ඉන්දිය විදේශ අමාත්‍ය එස්. ජෙයශංකර් මහතා විශේෂයෙන් කොළඹට පැමිණීම හා අනාවරණය කරන ලද ආධාර පැකේජය කොටස් වෙෙළඳපොළ ප‍්‍රබෝධයකට බලපා ඇති බව දැක්වේ. ඊයේ (දෙසැම්බර් 23) ගනුදෙනුවල දී මධ්‍යහ්නය තෙක් පසුබෑමකට ලක් වූ නමුත් තොරතුරු වාර්තාවීම සමග මිල දී ගැනීම් බහුලවන බවක් නිරීක්ෂණය කළ හැකි විය.
ඉන්දීය රජය ඇමරිකානු ඩොලර් මිලියන 500 ක මුදලක් ප‍්‍රකාශයට පත් කර ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දක්වන පරිදි අලාභ හානි ඇමරිකානු ඩොලර් බිලියන 4.1 ක් සේ දක්වන පසුබිමක් තුළ එය සැලකිය යුතු පහසුකමකි. එම මුදලින් ඇමරිකානු ඩොලර් මිලියන 100ක් ප‍්‍රදානයක් බව දැක්වේ. ශ‍්‍රී ලංකා ආණ්ඩුව රුපියල් බිලියන 500 ක අතරේක ඇස්තමේන්තුවක් අනුමත කරගෙන ඇති අතර පොලී අනුපාත හා විනිමය අනුපාතවලට ඇති කරන පීඩනය පාලනය සඳහා පියවර ගන්නා බව මෙම මුදල සම්මත කරගන්නා අවස්ථාවේ දී ප‍්‍රකාශ කෙරිණ. ආර්ථිකය කළමනාකරණය කරගෙන ස්වභාවයට මුහුණ දීමෙන් පසු නැවත නැගී සිටීමකට ඉඩකඩ ඇති අතර එය අවබෝධ කරගෙන ඇති කොටස් වෙළෙඳපොළ ආයෝජන අංශ අද දිනයේ දී ද මිලදී ගැනීම් සඳහා නැඹුරුවනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.
විදේශික ආයෝජන අංශ යුහුසුළුවීම ඊයේ සිදු වූ වර්ධනය තුළ පවතින වැදගත් සන්ධිස්ථානයක් බව දැක්විය හැකිය. රුපියල් මිලියන 149.2 ක කොටස් මිල දී ගෙන තිබුණ අතර විකිණීම් රුපියල් මිලියන 217.8 ක් බව සඳහන්ය. ශුද්ධ අවාසියක් රටට සිදු වූ නමුත් විශ්වාසයෙන් මිල දී ගැනීම යහපත් ප‍්‍රවණතාවක් සේ නිරීක්ෂණය වේ.
එදින ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 21,927.00 ක් තෙක් ඉහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 28.80 ක වර්ධනයකි. එස් ඇන්ඩ් පී ශ‍්‍රී ලංකා දර්ශකය 6,011.31ක් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 3.05ක සුළු පහළ වැටීමකි. දෛනික පිරිවැටුම රුපියල් බිලියන 2.56කි. ගනුදෙනු 23,953 ක් වාර්තා වී තිබේ. හුවමාරු වූ කොටස් ප‍්‍රමාණය මිලියන 102.28 ක් විය. සමාගම් 141 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 101 කි. මිල දී ගැනීමේ උනන්දුව සියයට 49.54ක් වැනි ඉහළ අගයක විය. ඩොක්යාඩ් රුපියල් මිලියන 287ක්, ජෝන් කීල්ස් රුපියල් මිලියන 150ක්, ඊ.එම්.එල්. කන්සල්ටන්ස් රුපියල් මිලියන 116ක්, වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්විය.
නිරීක්ෂක
අලුත් වටයකින් මිලදී ගැනීමට යුහුසුළුවන ස්වභාවයක්