින් පමණක් මෙය ක්‍රියාත්මක වෙනවා. පෙර පැවසූ ණය මුදල සියලු පුද්ගල හා ව්‍යාපාර ණය සඳහා අදාළ වුවත් මෙය අදාළ වන්නේ ක්ෂුද්‍ර හා සු`ඵ හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට පමණයි. වාර්ෂික පිරිවැටුප මිලියන 20 දක්වා ක්ෂුද්‍ර ව්‍යාපාරවලට රු.250,000ක් සහ වාර්ෂික පිරිවැටුප බිලියනය දක්වා වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට මිලියනයක් දක්වා ණය මුදල් පිරිනැමෙනවා.
මෙය ලබාගත හැක්කේ මාස 2කට අවශ්‍ය කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා පමණයි. ග්‍රාම සේවා සහතිකය ලබා ගැනීමෙන් අනතුරුව, බැංකු නිලධාරින් විසින් ව්‍යාපාරය පරික්ෂා කර මෙම ණය මුදල් පිරිනැමෙනවා. මෙය සියයට 3 ක සහන පොලියකට ලබාදෙන අතර, ගෙවීම සඳහා මාස 6ක සහන කාලයක් සමඟ වසර තුනක කාලයක් ලබාදෙනවා. යම් හෙයකින්, ගනුදෙනුකරුවන් මෙම ණය මුදල බැංකු තුනෙන්ම අයදුම් කළත් ණය ලබාගත හැක්කේ එක බැංකුවකින් පමණයි. 
සාමාන්‍යයෙන් බැංකුවකින් ණය මුදලක් ලබා ගැනීමට ගිණුම් වාර්තා හා ලියකියවිලි ඉදිරිපත් කිරීම අවශ්‍යයි. මේ අපදා තත්වය තුළ ඒවා අහිමිවූ අයට සහනයක් ලැබෙනවාද?
මෙම ණය ක්‍රමය හඳුන්වාදිමේ රජයේ මුලික අරමුණ වන්නේ මෙරට ආර්ථික ක්‍රියාවලිය යළි යථා තත්වයට පත්කිරීමයි. මෙම ණය මුදල් ඉතාම කඩිනමින් ලබාදීමට සැලසුම් කර ඇති නිසා හා පවතින තත්වය තුළ. ඒ නිසා වෙනත් අවස්ථාවලදි මෙන් ලියකියවිලි සියල්ලම මුල් අවස්ථාවේදිම ඉදිරිපත් කිරීම අවශ්‍ය වන්නේ නැහැ.


අපදාවට පත්වීම නිසා මේ වන විට ඔබ සතුව ජාතික හැඳුනුම්පත නොමැති නම් ග්‍රාම නිලධාරි සහතිකය වුවත් මේ සඳහා අයදුම් කිරීමට ප්‍රමාණවත්. ඔබේ ගිණුම් ප්‍රකාශන, ණය කාර්යංශයේ තොරතුරු බැංකු සතුව තිබෙනවා. එහෙත් ණය ලබා ගැනීමට නම් ආයෝජන හෝ කාරක ප්‍රාග්ධන ඇස්තමේන්තුවක් සකස් කිරීම අනිවාර්යයි. ඒ සඳහා ව්‍යාපාරයේ වත්මන් තත්වය, වත්කම් හා වගකීම් සහ ඉලක්ක පිළිබඳ මනා අවබෝධයක් තිබිය යුතුයි. මේ සඳහා ඔබ අපගේ ණය නිලධාරින්ගේ සහය ලබාගත හැකියි. පසුව හැකි පරිදි ලියකියවිලි ඉදිරිපත් කිරීමේ හැකියාව තිබෙනවා. 
එමෙන්ම ගැටලු‍කාරී තත්වයට මුහුණ දී සිටින ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නැවත නගාසිටුවීම වෙනුවෙන් මහජන බැංකුව ව්‍යාපාර පුනර්ජීවන ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා, 
අවසන් වශයෙන්, මෙම ව්‍යසනයෙන් හානියට පත් ජනතාවට බැංකුවෙන් ලබාදෙන පණිවිඩය කුමක්ද?
මේ ව්‍යසනයෙන් කලින් සිටියාටත් වඩා හොඳ තත්වයකට පැමිණිමේ ශක්තිය ඔබ සතුව තිබෙනවා. එමෙන්ම රටක් ලෙස වේගයෙන් නැගී සිටිමේ හැකියාවද අප සතුයි. ව්‍යාපාරය නැවත ආරම්භ කිරීම ගැන ඔබට යම් අවිනිශ්චිතතාවක් තිබෙනවා නම් හෝ උපදෙස් අවශ්‍ය නම් අප ප්‍රධාන කාර්යාලයේ හෝ ප්‍රාදේශිය ප්‍රධාන කාර්යාලයේ ණය ඒකකයන් හා සම්බන්ධවිය හැකියි. ඒ සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට මහජන බැංකුව සූදානමින් සිටිනවා.



අදහස් (0)

ආපදාවට පත් ගනුදෙනුකරුවන් ව්‍යාපාර නගාසිටුවීමට මහජන බැංකුවෙන් මූල්‍ය පහසුකම්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site